සමාජයක් පටන්ගන්නෙ මව් කුසෙන්මයි | දිනමිණ

සමාජයක් පටන්ගන්නෙ මව් කුසෙන්මයි

ශාස්ත්‍රවේදී, ගොඩගම අනුරධම්ම හිමි

අද ළමා පරපුර හෙට රටේ අනාගතයයි. රටට යහපත් අනාගතයක් උදා කිරීමටනම් මනා පෞරුෂයකින් යුත් දරු පිරිසක් බිහි කිරීම අත්‍යවශ්‍ය ය. ගුණගරුක දරු පරපුරක් සමාජයට දායාද කළ යුත්තේ කෙසේ ද? එම කාර්යභාරයේ වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන කරුණු පැහැදිලි කරමින් අද ධර්ම සභාවට අදහස් දක්වන්නේ රාගම, හොරපේ, සුනන්දාරාමාධිපති, හීන්කෙන්ද ප්‍රාථමික විදුහලේ විදුහල්පති ශාස්ත්‍රවේදී, ගොඩගම අනුරධම්ම හිමි ය.

ස්වාමීන්වහන්ස! ඔබ යහගුණයෙන් සපිරි දරුවා දකින්නේ කොහොම ද?

යහගුණය වශයෙන් අර්ථ දක්වන්නේ යහපත් බව හා ගුණවත් බවයි. පුද්ගලයකු යහපත් ආකල්ප හා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ යහපත් බව තීරණය වෙනවා. කෙනකු තුළ තිබෙන යහපත් බවට ගුණවත් බව එක්වූවිට එම පුද්ගලයා තවත් සාර්ථක වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා ගුණය වගේම නීතිගරුක වීම ගුණයෙන් පෝෂිත තැනැත්තෙකු සතු ගුණාංග වෙනවා. මේ සියල්ලම සමාජයක සාර්ථකත්වයට අතිශයින්ම වැදගත්. ඒ නිසා සමාජයේ අනාගත මෙහෙවරට සූදානමින් හිඳින දරු පරපුර මේ යහගුණයෙන් පිරිපුන් පිරිසක් බවට පත් වෙන්න ඕන. යහපත් අයහපත් ඕනම දෙයක් කුඩා මනසට ඇතුළුවූ විට එය ජීවිතය පුරාම ක්‍රියාත්මක වෙනවා. අයහපත් දේ ඉවත්කර යහපත් දේ පමණක් කුඩා දරුවාට ලබාදීම වැදගත්. අපේ පැරණි කියමනක් තිබෙනවා “ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි” කියල. එයින් අදහස් කරන්නෙ දෙයක් පුරුදු වූ පසු එය නිරායාසයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියන කාරණයයි. ඒ නිසා නිතරම දරුවාට හොඳ දෙයම පුරුදු කරන්න ඕන.

දරුවකු තුළ ගුණ-යහපත් මානසිකත්වය රෝපණය කිරීම හා ඒවා ක්‍රියාත්මක කරවීම කළයුතු වන්නේ කවුරුන් විසින් ද?

දරුවකු මෙලොවට බිහි වූ පසු පළමුව ඇසුරු කරන්නේ මව කියන චරිතය. දරුවකු බිහි කිරීමට පෙර සිටම මවක් කළයුතු කාර්ය භාරය අපමණයි. කලලය පෝෂණය පිණිස අවශ්‍ය ආහාර-පාන ගත්තාට පමණක් මදි. දරුවා කුස තුළ වැඩෙන අවධියේ සිටම මවගේ චින්තනය ඔහුට බලපානවා. මව සිතන පතන ආකාරය හා ඇය අත්විඳින දේ දරුගැබට බලපෑමක් කරනවා. ඒ නිසා දරුවකු බිහි කිරීමට සූදානමින් සිටින මවක් තුළ යහපත් ආකල්ප තිබිය යුතුමයි. මවගේ ගති පැවතුම් දරුවාට විශේෂයි. දරුවා බිහිකළ පසු යහපත් දේ නිතර දරුවාට ඇසීමටත්, දැකීමටත් සැලසීම තුළින් දරුවා ඒවා තදින් මනසට ග්‍රහණය කර ගන්නවා. මවගෙන් ඔබ්බට යන දරුවාගේ අවධානය පියා ඇතුළු රිසරයේ වෙසෙන සැම වෙත යොමු වෙනවා. එනිසා දරුවා වටා සැරිසරණ සියලුම චරිත දරුවාගේ අවධානයට ලක්වෙනවා. ඔවුන් කරන කියන දේ දරුවා ආදර්ශයට ගන්නවා. එතනින් තමයි දරුවා පළමුවෙන්ම සමාජයට අවතීර්ණ වෙන්න උත්සාහ කරන්නෙ. දරුවෙක් අනුකරණය කරන්නෙ තමාට සමීපව සිටින චරිත හා ඔවුන්ගේ ස්වභාවය නිසාම නිවසේ වෙසෙන්නන්ගේ ආකල්ප හා ක්‍රියාකලාප දරුවාගේ ස්වභාවය තීන්දු කරනවා. මේ අනුව මව - පියා ඇතුළු පවුලේ සැමට තමන්ගේ දරුවාට, සාමාජිකයාට යහපත් දේම පමණක් ලබා දීමට වගකීමක් හා යුතුකමක් තියෙනවා.

