ණය - විවාදය! | දිනමිණ

ණය - විවාදය!

 සුප්‍රකට ආර්ථික විශේෂඥ සුසාන් ජෝර්ජ්ගේ ‘ද ඩෙබ්ට් බූමරෑංග්’ නම් ලිපිය ලියා ඇත්තේ කලකට පෙර ය. මේ ලිපිය ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර ඉන් කියැවෙන්නේ අධික ණය බර නිසා දුප්පත් රටවල් විනාශයට පත්වන ආකාරය යි. ඔහුට අනුව ණය යනු පාරා වළල්ලකි. අමෙරිකාව, යුරෝපය ඇතුළු ධනවත් රටවල සහයෝගයෙන් පවත්වාගෙන යනු ලබන පිළිගත් ආයතන ණය ලබාදෙන අතර එම ණය අධික පොලියක් ද සමඟ ආපසු අය කරගනු ලැබේ. ඒ සමඟම ආයතනවල ණය කොන්දේසි මගින් දුප්පත් රටවල ආර්ථිකය හසුරවනු ලැබේ. දීර්ඝ කාලයක සිට දුප්පත් රටවල් මේ ණය උගුලේ සිර වී සිටිති.

1982 – 1990 කාලය ණය පිළිබඳ අර්බුදයක් පැවැති කාලයකි. උක්ත කාලය තුළ ලෝක බැංකුවට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දුප්පත් රටවල් මාසිකව ලබාදුන් පොලිය පමණක් ඩොලර් බිලියන හයකට වැඩි විය. වාරික සමඟ මසකට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන දහතුනකට ආසන්න විය. පොදුවේ ගත් කල දුප්පත් රටවල් සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල මීට සමාන ය. ණය හා පොලී ගෙවීමට වැය කරන මුදල් නිසා දුප්පත් රටවල් ගණනාවක ආර්ථිකය කඩා වැටිණි. ණය හා ආධාරවලින් තොරව රටක් සංවර්ධනය කළ නොහැකි යැයි කියන්නේ වුව ණය හා ආධාර දුප්පත් රටවල ඇති කර ඇති තත්ත්වය ඉතා භයානක ය.

ශ්‍රී ලංකාව ද ණයභරිත රාජ්‍යයකි. ණය බර ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ පසුගිය රාජ්‍ය පාලන සමයේ ය. විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අධික පොලියක් සහිත වාණිජ ණය ඒ කාලය තුළ ලබාගෙන ඇත්තේ සොයා බැලීමකින් තොරව ය. මේ අනුව ලබන වසර සඳහා ගෙවිය යුතු ණය වාරික හා පොලියේ වටිනාකම රුපියල් බිලියන 4285 ක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. ඒ මුදලින් 77% කටම වගකිව යුත්තේ පසුගිය ආණ්ඩුව බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. 2020 දී ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 3768 කි. එහි වගකීමෙන් 77%ක් ද පසුගිය රජයට අයත් ය. 2021 දී ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 3441 කි එම වගකීමෙන් 83%ක් පසුගිය රජයට අයත් ය.

පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය නායකයා ද, ත්‍රිවිධ හමුදාවේ නායකයා ද, මුදල් අමාත්‍යවරයා ද මහින්ද රාජපක්ෂ මහතා බව කව්රුත් දනිති. වරායවල්, ක්‍රීඩා පිට්ටනි, ගුවන් තොටුපොළවල් හා තවත් මහා පරිමාණ ඉදිකිරීම් එම කාලය තුළ සිදුවිණි. මේවා ආර්ථික සැලැසුමක් හා ප්‍රතිපත්තියක් ඇතිව ඉදිකළ ව්‍යාපෘති යැයි කිව නො හැකි ය. හේතුව ඒවා ආදායම් උපදවන දේවල් බවට පත් නොවීම ය. හම්බන්තොට වරාය ප්‍රසිද්ධ වූයේ නැව් නැති වරායක් හැටියට ය. මත්තල ගුවන් තොටුපොළ ප්‍රසිද්ධ වූයේ අහස් යානා නැති ‘එයාර්පෝට්’ එකක් හැටියට ය. ආදායම් නොඋපදවන මේ ඉදිකිරීම් සඳහා ලබාගෙන තිබුණේ අධික පොලියක් සහිත වාණිජ ණය විශේෂයන් ය.

