මේ වෘත්තිය හෑල්ලු කරන්න මම කැමැති නෑ | දිනමිණ

මේ වෘත්තිය හෑල්ලු කරන්න මම කැමැති නෑ

රයන් වැන්

‘දේදුනු වැස්ස' සිනමා නිර්මාණ‍යෙන් රංගනයට පිවි‍සෙන රයන් වෑන්රොවන්, ඉන් ඉක්බිතිව ‍ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවි‍සේ. බටහිර ‍පෙනුමකින් යුතු ශ්‍රී ලාංකේය තරුණයකු වන ඔහුට, මෙරට නිපදවන ටෙලි නිර්මාණවල වි‍දේශීය චරිත හිමි වන්නේ ද ඒ පෙනුම නිසාම ය. කඩ‍දොර ‍ටෙලි නාට්‍ය‍යේ ‍රොබට්ගේ චරිතය නිසා සම්මානයට බඳුන් වන ඔහු, මේ දිනවල 'ලයනල් සඳුන්' නමින් ප්‍රසිද්ධ ය. ඓතිහාසික වෘතාන්තයක් වන 'මුතුකුඩ' ටෙලි නාට්‍යයේ රඟපාන විදේශීය රාජ්‍ය නිලධාරියකුගේ චරිතය අද වනවිට බොහෝ දෙනා අතර කතාබහට ලක්ව තිබේ.

ඔබගේ රංගන දිවියේ ආරම්භය වෙත ගමන් කළොත්?

මම රඟපාන්න ඇරියුම් කරන්නේ බුද්ධික ජයරත්න හිතමිතුරායි. ඒ වෙද්දි මට රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතලා තිබුණෙ නැහැ. බුද්ධිකයි , මමයි අතර ලොකු ඇසුරක් තිබුණෙත් නැහැ. හැබැයි අපි නිතරම හැන්දෑවට කෝපි බොන්න ගිය අවන්හලකදි මුණගැහුණා. ඔහු නිර්මාණය කරන ‘දේදුනු වැස්ස‘ චිත්‍රපටයේ රජීව්ගෙ චරිතය රඟපාන්න‍ කියලා, එක දවසක බුද්ධික මට ඇරියුම් කළා. ඒ වෙද්දි මම රඟපාලා තිබුණෙවත්, රංගනය ගැන දැනගෙන හිටියෙවත් නැහැ. මම රඟපාන්න දන්නෙ නැහැනෙ කියලා මම කිව්වා. ඒ වෙලාවේ රජිව් කියන චරිතය මට හඳුන්වා දෙමින් බුද්ධික පැවසුවේ , මම කාලයක් තිස්සෙ ඔයා අධ්‍යයනය කළා. ඔයාට මේ චරිතය රඟපාන්න පුළුවන් කියලයි. ඔයා සාමාන්‍ය දිවියේ ඔයා විදිහටම මේ චරිතයට ප්‍රවේශ වෙන්න කියලත් ඔහු මට උපදෙස් දුන්නා. දේදුනු වැස්ස චිත්‍රපටයේ රජීව්ගෙ චරිතයෙන් පස්සෙ මට සිනමාපට කිහිපයකටම ඇරියුම් ලැබුණා. ‘ආසයි මං පියාඹන්න‘ , සිකුරු මාරුව, තානාපති නිළ නිවස වගේ චිත්‍රපටවල රඟපාද්දි මට රංගනය ගැන විශේෂ ඇල්මක් ඇතිවෙලයි තිබුණේ.

කවදාවත් රංගනය ගැන නොහිතපු ඔබට, හිටිගමන් ලැබුණු නළු වරම පුදුමයක්ද?

