එමිල් සහ රංගජීව යළි සිපිරිගෙට | දිනමිණ

එමිල් සහ රංගජීව යළි සිපිරිගෙට

අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන 05 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අද නියෝග කෙරිණ.

එ් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 27 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චමරී වීරසූරිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන බවත් එය කඩිනම් කිරීම අවශ්‍ය බවත් දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

නව අදහස දක්වන්න