පිරිමින්ට අමතක වුණ එකම දේ | දිනමිණ

පිරිමින්ට අමතක වුණ එකම දේ

සම්මානි අක්කට BMICH එකේ exhibition එකක් බලන්න යන්න තියෙනවා කියලා උදේම මට කතා කළා.

කරන්න වැඩකුත් නැතුව කම්මැලි කමේ හිටපු මම ඉක්මනට ලෑස්ති වෙලා එයත් එක්ක ගමනට එකතු වුණා. සම්මානි කියන්නේ එහා ගෙදර සාගර අයියා marry කරපු අක්කට.

එයා කොළඹ ලොකු supermarket දෙකක් තුනක් අයිති වැදගත් කියලා සම්මත පවුලක ගෑනු ළමයෙක්. සාගර අයියලාගේ පවුලත් පළාතේ යමක් කමක් තියෙන ඉහළින් වැජඹුණු පවුලක්. මතක තියෙන කාලෙ ඉඳලම සාගර අයියා ගත කළේ හරිම සෙල්ලක්කාර ජීවිතයක්. එයාට රැවටුණු ගෑනු ළමයි ගොඩක් හිටියා.

මේ මොහොතට අදාළ නැතත් මම කියන්න හදන කතාවට ඒක වැදගත් වෙන නිසයි කලින්ම ඒ ගැන කීවේ. ලංකාවේ පාරවල්වල වාහනයකින් ගමනක් යන්න ගියාම තියන අමාරුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. එළියට බැහැපු වෙලාවේ හැටියට පාරේ ලොකු traffic එකක් තිබුණා.

පාරේ එකතැනක විනාඩි දහයක් විතර කාරෙක නවත්තගෙන ඉන්න සිදු වෙච්ච වෙලාවක සම්මානි අක්කා කලබලයෙන් මට කතා කළා.

"නංගි අර අර බලන්න පාරෙන් එහා පැත්තේ tight skirt ඇඳන් යන girl. ඔයා දන්නවද එයා prostitute කෙනෙක්." සම්මානි අක්කා පෙන්නපු දිහාවට මම ඇස් හැරෙව්වා. මගේ පන්තියේ හිටපු අහිංසකම ගෑනු ළමයා 'සචිනි' සම්මානි අක්ක මට පෙන්නුවේ එයාව. ඒත් මං එයාව දන්නා බවක් ඇඟෙව්වෙ නැහැ. "ලස්සන ගෑනු ළමයෙක්. කවුද අක්කට එහෙම කීවේ ?". "

සාගර තමයි දවසක් මට එයාව පෙන්නලා එහෙම කීවේ. එයා එක එක දවසට එක එක අයත් එක්ක වාහනවල යන හැටි මම ගොඩක් දැකල තියෙනවා.

මට එයාව එච්චර මතක තියෙන්නේ අපේ ගෙදර තිබිලා මට ලැබුණු පරණ ෆොටෝ එකක හිටපු ගෑනු ළමයා ඒ වගේම නිසා.

ඒ ෆොටෝ එක සාගරගෙ පවුලේ මැරුණු නංගි කෙනෙකුගේ කියලයි එයා මට කීවේ."

මම සම්මානි අක්කට කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. කතන්දරේ මොකක්ද කියලා මම දැනගෙන හිටපු නිසා. ඒ කාලේ සාගර අයියා කොහොමහරි එයාගේ පෙනුමයි සල්ලියි පාවිච්චි කරලා සචිනිවත් එයාගේ දැලට අහු කරගෙන තිබුණා.

මලක් වගේ හිටපු සචිනි, පංතියේ දක්ෂ ළමයි අතරේ හිටපු සචිනි, එක පාරටම වෙනස් වුණා. බලාගත්ත අතේ බලාගෙන ඉන්න, හැමවෙලේම මැලවිලා ඉන්න සචිනිට මං වෙනදට වඩා කිට්ටු වුණා.

අන්තිමට මට එයාගේ කතාව කියන තරමටම එයා මට ලෙන්ගතු වුණා.

"සාගර මට ආදරේ කළේ නැහැ. එයා මාව විනාශ කළා. එයාගේ ආශාවන් වෙනුවෙන් මාව පාවිච්චි කළා. මං එයාට ගොඩක් ආදරය කළා. ඒ නිසාම එයා කියපු හැමදේටම කැමති වුණා. ඒත් අන්තිමට එයා මාව එයාගේ යාළුවන්ටත් පාවලා දුන්නා."

අවුරුදු ගානකට කලින් දවසක සචිනි ඉස්කෝලෙ පිට්ටනියෙ අරලිය ගහ යටදි මට ඔය කතාව කිව්වා අද වගේ මතකයි. ඒ කතාව කියලා සතියක් යනකොට සචිනි ඉස්කෝලේ එන එක නැවතුණා. ඊට පස්සේ සචිනි ගැන කිසිම දෙයක් දැන ගන්න ලැබුණේ නෑ. අවුරුදු ගාණකට පස්සෙ අද සචිනිව දකින්න කළින්,

ගිය සතියේ මට සචිනිව මුණ ගැහුණේ අහම්බෙන්. සම්මානි අක්කා සචිනි ගැන කියපු කතාව ඇත්ත කියලා මං එදා සචිනිගේ වචනවලින්ම දැන ගත්තා.

" සාගර නරුමයෙක්. ඌ මාව මෙතනට ඇදල දාලා අද කිසි දෙයක් නොදන්න ගානට පවුල් කනවා."

එදා සචිනි එහෙම කීවෙ අරලියගහ යටදි වගේ අහිංසක විදියට නෙවෙයි. ඒ වචන ඇතුළේ තිබුණේ වෛරය. ජීවිතේ හරි පුදුමාකාරයි.

ආදරේ කරලා තමන් අතින් විනාශ වුණ ගෑණු ළමයගෙ ජීවිතේම අපායක් කරලා මගුල් බෙර හඬ මැද්දේ කැන්දන් ආව මනමාලි ළඟ ඒ කෙල්ලට චරිත සහතික ලියන කොට ඒ සහතිකේට සීල් එක තිබ්බේ තමන් බව අමතක කරන්න පිරිමියකුට පුළුවන් ද ?

ගෞරවනීය වෙන්නේ තමන්ගේ බිරිඳ, අම්මා, සහෝදරිය විතරද ?

ඒත් පිරිමින්ට අමතක වුණ එකම දේ තමන්ට වටින ගෞරවනීය චරිත තවත් පිරිමි ඇහැක් ළඟ ගොදුරක් රස මසවුළක් විතරක් බව.

 

(දිල්රූ ජයසේකර)

 


නව අදහස දක්වන්න

Or log in with...