මම රඟපාලා නැති වුණාට, මට කවදාවත් රඟපාන්න ලැබෙයි කියලා නොසිතුවාට, ඒ වෙද්දි මම චිත්‍රපට සිය ගණනක් නරඹපු හොඳ රසවතෙක්. මගේ අම්මා සිංහල. මගේ මවගේ ඥාතීන් හරියට චිත්‍රපට නරඹන්න පුරුදුවෙලා හිටියා. මම කුඩා දරුවෙක් කාලයේ ඉඳන් ඔවුන් චිත්‍රපට නරඹන්න යද්දි, මාත් එක්කගෙන ගියා. ඒ කාලෙ මම ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග , මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයන්ගෙ රංගනය ගැන පුදුම විදිහට බැඳිලයි හිටියෙ. මට බුද්ධික හඳුනා ගන්න ලැබෙන කාලය වෙද්දි , ඔහුගේ ජනප්‍රියම අවධියයි. ඒ කාලේ බුද්ධික ජනතාවගේ ආදර සැලකිලිවලට ලක්වෙනවා දකිද්දි, මටත් නළුවෙක් වෙලා ඒ වගේ ආදරයක් ලබන්න ඇත්නම් කියලා හිතුණා. ඒ නිසා, ඇරියුම අහම්බයක් වුණත්, අවස්ථාව මගේ හිත බලාගෙන හිටි එකක්.

ඔබ රූපවාහිනී මාධ්‍යයට පිවිසෙන්නෙ කොයි කාලෙද?

මට මුලින්ම ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබෙන්නේ එරංග සේනාරත්නගේ 'සොඳුරු සිතැත්ති' නිර්මාණයෙනුයි. ඊට පස්සෙ මට ටෙලි නාට්‍ය ලැබුණා. ඒත් ඒ විශේෂ චරිත නෙමෙයි. පුංචි තිරයේ මට මුලින්ම ලැබෙන සුවිශේෂී අවස්ථාවක් විදිහට, රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ කඩදොර ටෙලි නාට්‍යයේ රොබට්ගේ චරිතය දක්වන්න පුළුවන්. ලංකා ඉතිහාසය තුළ සිටි බටහිර ජාතිකයකු වන රොබට් නොක්ස්ගේ චරිතය රඟපාන්න ලැබීමත් එක්ක, මා හැමෝගෙම අවධානයට වගේම, ඇගැයීමටත් ලක් වුණා. රොබට්ගේ චරිතය රඟපෑම වෙනුවෙන් මට 2012 වර්ෂයේ සම්මාන තුනක් හිමි වුණා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳ ම නැගීඑන නළුවා ලෙසත්, රාජ්‍ය හා සුමති ටෙලි සම්මාන උළෙලවල කුලතා සම්මානත් ඒවා විදිහට දක්වන්න පුළුවන්. අදටත් මගේ ජීවිතයේ සතුටුදායකම අවස්ථාව මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, එදා මම සම්මාන ලබලා, මගේ ගෙදරට පැමිණි මොහොත කියලා තමයි මම සඳහන් කරන්නෙ.

මේ වෙද්දි ඔබ වෘත්තීමය නළුවෙක්ද?

නැහැ. මම අදටත් රඟපෑමෙන් හම්බ කරන කිසිම මුදලක් මගේ පෞද්ගලික පරිභෝජනයට ගන්නෙ නැහැ. මගේ මුදලින් නඩත්තුවෙන ආබාධිත ළමා නිවාසයක් තියෙනවා. මම මේ හම්බ කරන හැම මුදලක්ම නිවාසයේ දරුවන්ට තුන් වේල කන්න බොන්න දෙන්නයි යොදවලා තියෙන්නෙ . ඒ වගේම, පිළිකා රෝහලට ආධාර පිණිස හා තවත් සමාජ සේවා වැඩ සඳහා කලාවෙන් ලැබෙන මුදල් මම යොදවනවා. මම ජීවත් වෙන්න මගේ ව්‍යාපාරයක් කරලයි.

මෙවැනි සද්කාර්යයකට ඔබ යොමු වෙන්න හිතුවෙ ඇයි?