නිවසින් බැහැරවන දරුවා සමාජගත වීම ආරම්භ කරන්නේ පාසලෙන්. ඒ අනුව පාසලට හා ගුරුභවතුන්ට විශේෂ කාර්යයක් තිබෙනවා නේද?

මව-පියා වගේම ගුරුවරයා ද දරුවාගේ යහපත් මානසිකත්වය හා ක්‍රියාකාරකම්වලට මුල්වන පුද්ගලයායි. අධ්‍යාපනය වගේ ආධ්‍යාත්මයත් ගොඩනැගීම ගුරුවරයා සතු කාර්යභාරයක්. දරුවකු යහමගට යැවීමට හෝ අධර්මිෂ්ඨයකු කිරීමේ හැකියාව ගුරුවරයා සතුයි. බුද්ධකාලීන භාරතයේ විසූ ‘දිසාපාමොක් ආචාර්යවරයා හා අහිංසක’ චරිත මෙයට කදිම උදාහරණයක්. දරුවා සමූහයක් සමඟ කටයුතු කිරීමට හුරු වෙන්නෙ පාසල තුළින් නිසා සමාජයේ විවිධ චරිත හා පුද්ගලයන් සමඟ සුහදව කටයුතු කිරීම හා සියලු ජාති, ආගම්වලට ගරුකොට සුහදව කටයුතු කිරීම පාසල තුළින් ලැබිය යුතුයි. මිනිසකු තවත් මිනිසකු හඳුනාගතයුත්තේ ජාති, කුල, ආගම්වලින් නොව යහපත් ආකල්ප හා ක්‍රියාවෙන් බව කුඩා කාලයේ සිටම දරුවාට ඉගැන්විය යුතුයි. රටක සාරධර්ම හා ආචාරධර්මවලට නතුව විනීත, නීතිගරුක පුද්ගලයෙක් ලෙස ජීවත්වීම සාර්ථක මිනිසෙක් තුළ තිබියයුතු ප්‍රධානම ලක්ෂණය බව කුඩා මනසට ඇතුල්කිරීම ගුරුවරයාට පහසු කාර්යයක්. වරද දුටු තැන එය පෙ‍න්වාදී නිවැරදි කිරීම දරුවාගේ අනාගතයට‍ බෙහෙවින් බලපානවා. මිනිසාට, පරිසරයට ආදරය කරන උගත්, බුද්ධිමත් පුරවැසියන් බිහි කිරීම ගුරුවරුන් සතු යුතුකමක්. ගුණගරුක යහපත් දැනඋගත් දරුවකු සමාජයට දායාද කිරීම තරම් සතුටක් ගුරු දෙගුරුන්ට තවත් නොතිබිය යුතුයි. එයයි ඔවුන්ගේ කාර්ය. එනිසා සාර්ථක දරුවකු පිටුපස සාර්ථක ගුරු දෙගුරුන් ඉන්නවා.

දරුවකු සාර්ථක කරවීමට අවවාද හා අනුශාසනා පමණක් ප්‍රමාණවත් ද?

