කැලෑ වැදුණු පාසල | දිනමිණ

කැලෑ වැදුණු පාසල

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

මාවනැල්ල අධ්‍යාපන කලාපයේ රඹුක්කන කොට්ඨාසයේ වසර සීයයකටත් වඩා පැරණි පොහොරඹේ කනිෂ්ඨ විද්‍යාලය සිසුන් නොමැතිකමින් කලකට පෙර වසා දැමු පාසල් ගොන්නට එකතු විය. මෙරට සිටි ප්‍රකට විද්වතකු වු මහාචාර්ය මිනුවන් පී.තිලකරත්න මහතාද අත්පොත් තැබු පාසලක් වන මෙම පාසලෙන් අධ්‍යාපනය හදාරමින් රජයේ ඉහළ තනතුරු දරන බොහෝ දෙනකු බිහි කිරීමට තෝතැන්නක් විය. ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම පාසල් ගොඩනැගිල්ල විශාල මුදලක් වැය කරමින් අලුත්වැඩියා කර ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් සඳහා ජනසභා කාර්යාලයක් විවෘත කළද කිසිදු රාජ්‍ය නිලධාරියකු නොපැමීණිමෙන් එය අතහැර දැමීමට සිදුවිය. වර්තමානයේ එම ගොඩනැඟිල්ල කැලෑවැදි විනාශවී යාමට පටන් ගෙන තිබේ.

අයි.ඇම් ගුණතිලක මහතා -

මාහාචාර්ය මිනුවන් පී.තිලකරත්න මහතාගේ පියා වු හේරත් මහත්තයා මේ පාසලේ විදුහල්පතිවරයාව සිටියදී ළමයි සිය ගණනක් ඉගෙනුම ලැබුවා.මේ ළඟ තියෙන රොසයිට් වත්තේ දෙමළ ළමයි ආවෙත් මේ පාසලට. ඒ දවස්වල පාසලේ ගොඩනැගිලි දෙක ඉඩමදි නිසා පාසල ආසන්නයේ ඉඩමක් රජයට අරගෙන තවත් ගොඩනැගිල්ලකුයි ක්‍රීඩා පිටියකුයි හැදුවා. හොඳ තත්ත්වයේ ගුරු නිවෙසකුත් තියෙනවා.මෑතක් වනතුරු ඡන්ද මධ්‍යස්ථානයක් වශයෙනුත් ප්‍රයෝජනයට ගත්තා. දැන් මේ සියල්ල කැලෑවැදිලා මේවා තවත් විනාශවී යාමට නොදී ප්‍රයෝජනවත් දෙයකට යොදවා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

එම්.එම්.ගාමිණි ජයතිස්ස මහතා -

මෙම පාසල උගතුන් රැසක් බිහිවු පාසලක්. අද මෙහි ගොඩනැගිලි සියල්ලම කැලෑවට යටවෙලා. මගේ නිවෙස අසල තියෙන ක්‍රීඩා පිටියත්, පාසල් ගොඩනැගිල්ලත් අද කැලෑවට ගිහින්. ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටියට යන්න ළමයින්ට අවසර නෑ. මේ භූමීය අද සර්ප විමානයක් වෙලා. වර්තමාන රජයේ අදාළ නිලධාරීන් මේවා ගැන අවධානය යොමු නොකිරීම ගැන කනගාටුයි. ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් අද රැකියා නැතුව ඉන්නවා. ඒ අයට කුමන හො කර්මාන්තයක් පටන් ගන්නවා නම් මේවා ආරක්ෂා වෙයි.

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දිල්රුක් ශ්‍රී ලාල් මහතා -

ප්‍රදේශයේ ජනතාව මේ පාසල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම ප්‍රදේශයේ මහජන නියෝජිතයින් දැනුම්වත් කළා. මගේ මැතිවරණ බල ප්‍රදේශයේ නිසා මම අවස්ථා කීපයකදීම මෙහි කර්මානතයක් ආරම්භ කරන්නත් සාකච්ජා කළා. ඉදිරියේදී ගමට කර්මාන්ත වැඩ සටහන යටතේ කර්මාන්තයක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.


නව අදහස දක්වන්න

Or log in with...