මම ඉතා ම දුෂ්කර ජීවිතයක් ගෙවපු කෙනෙක්. මම කුඩා කාලෙ බඩ පිරෙන්න කාපු දවස්වලට වඩා, නොකා හිටපු දවස් වැඩියි. බඩගින්නට මම අඬලා තියෙනවා. අතට අහුවෙන සුළු කෑමකින් මම බඩගින්න නිවා ගන්න උත්සාහ කරලා තියෙනවා. මිනිස්සු හිතනවා ඇති මෙයා සුද්දෙක් වගෙයි. මෙයා කන්නේ හැම් බේකන් කියලා. මම පොලුයි බතුයි කාලා ජීවත් වුණ කෙනෙක්. මගේ ඒ දුෂ්කර අවදිය මට කවදාකවත් අමතක කරන්න බැහැ. ඒ නිසයි එදා මා මෙන් ම අද අන්ත අසරණ වෙලා ඉන්න අය වෙනුවෙන්, මම මේ වගේ කටයුතුවල යෙදිලා ඉන්නේ.

ඔබ කලක් යුද හමුදා නිලධාරියෙක්?

ඔව්. මගෙ මුල්ම රැකියාව යුද හමුදාව. අපේ තරුණවිය ගෙවුණේ රටේ යුදමය වාතාවරණයක් පවතින සමයකයි. ඒ කාලෙ ජීවත් වුණු බොහෝ තරුණයන් වගේ මමත් රට වෙනුවෙන් යුද පෙරමුණට යන්න ඕනැ කියලා හිතුවා. ඒ අනුව මම යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට බැඳෙන්න අයදුම්පත් යැව්වා. සම්මුඛ පරික්ෂණවලටත් ගිහින්, රැකියාවට තෝර ගත්තා කියලා දැනුම්දෙන දවසෙයි, අපේ ගෙදර අය මම මේ වගේ රැකියාවක් තෝරගෙන කියලා දැනගත්තේ. මම යුද හමුදාවට බැඳිලා උතුරු - නැඟෙනහිර පළාත්වල යුද පෙරමුණට ගියා. පසු කාලයක කොළඹට ඇවිත්, එක්තරා ප්‍රබල දේශපාලනඥයකුගෙ පෞද්ගලික ආරක්ෂකයෙක්ව සිටිද්දි, කොළඹ මහ නගර සභාවෙදි පිපුරුණු බෝම්බයෙන් අනතුරට භාජනය වුණා. ඔය සිදුවීම්වලින් කලකට පසුවයි මම රංගනයට එන්නේ.

ඔබ රංගයට ප්‍රවේශ වූ මුල් අවධියට වඩා, අද ඔබ අවධානයට ලක් වූ චරිතයක්. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

කඩදොර ටෙලි නාට්‍යයෙන් පසුව ගෙවුණු කාලයේ මම මගේ ව්‍යාපාරයට යොමුවෙලා, ටික කලක් නිහඬව ගත කළා. මෑත කාලයේ දෙවෙනි ඉනිමේ ලයනල් සඳුන්ගේ චරිතය සමඟ මට ප්‍රතිචාර වැඩිවෙලා තියෙනවා. ඒ වගේම, මුතුකුඩ ටෙලි නාට්‍ය ඓතිහාසික කතාවක් කියැවෙන නිසා, පාසල් ගුරුවරුන්, ඉගෙන ගන්නා දරුවන්, භික්ෂූන්වහන්සේලා මා ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒක මට සතුටක් . බෞද්ධයෙක් නොවන මට, භික්ෂූන් වහන්සේලා මේ චරිතය ගොඩනැගෙන්න ඕන විදිහ ගැන පවසනවා. මට උපදෙස් ලබා දෙනවා. මම ඒ හැම දෙයක්ම ඉතාමත් ඉහළින් පිළි ගන්නවා.

මේ ජනප්‍රියත්වය , ඔබට තවත් ටෙලි නාට්‍ය ලැබෙන්න හේතුවක් වෙලාද?

මේ දවස්වල තවත් අලුත් ටෙලි නාට්‍ය දෙකකම රඟපාන්න නියමිතයි. නැවතත් මට චිත්‍රපටයක රඟපාන්න ලැබිලා තියෙනවා. ඒකෙ විශේෂත්වය වෙන්නේ, එය ඉන්දියානු නිෂ්පාදනයක් වීමයි. ඒ වගේම, පිටරටවල ඉන්න මගේ රසික රසිකාවියන් පිනවන්න මට වි‍දේශීය ප්‍රසංගවලටත් ඇරියුම් ලැබිලා ති‍යෙනවා. මෑත කාල‍යේ මට වැඩියෙන් ප්‍රතිචාර ලැ‍බෙනවා. ලයනල් සඳුන්ගේ චරිතය ශ්‍රී ලංකාවේ විතරක් ‍නෙමෙයි, වි‍දේශීය රසිකයන් අතරත් ‍නොහිතූ තරම් ජනප්‍රියත්වයට පත් වුණා.

