දේශපාලන පළිගැනීම්වලට ලක් වූ සියලු එජාප පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කරනවා | දිනමිණ

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ සියලු එජාප පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කරනවා

කමනි අල්විස්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට වසර තුනක් සාධාරණය ඉටු නොවුයේ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු නියෝජනය කළ ඇතමුන් දේශපාලන පළිගැනීම් කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකළ පිරිසක් වූ නිසා බව අනාවරණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් හා විදුලියබල හා පුනර්ජනනීය බලශක්ති රජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය .

මෙම තත්ත්වය පිළිබඳව වෘත්තීය සමිති මට්ටමින් සාකච්ඡා පවත්වා සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැති නීතීඥ පෙරේරා මහතා ජාතික සේවක සංගමයේ සාමාජිකයන්ගේ දුක්ගන්නා රාළ තමා බවත් ප්‍රකාශ කළේය. ප්‍රශ්න හඹා ගොස් විසඳුම් ලබාදීමට නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීම ඊයේ (17) සිදු කරන බවට පෙරේදා (16) රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කරමින් ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳව උපදෙස් ලබාගත් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එහිදී එතුමා දැනුම් දුන්නේ වෘත්තීය සමිති සම්බන්ධීකරණය කරමින් නායකත්වය ලබාදෙන බවත්ය. අගමැතිතුමා මෙම තනතුර ලබා දුන්නේ විශාල වගකීමකින් බවත් තනතුරේ කාර්යභාරය හරියාකාරව ඉටුකරන බවත් හෙතෙම පැවසීය.

රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (17) ජාතික සේවක සංගමයේ මූලස්ථානයට පැමිණි වෘත්තීය සමිති ලේකම්ධුරයේ වගකීම් භාර ගත්තේය. ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මැල් මහතා වෘත්තීය සමිති ලේකම් ධුරයේ වැඩභාර ගැනීමේ ලිපිය රාජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා වෙත ප්‍රදානය කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද පැවසීය.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදුවුණු අසාධාරණකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට වෘත්තිය සමිති සමඟ සම්බන්ධව ක්‍රියා කරනවා. මෙහිදී ඇමැති , මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ මන්ත්‍රී සිරිනාල් ද මැල් මහත්වරුන්ගේ සහයෝගය ලබා ගනිමින් අවබෝධයෙන් ක්‍රියා කරනවා. දුක්ගන්නා රාළ ලෙස ඉදිරිපත්වන ප්‍රශ්න හමුවේ හවුල්කාරයකු බවට පත්වී විසඳීමට පියවර ගන්නවා. පාක්ෂිකයින්ගේ ගැටලු පිළිබඳව රජය සමඟ සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති නායකයින්ට බලය තිබිය යුතුයි. මේ පිළිබඳව අළුත් දෘෂ්ටිකෝණයකින් කටයුතු කරමින් සැබෑ විසඳුම් සෙවීමට පියවර ගන්නවා. එසේ නැතිව කෙසේ හෝ දවස ගතකිරීම ප්‍රශ්නවලින් මඟහැරීමට පෙළඹෙන්නේ නැහැ.

ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පිළිගැනීමේ කථාව කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මැල් මහතා ඇතුළුව වෘත්තිය සමිති නියෝජිතයෝ මේ අවස්තාවට සහභාගී වූහ.

අදහස් 1ක් ඇත

It is a good work, appreciated.

නව අදහස දක්වන්න