දිරාපත්වන කාබනික සිහිනය | දිනමිණ

දිරාපත්වන කාබනික සිහිනය

ජනතාවගේ උන්නතිය උදෙසා එදාමෙදා අතරතුර අප රටේ ක්‍රියාත්මක කර ඇති විවිධ සංවර්ධන ව්‍යාපෘති අපමණය. එහෙත් මේ වනවිට එයින් කීයකින් ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙන්නේදැයි විමසිය යුතු කාලය දැන් එළැඹී ඇත. රජය විසින් මීට දශක දෙකතුනකට පමණ පෙර රුපියල් මිලියන පහළොවක පමණ මුදලක් වැයකර දඹුල්ල නගර සීමාව තුළ ක්‍රියාත්මක කළ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයද එවැනි ව්‍යාපෘතියකි.

දඹුල්ල නගරයේ එක් රැස්වන අපද්‍රව්‍ය ඉලක්ක කර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර රුපියල් මිලියන ගණන් වැය කරමින් ආනයනයකර මෙහි සවිකර ඇත. මෙම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය එදා ආරම්භ කළේ ප්‍රදේශවාසීන්ගේ සිත් තුළ දහසකුත් බලාපොරොත්තු ඇතිකරමිනි.

එපමණක් නොව සේවකයින්ට රැදී සිටීම සඳහා අවශ්‍ය ගොඩනැගිලිද එම පරිශ්‍රය තුළ ඉදිකෙරිණි. එහෙත් ගතවූයේ කෙටිකලකි. සියලු බලාපොරොත්තු සුන්කරමින් මෙම ව්‍යාපෘතිය හිටි අඩියේ නතරකර දැමීමට කළමනාකාරිත්වය විසින් පියවර ගන්නා ලදි.

කාලයාගේ ඇවෑමෙන් මෙම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයේ සියලු යන්ත්‍රසූත්‍ර දිරාපත්වන්නට විය. එමෙන්ම මෙහි ගොඩනැගිලිවල තිබු ජනෙල් උළුවහු පවා අතුරුදහන්වුයෙන් එම ගොඩනැගිලි ද කඩාවැටිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ දැනට පාලු ස්ථානයක් බවට පත්ව ඇති මෙම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය ඇතැම් කණ්ඩායම් විසින් රාත්‍රිකාලයේ විවිධ අපචාර ක්‍රියා සඳහා යොදාගන්නා බවය. මෙම තත්ත්වය නිසා අවට පදිංචිකරුවනටද මහත් පීඩාවකට මුහුණපෑමට සිදුව ඇතැයි ඔව්හු පවසති.

එබැවින් මෙම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය සඳහා ඉදිකර ඇති ගොඩනැගිලි මෙන්ම යන්ත්‍රසූත්‍ර ද ඉවත්කර ගන්නා ලෙස ප්‍රදේශවාසීහූ රජයෙන් ඉල්ලා සිටිති. එසේ නොමැති නම් මෙම ස්ථානය වෙනත් පොදුකාර්යයක් සඳහා යෙදවීමට රජය විසින් පියවර ගතයුතු බව මොවුන් අවධාරණය කරයි.

ඒ.ඒ.එල්.ඩයස්
මාතලේ දිස්ත්‍රික් සමූහ


නව අදහස දක්වන්න

Or log in with...