ලයනල් සඳුන් ගැන ඔබට ‍මොනවද කියන්න ති‍යෙන්නෙ?

පහුගිය කාල‍යේ මම වි‍ෙද්ශ සංචාරයකට ගිහින් සිටි නිසා, රූගතකිරීම්වලට සහභාගි වු‍ණේ අඩු‍වෙන්. ලයනල් සඳුන්ගෙ චරිතය නැතිව අපට හරි පාළුයි. ලයනල් සඳුන් ව‍ගේ දුෂ්ඨයකුත් නිර්මාණ‍යේ ඉන්න ඕනැ කියලා රසිකා‍යෝ මට පවසනවා.මේ චරිතයේ ජනප්‍රියත්වය ගැන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය‍යේ අධ්‍යක්ෂවරයා වගේ ම, පිටපත් රචකයාටත් මේ අවස්ථාවේ ස්තුති කරන්න ඕනැ. එයාලා තමයි මේ චරිතය ගොඩනැගු‍වේ. ඒ හැරුණහම, ඔවුන් මට අවසරයක් දීලා තියෙනවා චරිතයට හානි ‍නොවන දෙබස් පාවිච්චි කරන්න. මේ චරිතයේදී කියැවෙන, 'මට තමුසෙ පේන්න බෑ ඕයි' හා 'වෙරි බෑඩ්' කියන වචන දෙක දැන් සමාජයේ නිතරම කියැවෙනවා.

ඔබ‍ගේ බටහිර පෙනුමත් එක්ක, බටහිර ආරේ චරිතවලට වැඩි‍යෙන් යොමු‍වෙලා නේද?

මම බටහිර චරිත කරනවා අඩුයි. ඒත්, අ‍පේ ර‍ටේ කරන නිර්මාණයක වි‍දේශික‍යකු‍ගේ චරිතයක් ඇතුළත් වුණහම, විද්ශිකයෙක් අපේ රටට ඇවිත්, බටහිර චරිතයක් රඟපාන‍කොට, ඒ විද්ශිකයට සියයට සියයක් අපේ නිර්මාණයට සාධාරණය ඉටු කරන්න අපහසුයි. ඒකට හේතුව, භාෂා ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අපේ රටේ නිර්මාණ කරන රටාව ඔවුන්ට නුහුරුයි. එවැනි ‍හේතු නිසා, මට බටහිර චරිතවලට අඬගහන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. චරිතයකට අඬගැහුවහම, මට ඒ චරිතයට සියයට සියයක් සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා මම බලනවා. එතැනදි මට ඒ චරිතයට උපරිම සාධාරණයක් කළහැකි මට්ටමක ති‍යෙනවා නම්, ඒක බටහිර චරිතයක්ද? වෙනයම් චරිතයක්ද? ‍නොසිතා මම චරිතය බාර ගන්නවා.

‍රඟපෑම් ‍වෙනු‍වෙන් නළු නිළියන්ට හරිහැටි ‍ගෙවීම් සිදු‍ නොවන බවට කතාවක් තියෙනවා. ඔබටත් එය අදාළද?

