සිංගප්පූරු ගිවිසුම...! | දිනමිණ

සිංගප්පූරු ගිවිසුම...!

මීට දසක හයකට හෝ හතකට හෝ පෙර එලියා කසාන් නම් ලේඛකයා අමෙරිකා - අමෙරිකා නමින් ප්‍රබන්ධ කථාවක් ලියා තිබේ. මේ කතාවෙන් කියැවෙන්නේ අරාබි සම්භවයක් සහිත දුප්පත් යෞවනයකු තුර්කියේ සිට අමෙරිකාවට පැන ගැනීමට දරන ප්‍රයත්නයයි. එම යෞවනයා තමන්ගේ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා සිල්ලර කාසි එකතු කරයි. පින්තූර එකතු කරයි. අමෙරිකාවට යනෙන කාන්තාවකට ආවතේව කරයි. අවසානයේ දිළිඳු යෞවනයා සියලු උප්පරවැට්ටි යොදා නැව් නැඟ අමෙරිකාව බලා පිටත්වෙයි. මීට බොහෝ කාලයකට පෙරත් ඉසුරුමත් රාජ්‍යයක් කෙරෙහි මිනිසා සතු අපේක්ෂාව මේ කතාවෙන් එළියට එයි.

අදටත් ඉසුරුමත් රාජ්‍යයන් කෙරෙහි අප තුළ ඇත්තේ බලාපොරොත්තු ගොන්නකි. අප එක්කෝ එම රටවලට ගොස් ජීවිතය ජයගත යුතුය. නැතහොත් එම රටවල සහයෝගය ද ඇතිව අපේ රටවල් දියුණුව කරා‍ ගෙන යා යුතුය. පළමු අදහසට වඩා දෙවන අදහස වැදගත් යැයි සිතන්නට පුළුවන. අමෙරිකාව, ජපානය, චීනය, දකුණු කොරියාව, ජර්මනිය, කැනඩාව, සිංගප්පූරුව ඉසුරුමත් රාජ්‍යයන් ලෙස හැඳින්‍විය හැකිය. මේ රටවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම වරදක් ද? එය වරදක් ලෙස දැකිය හැක්කේ ලෝක ආර්ථිකය හැසිරෙන අන්දම නොදන්නා කෙනකුට පමණි. එලෙස ආර්ථිකය ‍ගැන නොදන්නා අය පතුරවන මතවාද අප පිළිගත යුතු ද?

පෙරේදා ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක විය. මේ වර්ජනය නිසා දුප්පත් රෝගීන් බලවත් අසීරුවට පත්වූ ආකාරය ජනමාධ්‍ය විසින් හෙළිදරව් කරන ලදී. වර්ජනයට හේතුව සංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යන ආර්ථික ගිවිසුම ය. උක්ත ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ට අසාධාරණයක් වන බව වෛද්‍ය සංගමය කියා සිටී. මෙය ඇත්තක් නම්; සිංගප්පූරුවේ වෙද්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. සිංගප්පූරුවේ ඉංජිනේරුවන් හා ගණකාධිකාරීවරුන් ද ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. එය කිසිවිටෙකත් සිදු නොවන දෙයකි. සිංගප්පූරුවේ වෛද්‍යවරයකුගේ වැටුප ශ්‍රී ලංකාවේ දී කිසිවිටෙක නොලැබෙනු ඇත.

වෛද්‍ය වැඩ වර්ජනය ගැන අදහසක් දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියා ඇත්තේ අපේ වෛද්‍යවරුන් ආර්ථික විශේෂඥයන්ගේ කටයුතු භාරගෙන ඇති බව ය. සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඇ. ඩො. පනස්දහස ඉක්මවන බව ද ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇ. ඩො. හාරදහස නොඉක්මවන බව ද ආචාර්යවරයා පෙන්වා දෙයි. දෙරටේ ආර්ථික වර්ධනයෙහි ඇති පරතරය ද එයින් පැහැදිලි වෙයි. සිංගප්පූරුව වැනි ධනවත් රාජ්‍යයක සිට ශ්‍රී ලංකාවේ සේවයට එන වෘත්තීයවේදියකු සිටිත්ද ඔහුට සිදුවන්නේ පාඩු ලැබීමට ය. වෘත්තීයවේදීන් තබා කිසිදු මනුෂ්‍යයකු පාඩු ලබන්නට කැමැති නැත. අපේ වෛද්‍ය සංගමය ළඟ ඇත්තේ හුඹස් බියක් යැයි කියන්නට පුළුවන. දේශපාලනමය උවමනාවක් මෙහි පසුපස තිබේයැයි සිතන්නටද ඕනෑතරම් අවකාශ ඇත.

