උ. කොරියා නායකයා හමුවීමේ ට්‍රම්ප්ගේ අදහස වෙනස් වෙලා නැහැ | දිනමිණ

උ. කොරියා නායකයා හමුවීමේ ට්‍රම්ප්ගේ අදහස වෙනස් වෙලා නැහැ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උතුරු කොරියානු නායකයා හමුවීමේ අදහස තවමත් වෙනස් වී නොමැති බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් පවසයි. ඒ අනුව ජූනි 12 වැනිදා පෙර දැනුම් දුන් පරිදිම සිංගප්පූරුවේ දී එම හමුව පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි. ඒ සඳහා උපරිම පීඩනය එල්ල කරන බව ද න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ මතයේ තවමත් සිටින බව ද අමෙරිකාව පවසයි.

සමුළුව සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව මේ අතර උතුරු කොරියාව නිවේදනය කරයි. ඔවුන් මේ සම්බන්ධයෙන් සෘජුවම ඇඟිල්ල දිගු කරන්නේ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ටය‍. රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ උතුරු කොරියාව ලිබියාවේ ක්‍රමය අනුගමනය කළ යුතු බවයි. ලිබියාවේ කර්නල් ගඩාෆි විසින් න්‍යෂ්ටික වැඩසහන් අතැර දැමූ අතර ඉන් වසර කිහිපයකට පසු බටහිර සහය ලැබූ හමුදා අතින් ඝාතනය විය.

මෙවන් ප්‍රකාශ තුළින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් අත්හිටුවීම පිළිබඳව ඒක පාර්ශ්වීය තීන්දු ගැනීම පිළිබඳ කිම් ජෝන්ග්- අන් කෝපයට පත් වූ අතර න්‍යෂ්ටික අවි අත්හරින ලෙස එක්සත් ජනපදය ඒකපාර්ශ්විකව අවධාරණය කරන්නේ නම් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් ද ඉවත්ව යා හැකි බවට උතුරු කොරියාව අනතුරු හැඟවීය. ඒ සමඟම අමෙරිකාව සමග යුද අභ්‍යාස පැවැත්වීමට විරෝධය දක්වමින් දකුණු කොරියාවේ ඉහළ පෙළේ බලධාරීන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කිරීමට ද උතුරු කොරියාව කටයුතු කළේය.

ඒ සමඟම අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පැවැත්වීමට යන මැක්ස් තන්ඩර් යුද අභ්‍යාසය පිළිබඳව ද උතුරු කොරියාව කෝපයට පත්ව සිටියි. එය පැවැත්වීමට නියමිතව තිබුණේ දකුණු කොරියාවේ ශීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන සමයේ වුවත් ඊට උතුරු කොරියාවේ සහභාගිත්වය ඇතුළු මැදිහත් වීම් හේතුවෙන් කල් තැබිණ. අමෙරිකානු සහ දකුණු කොරියානු යුද අභ්‍යාස පැවැත්වීමේ ඉතිහාසය 1953 දක්වා දිව යන අතර වසරක් පාසා යුද අභ්‍යාස පැවැත්වීම සාමාන්‍ය සිදු වීමක් බව දෙරටේ ආරක්ෂක අංශ අවධාරණය කරයි. මැක්ස් තන්ඩර් යුද අභ්‍යාසය සඳහා අමෙරිකාවේ ගුවන් යානා සියයකට වැඩි සංඛ්‍යාවක් භාවිත කරන අතර බෝම්බ ප්‍රහාරක යානා මෙන්න ප්‍රහාරක ජෙට් යානා ද ඊට ඇතුළත් වේ. සාමාන්‍යයෙන් සෙබළුවන් 1200කට අධික සංඛ්‍යාවක් ද ඊට සහභාගි වන බව වාර්තා වේ‍ .

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න