බුදු බණේ සඳහන් වෙනවා ‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ කියල. උන්වහන්සේ එය සනාථ කර තිබෙනවා. ආදර්ශවත් නොවන පුද්ගලයා අවවාදයට සුදුසු නැහැ. ඒ නිසා දරුවකුට අවවාද කිරීමට ගුරු - දෙගුරුන් ආදර්ශවත් වී සුදුසුකම් ලබන්න ඕන. නැත්නම් දරුවා ඔවුන් උපහාසයට ලක් කරනවා. ඒ අනුව බලනවිට ගුණයහපත් දරුවකු බිහි කිරීමට ප්‍රථම වැඩිහිටියන් ගුණයහපත් වී සිටීම වැදගත් වෙනවා. අද ගුණයහපත් දරුවා හෙට ගුණයහපත් වැඩිහිටි‍යකු බවට පත් වෙනවා. ඒ වැඩිහිටියගෙන් බිහිවන දරුවන් ද ගුණයහපත් වෙනවා. ඔය ආකාරයට ගුණයහපත් බවේ චක්‍රය තුළින් සමාජය යහපත් වෙනවා. යහපත් සමාජය සාර්ථක රටකට පිටිවහලක්.

වර්තමානය දෙස බලනවිට දරුවන්‍ වෙත වැඩිහිටියන් ලබාදෙන පණිවිඩය යහපත් ද?

වත්මන් සමාජයේ සිදුවෙන ඇතැම් දේ දිහා බලනවිට සමහර වැඩිහිටියන් තුළින් දරුවන්ට ලැබෙන පණිවිඩය ඛේදනීයයි. සමහර වැඩිහිටි උදවිය හැසිරෙන්නෙ උම්මත්තක ස්වරූපයෙන්. ඔවුන් කළ කී දේ දෙස ආපසු හැරී බලද්දී කණගාටුදායකයි. ඇතැමුන් පුහු මතවාද නිසා කුලල්කා ගන්නවා. මරා ගන්නවා. දේපළ, චරිත හානි පමුණුවනවා. මිනිසකුගේ වටිනාකම නොහඳුනන, ආත්මාර්ථයෙන් මනස විකෘතිවූ අය එවැනි දේ කරමින් සතුන් වගේ හැසිරෙනවා. මෙවැනි දේ තුළින් සමාජය පිරිහීමට පත්වෙනවා. එහෙම වුණාම කුඩා දරුවන් තුළ සැකසෙන මානසිකත්වය කොහොමද? එහෙම දරුවෙකුගෙන් සමාජයට යහපතක් අපේක්ෂා කරන්න පුළුවන් ද?

සාර්ථක දරු පරපුරක් බිහි කිරීමට වැඩිහිටියන් වෙත ඔබ දෙන පණිවිඩය කුමක්ද?

සිඟාලෝවාද සූත්‍රයේ පරිදි යහපත් වැඩිහිටියන් වෙන්න.පරාභව සූත්‍ර දේශනාවේ එන පරිහානි ධර්ම අවබෝධ කරගන්න. මහා මංගල සූත්‍රයේ පරිදි වාසය කරන්න.අපේ රට සිංහල, දමිළ, මුස්ලිම් ,බර්ගර් ආදී බහු ජාතීන් වෙසෙන රටක් වගේම බෞද්ධ කතෝලික, හින්දු වැනි ආගම් අදහන රටක්. මේ හැම ආගමක්ම ජාතියක්ම නියෝජනය කරන්නේ මිනිසුන් බව සිහි තබාගන්න ඕන. මේ ‍‍රටේ පවතින ප්‍රජාතන්ත්‍රික අයිතිය අනුවත් ඕනම ආගමක් ඇදහීමට, ඕනම භාෂාවක් කතා කිරීමට අයිතියක් මිනිසාට තිබෙනවා.ඒ සෑම දෙයක්ම ඒ..ඒ අයගේ පුද්ගලික කැමැත්ත. අන්‍ය ආගම් අන්‍ය ජාතීන්, අන්‍ය භාෂාවන්ට ගරු කිරීම බුදුන් වහන්සේත් සිදු කළා. උන්වහන්සේ විවිධ ජාතීන්, ආගම් සමග සුහදව කටයුතු කළා. ඒ නිසා අපේ රටේ වරින් වර ඇතිවන ගැටුම් හා ගැරහුම් නවතා එකම රටක, එකම සමාජයක ජීවත්වන මිනිසුන් වශයෙන් කටයුතු කරමින් ගුණගරුක සමාජයක් උදෙසා ගුණගරුක දරුපිරිසක් බිහි කිරීමට හිතට ගන්න ඕන.එවිට සැම දෙනාගේම ජීවිත සුන්දර වේවි.

සටහන - නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න