රටක ආර්ථිකය හැසිරවීම සඳහා පාලක පක්ෂයක් සිටිති. ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ආර්ථික උපදේශක මණ්ඩලය එම කණ්ඩායමට අයත් වෙති. මේ අය රටට අහිතකර ආර්ථික තීන්දු ගන්නේ යැයි සිතිය නොහැකි ය. ඒ හැරත් ආර්ථිකයේ සෑම අංශයක් ගැන ම සොයා බලා ඉහත තීන්දු ගනු ලබන බව ද පිළිගත යුතුය. මේ කණ්ඩායමට නැති විශේෂ ආර්ථික දැනුමක් වෛද්‍ය සංගමයට ඇතැ’යි විශ්වාස කළ නොහැකි ය. වෛද්‍ය වැඩ වර්ජනය හා ඔවුන්ගේ මතවාදය ද දැඩි විවේචනයකට ලක්වන්නේ සාධාරණ හේතු මතය. රටට වැදගත් ආර්ථික තීරණවලට එරෙහිවීමත් ඒ අරභයා වැඩ වර්ජන පැවැත්වීමත් දැන් එක්තරා මෝස්තරයක් වී තිබේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වීමට යන එට්කා ගිවිසුමට සමහරු විරුද්ධ වෙති. සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වීමට යන ආර්ථික ගිවිසුමට ද තව සමහරු විරුද්ධ වෙති. ඇතැම් වෘත්තීය සමිතිවල හැසිරීමෙන් පෙනී යන්නේ ඕනෑම ගිවිසුමකට විරුද්ධ වෙන තත්ත්වයකි. ඍජු ආයෝජන නැතිව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට තල්ලු කළ නොහැකි බව පිළිගන්නට විශේෂඥ ආර්ථික දැනුමක් අවශ්‍ය නොවේ. අපේ රට දුප්පත් ය. ලෝක වාණිජ ගනුදෙනුවලදී සාර්ථක ස්ථානයක් අපට නැත. එහෙත් අපට පිටුපසින් සිටි රටවල් ධනවත් රාජ්‍යවල ද සහයෝගය ලබමින් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් අත්පත් කරගනිමින් සිටිති. අප ද ඒ තැනට යා යුතුය.

ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වූ සැණෙන් කියා සිටියේ ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට පත්කරන බවය. ඊට පෙර සිංගප්පූරුව ගොඩනැඟූ ‘ලීක්වාන් යූ’ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බඳු ශක්තිමත් ආර්ථිකයක් සිංගප්පූරුවට ලබාදෙන බව ය. ජයවර්ධන මහතාට ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත් කිරීමට නොහැකි වුව ඊට අදාළ පසුබිම ඔහු අතින් නිර්මාණය විය. විශේෂයෙන් එහිලා සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ රටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමය. මේ ක්‍රමය නිසා නිදහස් වෙළෙඳ කලාප ඇතිවිය. ග්‍රාමීය තරුණ පරපුර වැඩි වශයෙන් නව නිෂ්පාදනවලට හා නව කර්මාන්තවලට යොමු වූහ. එසේ නොවන්නට අපගේ රැකියා වියුක්තිය මීට වඩා බොහෝ සෙයින්ම වැඩිවන්නට ඉඩ තිබිණි.

ලෝකයේ කිසිදු තැනෙක හුදෙකලා රාජ්‍යයන් දියුණු වන්නේ නැත. ලෝක ආර්ථිකය පවතින්නේ අන්තර්ජාතික වෙළෙඳාම හා මූල්‍ය ගනුදෙනු මත ය. මේ සඳහා ගෝලීය වශයෙන් ද, කලාපීය වශයෙන් ද ඇතිකරගත් එකඟතා හා සම්මුති තිබේ. ඒ හැරෙන්නට රටවල් දෙකක් අතර අස්සන් තැබෙන ගිවිසුම් ද තිබේ.

මේ ගිවිසුම් ක්‍රියාත්මක වන්නේ දෙරටේම අභිවෘද්ධිය සඳහා ය. එක රටක් තවත් රටකට සූරාකෑමට ඉඩප්‍රස්ථා ලැබෙන ලෙස ගිවිසුම් ගහන්නේ නැත. ඉන්දියාව අමෙරිකාව සමඟ ගිවිසුම්වලට ගොස් තිබේ. පාකිස්ථානය හා චීනය ද අමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට ගොස් තිබේ. අපේ පොදු සමාජය පමණක් නොව; වෘත්තීයවේදීන්ගේ සංගම් පවා සිංගප්පූරු ගිවිසුමේ වටිනාකම හඳුනාගත් බවක් පෙනෙන්නට නැත.

වෛද්‍ය සංගමය ගෙන ගිය වැඩ වර්ජනයෙන් පසු සිංගප්පූරු - ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම ගැන පුළුල් සාකච්ඡාවක් ඇති කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව ලබන විසිදෙකදා මේ සාකච්ඡාව පැවැත්වීමට නියමිත ය. වෛද්‍ය සංගමයට ද සාකච්ඡා සඳහා එන්නැ’යි දන්වා ඇත. විරෝධතා දැක්වීමට හා වැඩ වර්ජනය කිරීමට පෙර සාකච්ඡා මාර්ගයට ගියේ නම් එය වැදගත් ය. ආණ්ඩුව සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගැනීම සඳහා අවස්ථාවක් ලබාදී ඇති අතරම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද පෙනීයයි. සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම ගැන ඇත්ත තත්ත්වය ඉහත සාකච්ඡාවෙන් උපුටා ගැනීමට හැකිවනු ඇත. කෙසේවුව වර්ජනයට වඩා අව‍බෝධය වැදගත් ය.

 

නව අදහස දක්වන්න