බට කැපිල්ලට නීති දෙකක් | දිනමිණ

බට කැපිල්ලට නීති දෙකක්

රත්නපුර පානදුර මාර්ගයේ ඉංගිරිය හා හොරණ නගරවලට සමාන දුරින් පිහිටි දොබගස්කන්ද නම් සම්ප්‍රදායික ගම්මානය වඩාත් හොඳින් හඳුනාගන්නේ වන රක්ෂිතය තුළ පිහිටි ආරණ්‍ය සේනාසනය හේතුවෙනි.

ඵහෙත් අද අප විස්තර කරන්නේ ඵහි ආගම්ක පසුබිම නොවේ. සම්ප්‍රදායික ජන ජීවිතය ට උරුමකම් කියන මෙම කුඩා ගම්මානයේ බට ආශ්‍රිත දේශීය කර්මාන්තය තම ජීවිකාව කර ගත් ගැමියන්ගේ කථාවයි.

බට කර්මාන්තය පිළිබඳ තතු සොයා යාමේදී අප සමඟ මුළින්ම අදහස් පළ කළ ගමගේ කරුණාරත්න මහතා -

"අපි සති දෙකකට පමණ වතාවක් රක්ෂිතය ට ගිහිල්ලා වන බූටෑවෙ රිංගලා බට පඳුරු කපාගෙන එනවා. ඊට පස්සෙ එම බට කුඩා කැබලිවලට කඩලා ඔපමට්ටම් කරනවා. පාට වර්ග ඕන වුණොත් විවිධ පාට යොදනවා. ඉන් වට්ටි,කිරිගොටු වියනවා. ඉන්පසු නගරයේ කඩවලට විකුණනවා. නමුත් අපිට ලැබෙන්නේ ඉතා කුඩා මුදලක්. මුදලාලි ලා අපට සුළු මුදලක් ගෙවලා වැඩි ලාභය ඔවුන් ගන්නවා. අපට ලැබෙන්නේ සොච්චම යි.අලෙවිය සඳහා මීට වැඩිය හොඳ වැඩපිළිවෙළක් තියෙනවානම් අපට මීට වැඩිය හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඈත පළාත්වලින් විශාල ලොරි ඇවිල්ලා රක්ෂිතයේ බට කපාගෙන නගරයට අරගෙන යනවා. ඒ සඳහා අඩවි වන කන්තෝරුවෙන් බලපත් හදා ගන්නවා. මහා පරිමාණයෙන් බටකපන නිසා බට හිඟ වීමේ තර්ජනයක් තියෙනවා. අපි ගහට අත තියන්නේ ගහට ගෞරව කරලා. ඒත් පිටින් එන අය එහෙම නැහැ. තියෙන තරම් බට කපනවා."

කර්මාන්තය පිළිබඳ තවදුරටත් තතු සැපයූ පී.ඩී.හේමචන්ද්‍ර මහතා -

"දැන් කඩවල ප්ලාස්ටික් බඩු ඉතා අඩු මිල ට ගන්න තියෙනවා. අපි හදන භාණ්ඩවල වියදම හා මහන්සිය එකතු කළාම අපට ඒ මිල ගණන් එක්ක තරග කරන්න අමාරුයි. මේ නිසා ප්ලාස්ටික් පිළිබඳ ජාතික මට්ටමේ තීරණයක් ගත යුතුයි. ඒවා අපේ පරිසරයට කොතරම් අහිතකර ද කියලා කවුරුත් දන්නවා. අපේ නිර්මාණ පරිසර හිතකාමීයි.ඉතා අලංකාර වටිනා නිර්මාණ අපි සකස් කරනවා. මේ නිසා දේශීය නිෂ්පාදන දියුණු කිරීමේ ජාතික වැඩපිළිවෙල මීට වඩා ගම තුළ විධිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන තරම් නිලධාරීන් ඉන්නවා.ඒත් ගැටලුවලට විසදුමක් නැහැ.

මහා පරිමාණයෙන් බට ගස් කපා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය අඩවි වන නිලධාරීගෙන් විමසා බැලීමූ. ඉංගිරිය අඩවි වන නිලධාරි එච්.එම්.ඒ.බී.හේරත් මහතා -

"බට ගස කියලා කියන්නේ ඇත්තෙන්ම ආක්‍රමණශීලී ශාක විශේෂයක්. මේ ශාකය ඉතා ඉක්මනට වැඩෙන නිසා රක්ෂිතයට ඇතුළු වීම පවා ඉතා අසීරුයි. මේ නිසා ඒවා ඉවත් කිරීමට ඉල්ලීම් කරන ඕනෑම අයකු ට ඒ සඳහා බලපත්‍ර සහිතව අවසර ලබා දෙනවා. මහා පරිමාණයෙන් බට ගස් කපා ප්‍රවාහනය කරන්නන් එසේ කරන්නේ බලපත්‍ර සහිතව යි.

අනවසරයෙන් බට කපන්නන් පිළිබඳ ද තොරතුරු ලැබෙන ඕනෑම අවස්ථාවක අප විමර්ශනය කර නීති පරිදි කටයුතු කරනවා.....

ගමේ පදිංචිකරුවන් කැලෑවට යන්නේ බට කපන්න පමණක් නෙවේ.වල්ලාපට්ට කැපීමටත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. එවැනි පුද්ගලයන් කිහිපදෙනකුටම මේ වෙනකොට නඩු පවරලා තියෙන්නේ. මේ නිසා අපිට ගම්මුන්ගේ චෝදනා පිළිගන්න බැහැ..."

මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි තොරතුරු ලබා ගැනීම සඳහා අප දොබගස්කන්ද සමෘධි සංවර්ධන නිලධාරිනි නිලංකා කළුබෝවිල මහත්මිය හමු වීමු.

සමෘධි සංවර්ධන නිලධාරිනි නිලංකා කළුබෝවිල මහත්මිය -

" දොබගස්කන්ද ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ගේ පවුල් තමයි බට කර්මාන්තයේ යෙදෙන්නේ. ඒ අය ඉතා අපහසුවෙන් ජීවිකාව ගෙන යන්නේ. රක්ෂිතයේ බට කපා ගැනීම සඳහා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට වඩා අඩු ආදායම් ලාභීන්ට අවස්ථාව ලැබෙනවා නම් ඉතා හොඳයි. මේ කුඩා කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා අප මහත් වෙහෙසක් ගන්නවා. ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන් ගේ ගැටලු හඳුනා ගනිමින් අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නම් වඩාත් ස්ථාවර විසදුම් ලබා ගත හැකියි."

දොබගස්කන්ද වන රක්ෂිතය නැරඹීම සඳහා විශාල වශයෙන් සංචාරකයින් පැමිණෙන බැවින් එහි ඇති කුඩා කර්මාන්ත ආරක්ෂා කිරීම කාලෝචිත වන්නා සේම එය ප්‍රාදේශීය මට්ටමේ ඉතා සාර්ථක ආදායම් මාර්ගයක්ද වනු ඇත.

චාන්දනී ජයසිංහ
ඉංගිරිය මධ්‍යම විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...