2004 අවුරුද්දෙදි මම මුලින්ම රඟපෑව කාලෙ, මට ලැබු‍‍ණෙ රුපියල් 2000 -2500 යි. අපි රංගනයේ ටික කාලයක් ඉන්නකොට, අපේ වටිනාකම වැඩි වෙනවා. ඒ වටිනාකමට සෑහෙන්න මිලක් අප‍ගේ ‍සේවයට නියම වෙන්න ඕනැ. බොහෝ අධ්‍යක්ෂවරු ‍කොහොම හරි ඔවුන්ගේ වටිනාකම ලබා ගන්නවා. ඒත් වැඩිපුරම පොලු වැටෙන්නෙ නළු නිළියන්ට. මම කියන්නෙ මම මුදල බලාපොරොත්තු වෙන්නෙ, මම කලා‍වෙන් උපයන ‍දෙයින්, තව 50 දෙනකුට කන්න වේලක් දෙන්න ඕනැ කියන චේතනාවෙන්. මට මගේ වටිනාකමට සෑ‍හෙන මුදලක් දෙනකම් මම රංගනයෙන් දායක වෙනවා. නැතිනම් මම මගේ කඩේට ගිහින් වැඩිවෙලා ඉන්නවා. මේ වෘත්තිය හෑල්ලු කරන්න මම කැමැති නැහැ. ඉස්සර කා‍ලෙ අඩු මුදලට, හිතවත්කම්වලට වැඩ කරපු අ‍පේ ඇතැම් නළු නිළි‍යො, අද මහලු වියට පත්වෙලා, කා‍ගෙවත් සරණක් නැතිව ඉන්නවා. මම කියන්නෙ, කලාකරුවො ඒ තත්ත්වයට පත්විය යුතු නැහැ කියලයි.

ඔබගෙ රංගන දිවි‍යේ ඉදිරි බලා‍පොරොත්තු

හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණවලට දායකත්වය දෙන්න මම කැමැතියි. තවමත් මා තුළින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. නිර්මාණකරුවන් ඒ හැකියාව උකහා ගන්නවා නම්, ඒක මට විශාල ‍තෘප්තියක්. මේ කාලයෙත් මම ‍හොඳ නිර්මාණවලට දායක වෙනවා. මේ දිනවල ඩැනී අන්කල් කියලා වයස 65 ක් පුද්ගල‍යකු‍ගේ චරිතයක් රඟපානවා.

රයන් කියන්නේ හාස්‍ය මැවිය හැකි රංගන ‍පෞරුෂයක් කියලා, ලයනල් සඳුන් හරහා ඔප්පු කළා නේද?

‍මේ ‍වෙද්දි හාස්‍ය රංගනයටත් මට අවස්ථාව ලැබිලා ති‍යෙනවා. ගමට දැ‍නෙන කාරණය නම්, හාස්‍ය මවන එක තමයි අමාරුම කටයුත්ත. ඒත් මිනිස්සු හිතනවා ඇති මේ කටයුත්ත හරි ලේසියි කියලා. මමත් මුලින්ම හිතුවෙ එහෙම තමයි. පිටපතක් කියවලා රඟපාන්න පුළුවන්. හැබැයි, පිටපතක් කියවලා මිනිසුන් හිනහාගන්වනවා කියන එක අමාරුම වැඩක්. ඒ ගැන හිතද්දි, අපේ රටේ හාස්‍ය චරිත රඟපාන හා රඟපෑ සියලු ම ශිල්පීන්ට මගේ ප්‍රණාමය හිමි වෙනවා. ඒ ව‍ගේම ම‍ගේ හාසම්‍ය රංගනය ‍ගොඩනගා ගන්න උදවු කළ ස‍හෝදර ශිල්පීන්ට හා ප්‍රවීණයන්ට මම ස්තූති කරනවා.

නව පරපුරේ පුරුකක් වන ඔබට, ප්‍රවීණයන් හරස් වන අවස්ථා නැද්ද?

බොහෝ නවකයන් කියනවා, ප්‍රවීණයන් අපට ඉදිරියට යන්න දෙන්නෙ නැහැ, අපේ කකුලෙන් අදිනවා කියලා. මගේ භෂාවෙන් කියනවා නම්, ඒක පට්ටපල් බොරුවක්. අපි ප්‍රවීණයෙක් ළඟට ගිහින්, ඔවුන්ට නිසි ගෞරවය දීලා යමක් ඇහුවහම, ඔවුන් දෙවරක් නොහිතාම අපට උදවු කරනවා. මගේ මේ ගම‍නේදි ‍රෙක්ස් ‍කොඩිප්පිලි සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මාලනී ‍ෆොන්සේකා වැනි ප්‍රවීණයන් ‍බෙහෙවින් සහ‍‍යෝගය දීලා ති‍යෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

නව අදහස දක්වන්න