එංගලන්ත රජපවුලේ නව යුගයක ඇරැඹුම | දිනමිණ

එංගලන්ත රජපවුලේ නව යුගයක ඇරැඹුම

ෆවුස් මොහොමඩ්

වසර දහස් ගණනක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඉංග්‍රීසි රාජධානිය අමෙරිකානු - අප්‍රිකානු බිෂොප්වරුන්ගේ අනුශාසනවලින් සහ ගීතිකා කණ්ඩායමේ සුභාරංචිවලින් රැව් පිළිරැව් දෙද්දී බ්‍රිතාන්‍ය රජ පවුලේ හිතුවක්කාරයා හැරී කුමරු සහ අමෙරිකානු නිලි මෙගන් මාර්කල්ගේ අතිනත ගැනීම බ්‍රිතාන්‍ය රජපවුලේ නව යුගයක ආරම්භය සටහන් කළා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගැන ලිපි ගණන් ලියන විශාරදයන් විසින් වසරේ විවාහය...නොඑසේනම් එංගලන්ත රාජවංශය උඩු යටිකුරු කරවන පෙරළිකාර සිදුවීම... වැනි විවිධ අර්ථකතන සපයනු ලැබු හැරීගෙත් මෙගන්ගෙත් මේ කූඩු තැනීම එක් අතකට අමෙරිකාවත්. බ්‍රිතාන්‍යයත් එකට යාකළ අසිරිමත් සිදුවීමක්. ඉන් ඔබ්බට යන්නේ නම් රජ කුමරුට වඩා වසර 3ක් වැඩිමල් පළමු කසාදය කුරුටු ගෑ දැමූ කළු ජාතික සම්භවයක් ඇති එක්තරා දඟකාර නිලියකගේ රාජකීය සම්ප්‍රාප්තිය ලෙසත් මේ විවාහය හඳුන්වනවා.

අලුත ගෙනා රාජකීය මනාලියට දෙවැනි මනාලියන් සිටියේ නෑ. වින්ඩ්සර් මාලිගාවේ ඓතිහාසික සාන්ත ජෝර්ජ් දෙව් මැදුර මැදින් දේව මෙහෙය සිදුකරන වේදිකාව ඉදිරියට කැටුව යාමට භාරකරුවකු සිටියේ නෑ. අමෙරිකාවේ ජීවත්වන ඇගේ පියා රෝගාතූර වීම නිසා අන්තිම මොහොතේ තම දියණියගේ විවාහයට සහභාගි නොවන බව දැනුම් දීමෙන් පසුව ඇය දේව මෙහෙය කරා කැටුව යාමට සිදුවූයේ මනාලයාගේ පියා වන රජ පවුලේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාටයි.

මේ රාජකීය විවාහයේදී වෙනදාට හිතුවක්කාර සිනහවකින් මුව සරසාගෙන සිටින හැරී කුමරුත්, දඟකාර දෑස් ඇති මෙගන් කුමරියත් ඉතා හැඟුම්බර වුණා. ඔවුන් දෙදෙනාම අමුත්තන්ට සංග්‍රහ කළේ ආරුඩ කරගත් ව්‍යාජ සිනහවක්. මෙවැනි දිනයක් තම ජීවිතයට කෙදිනක හෝ උදාවන බව හැරී කුමරු දැන සිටියත් රාජකීය ගෞරවය සහිත විවාහයක් සිය ජීවිතයට එක්කාසු වනු ඇතැයි මෙගන් නම් නොසිතූ බව සහතිකයි.

එංගලන්තයේ රෝස කුසුම... ඩයනා කුමරිය ජීවිතය හැරදා ගියාට පසුව වසර 21ක් පුරා එහෙම පිටින්ම අඳුරු වූ හැරී කුමරුගේ ජිවිතය යළි ආලෝකමත් වන දිනයේදිත් ඔහු තම ආදරණීය මව අමතක කළේ නෑ. එවකට අවුරුදු 13ක්වූ මේ කුඩා කොලුගැටයා තම විවාහයට අවුරුදු ගණනාවක් තිස්සේ රජ පවුලෙන් ඈත්වී සිටි ඩයනා කුමරියගේ සොයුරු අර්ල් ස්පෙන්සර්, සොයුරියන් ජේන් සහ සාරා දෙව් මැදුරට ඇරියුම් කර තිබුණා. ඩයනා කුමරිය වඩාත්ම ඇළුම් කළ සුදු රෝස මල්වලින් දෙව්මැදුර සරසා තිබුණා. මවගේ අඩුව නොදැනෙන්නට ඇගේ සොයුරිය ජේන් ආර්යාවට මේ උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීමට හැරී කුමරු ඇරියුම් කර තිබුණා.

