කියන්න දුක හිතෙන පාසලක කතාවක් | දිනමිණ

කියන්න දුක හිතෙන පාසලක කතාවක්

අදහස් දැක්වූ මවුවරුන්

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ ප්‍රාථමික අධ්‍යාපනයට පෙරමුණ ගත් බෙරවිල කනිෂ්ඨ විද්‍යාලය වැසීයෑමේ තර්ජනයට මුහුණපා තිබේ. වසර ගණනක් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා‍ගයෙන් එක දිගටම දරුවන් සමත් කරවූ පාසලක් වන නමුත් මෙහි වත්මන් තත්ත්වය කනගාටුදායක බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බෙරවිල ගම්මානයට තිබෙන එකම රාජ්‍ය ආයතනය මෙය වේ. පාසල ආරම්භයේ සිටම 2010 වර්ෂය දක්වා පාසල අවට ගම්වල දරුවන් අධ්‍යාපනය ලබා ඇත්තේ මෙම පාසලෙනි. එසේ උගත් දරුවන් රටේ වැඩදායක පුද්ගලයන් බවට පත්ව ඇත. ගුරු හිඟය නිසා පාසලේ වැට මායිමේ මව්පියන්ගේ දරුවන් පාසලට ඇතුළත් කිරීම නවතා ඇති නිසා පාසල වැසී යෑමේ තත්ත්වයකට පත්ව ඇත.

2010 වර්ෂය දක්වා දරුදැරියන් 150 ක් 200ක් අධ්‍යාපනය ලබා ඇත. එහෙත් අද වනවිට එය 75 – 100 දක්වා අඩු වී ඇත. මව්පියන් පවසන්නේ ගුරු හිඟයට අධ්‍යාපන බලධාරින් නිහඬ පිළිවෙතක් රකින නිසා මව්පියන් කබලෙන් ලිපට වැටී සිටී. බෝවිල, නාවලපිටිය ආසනයේ ඉතාම දුෂ්කර ගම්මානය වේ. මෙම පාසල වැසී ගියහොත් මේ මව්පියන්ගේ දරුවන්ට දෙවියන්ගේ පිහිට පතන්න වෙන බව මව්පියන්ගේ මතය වී ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ පාසල් දියණියක වන සඳුනි සිරිවර්ධන,

“අපේ ගම මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ඉතාම දුෂ්කර ගමක්. මාර්ග ප්‍රවාහන පහසුකම් අඩු ගමක්. අපට අධ්‍යාපනය ලබන්න තිබෙන එකම පාසල මේකයි. මේ පාසල වැසීගියොත් අපේ ජීවිත අඳුරට පත්වෙනවා. එය මව්පියන්ටවත් වළක්වන්න බැහැ. ඒ නිසා අපේ පාසලේ ගුරු හිඟයට පිළියමක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමැති සරත් ඒකනායක මහතා ඇතුළු බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”

මේ සම්බන්ධව අදහස් දැක්වූ නිලන්ත කුමාර මහතා,

“අපේ රටට නිදහස ලැබී වසර 70ක් ගතවුණා. නමුත් තවම මාර්ග යටිතල පහසුකම් නැති ගම්මානයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා නම් ඒ නාවලපිටිය ආසනයේ බෙරවිල ගමයි. මාර්ග කාපට් වෙන යුගයක, මාර්ග කොන්ක්‍රීට් වන යුගයක පයින්වත් යන්න බැරි මාර්ග හා අධ්‍යාපනය කඩාවැටුණු පාසලක් තිබෙන ගමක්. අද ගමේ තිබෙන එකම සම්පතට කන කොකා අඬලා. රජය ආරම්භ කර ඇති ළඟම පාසල හොඳම පාසල කිරීමේ සංකල්පයට මෙම පාසල ඇතුළත් කර අප දරුවන්ට ඇති එකම පාසල, සංවර්ධනය කරන්න. පාසල් ගුරුවරු ලබාදෙන්න, පාසලට ගුරුවරු ලබා නොදී ඉදිරි මැතිවරණයට ගමට අපේක්ෂකයින් ආවොත් කරන දේ එදාට පෙන්වන්නම්.”

මේ සම්බන්ධව අදහස් දැක්වූ මව්පියන් වන නිලූෂි සේනාරත්න සහ චමිලා ජීවන්ති,

“අපේ ගමේ පවුල් 350කට තිබෙන එකම පාසල මේකයි. මුදල් තිබෙන මව්පියන් පිට පාසල්වලට දරුවන් ගෙන යනවා. නමුත් එදිනෙදා කුලී වැඩ කරන මව්පියන් දරුවන්ව නිවෙස්වල නවත්වා ගන්නවා. මෙයින් අනාගතයේ අප ගම්මානය බිහිසුණු ගම්මානයක් බවට පත්වෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ලිපි 500ක් පමණ යැව්වා. නමුත් ඒක බීරි අලින්ට වීනා වයන්නා වගේ. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක එනවා, බලනවා, යනවා, පමණයි කිසිම දෙයක් වෙන්නේ නෑ. ඒ අය කාර්යාලයට වෙලා කාලය ගත කරනවා පමණයි පාසල්වල අඩුපාඩු බලන්නේ නෑ. ජනපති තුමනි, අධ්‍යාපන ඇමැති තුමනි අපට පිහිටවෙන්න.”

මේ සම්බන්ධව අදහස් දැක්වූ සරත් සුරවීර මහතා,

“අපේ පාසලේ සංවර්ධනය කරන ලද ගුරු නිවාසයක් තියෙනවා. එය වසා දමලා. ගුරුවරු නෑ. දරුවන් අසරණ වෙලා. මන්ත්‍රීවරු, ඇමතිවරු මුනිවත රකිනවා. අපි කබලෙන් ලිපට වැටිලා. ඡන්ද කාලෙට ගමට එන පාට පාට අපේක්ෂකයින් ඡන්දයෙන් පසු දකින්නවත් නෑ. අපේ පාසල කුමන ආයතනයකින් පාලනය වනවාද අප දන්නේ නෑ. ජනපති තුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, අගමැතිතුමනි අපට පිහිට වන්න. අපේ දරුවන්ට පිහිට වෙන්න.”

ජගත් ජනප්‍රිය - ගඟඉහළ සමූහ
 


නව අදහස දක්වන්න

Or log in with...