මේ විවාහය රූපවාහිනියෙන් නැරැඹූ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වූයේ රජ පවුල අසුන් ගෙන සිටි පේලියේ පළමු අසුන හිස්ව තිබීම ගැනයි. ඒ අසුන තිබුණේ විලියම් කුමරුට යාබදවයි. ඊට එහායින් චාල්ස් කුමරුත්, කැමිලා කුමරියත්, කේට් කුමරියත් අසුන්ගෙන සිටියා. එලිසබෙත් රැජනත්, පිලිප් කුමරුත් අසුන්ගෙන සිටියේ ඊට ඉහළින් තිබු ආසනවලයි. කවුරුත් සිතුවේ ඒ අසුන ඩයනා කුමරිය සිහිපත් කරමින් වෙන් කර ඇති බවයි.

නමුත් සැබැවින්ම එය රාජකීය සම්ප්‍රාදයට අනුව සිදුකෙරෙන්නක්. එලිසබෙත් මහ රැජනට ඉදිරියෙන් ඇති අසුන නිරතුරුවම හිස්ව තිබීම රජපවුලේ සම්ප්‍රදායක් බවයි පසුව අනාවරණය වුණේ. මෙගන් කුමරියගේ මංගල මුදුවට එක්කාසු කර තිබුණේ ඩයනා කුමරියගේ දියමන්ති එකතුවෙන් හැරී කුමරුන් තෝරාගත් දියමන්ති දෙකක්. එය මව සිහිපත් කරමින් ජීවිත කාලය පුරාම තම බිරිය අත සුරැකිව තිබෙනු දැකීමට ඔහු තුළ වූ කැමැත්ත පෙන්නුම් කළා.

ආදරය ගැන අමෙරිකාවෙන් පැමිණ සිටි කළු ජාතික බිෂොප්වරයා විසින් සිදුකරනු ලැබු විශේෂ දේශනය, ඩයනා කුමරියගේ සොයුරියගේ දේශනය වගේම විවාහය සිදු කිරීමෙන් පසුව Karen Gibson and The Kingdom Choir ගීතිකා කණ්ඩායම විසින් ගයනු ලැබු වසර 60ක් පැරැණි එහෙත් අදටත් ජනප්‍රිය ‘Stand by Me‘ ගීතයත් පැමිණ සිටි සියළුදෙනා සංවේදි කරවන්නට සමත්වුණා. සැබැවින්ම එය දේශපාලන අරුතක් සහිත ගීතයක්. අමෙරිකානු කළු ජාතික ගායකයකු වූ බෙන් කිංග් ගැයූ මේ ගීතය එකළ හඳුන්වනු ලැබුවේ ශතවර්ෂයේ ගීතය ලෙසයි.

‘රාත්‍රිය එළැඹෙද්දී භූමිය අඳුරට හැරෙයි...
අපි දකින එකම ආලෝකය සඳ පමණයි...
නමුත් මා බිය නොවන්නෙමි...
ඔබ මා වෙනුවෙන් නැගී සිටින තාක්කල්
මා බිය නොවන්නෙමි...
ඉතින් මා වෙනුවෙන් නැගි සිටින්න...‘

විවාහයෙන් පසුව එලිසබෙත් මහ රැජනගේ අනුමැතිය යටතේ හැරි කුමරු සසෙක්ස්හී ආදිපාදවරයා ලෙසත්, මෙගන් කුමරිය සසෙක්ස්හි ආදිපාදවරිය ලෙසත් ගෞරව නාමයට පාත්‍ර වුණා. ඔවුන්ගේ යුගදිවිය ආරම්භ වන්නේ එලෙසිනුයි.

ඩයනා කුමරිය ජීවිතයෙන් සමුගත්තේ 36 හැවිරිදි වියෙහි පසුවෙද්දියි. දැන් හැරී කුමරුගේ මනාලිය මෙගන් කුමරියටත් අවුරුදු 36යි.

‘අවුරුදු 12දී මට අම්මා අහිමිවීම ඉතිරි අවුරුදු 20 පුරාම මගේ ජීවිතය හුදෙකලා කළා. ඒ තනිකම මගේ පෞද්ගලික ජිවිතයට විතරක් නෙවෙයි පොදු කටයුතුවලදීත් දැනුණා.‘ හැරී කුමරු එසේ කීවේ පසුගිය වසරේ සිය මවගේ අනුස්මරණ දිනයේදීයි.

දැන් ඔහුගේ ජීවිතයට... තනිකම...පාළුව...මකා දමන්නට.. අමෙරිකාවෙන් මනාලියක් ඇවිත්.

පවුලේ හිතවත්ම 200 දෙනකුට දෙව්මැදුරේ උත්සවයෙන් පසුව චාල්ස් කුමරු පැවැත්වූ ප්‍රිය සම්භාෂණයට එක්වෙන්න තම අලුත ගෙනා මනාලිය සමග එක්කාසු වෙන්නට ‘ෆ්‍රොග්මෝ හවුස්‘ මන්දිරයට යද්දී හැරී කුමරුගේ සිත තුළ නින්නාද දුන්නේ දෙව්මැදුරේදී ඇසුණු ඒ හැඟුම්බර ගීතයයි.

‘මා වෙනුවෙන් නැගී සිටින්න...‘

 

නව අදහස දක්වන්න