රටක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුත්තේ ලෝක ආර්ථිකය හා මුල්‍ය කළමනාකරණය පිළිබඳ පරිණතභාවයක් ඇති පුද්ගලයෙකි. විශේෂයෙන් අනාගත ආර්ථික දැක්මක් ඇතිව මුදල් අමාත්‍යවරයකු කටයුතු කළ යුතුය. විදේශ ණය ලබාගැනීමේ දී සලකා බැලිය යුතු සාධක ගණනාවක් තිබේ. එක; ණය වර්ගය කුමක්දැ’යි කල්පනා කළ යුතුය. අධික‍ පොලී සහිත වාණිජ ණය විශේෂ ලබාගැනීමට නූතන රාජ්‍යයන් ඉදිරිපත් වන්නේ නැත. දෙක; ලබාගත් ණය ආදායම් උපදවන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතුය. තුන; ණය හා මේ ව්‍යාපෘතිවල මුල්‍ය කළමනාකරණය හොඳින් සිදුකළ යුතුය. පසුගිය සමය දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ ඒ කිසිවක්ම සිදු වී නැති බවය.

ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ණය අර්බුදයේ හිරවුණු රටවල් ආකාර හයකින් පරිහානියට පත් වේ. පළමු ආකාරය වන්නේ එම රටවල සම්පත් විකිණීමට සිදුවීම ය. දෙවන ආකාරය වන්නේ එම රටවල අධික බදුපැනවීමට සිදුවීම ය. තෙවන ආකාරය වන්නේ එම රටවල විරැකියාව වර්ධනය වීම ය. හතරවන ආකාරය වන්නේ එම රටවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා දූෂණය ඉහළ යෑම ය. පස්වන ආකාරය වන්නේ එම රටවල් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට මුළුමනින් ම යටත් වීම ය. හයවන ආකාරය වන්නේ එබඳු රටවල් විවිධාකාර ගැටුම්වලට මුහුණ දීම ය. ණය අර්බුදය නිසා ශ්‍රී ලංකාව තුළද මේවා යම් මට්ටමකින් පවතී.

පීරු, කොලොම්බියාව, බොලීවියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉතා ප්‍රකට ය. එලෙස ම මේ රටවල් 1980 ගණන්වල සිට ම ණය අර්බුදයේ හිර වී සිටියේ ය. ණය ගෙවා ගැනීමේ එක් මාර්ගයක් ලෙස මත්ද්‍රව්‍ය වෙළෙඳාම ආරම්භ වී ඇත්තේ ආයතනවල අනුග්‍රහය ද ඇතිව ය. ණය අර්බුදයේ ගිලුණු රාජ්‍යයක මුල්‍ය කළමනාකරණය යහපත් ආකාරයකට සිදුවන්නේ නැත. එම ගනුදෙනු තුළ විවිධ දූෂණ හා වංචා සිදුවෙයි. පසුගිය කාලය තුළ නිමාවට පත් වූ බොහෝ ව්‍යාපෘති තුළ දූෂණය හා වංචාව මහාපරිමාණයෙන් සිදු වී ඇතැ’යි චෝදනා එල්ල වෙයි. මේවා පිළිබඳ පරීක්ෂණ හා නඩු විභාග අවසන් වී නැතත් වියදම්වල අධික බව දෙස බලන විට දූෂණය හා වංචාව සැකයකින් තොරව තහවුරු වන තත්ත්වයක් පවතී.

රට ගෙවන්නට ඇති මහා පරිමාණ ණය කන්දරාව දෙස බලන විට කෙනකු තුළ මහා භීතියක් ඇති විය හැකි ය. එහි තරම කෙතරම් ද යත්; 2030 වනවිටත් රුපියල් බිලියන ගණනක් ගෙවන්නට තිබේ. එම ණයවලින් 72%කට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනය බව ද මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි. විදේශ ණය ලබාගැනීම සෙල්ලමක් නොවන බව ගෙවීමට ඇති ණය මුදල දෙස බලන විට පෙනී යයි. අධික පොලී සහිත ව ණය ලබාගැනීම පමණක් නොව හිතුවක්කාරී පාලනය නිසා ලෝක ආර්ථික තහංචි ද එකල පැන වී තිබිණි. හොඳ ම නිදසුන යුරෝපයේ ජී.එස්.පී.සහනය අහෝසි වීම ය.

වත්මන් ආණ්ඩුව ණය ගෙවීම සඳහා ද ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා ද බලවත් පරිශ්‍රමයක් දරයි. එය අසීරු කාර්යයෙකි. ණය ගෙවීම සඳහා නැවත ණය ලබාගැනීමට ද සිදු වී ඇත. ණය නොගෙවන රාජ්‍යයන් අසාර්ථක රාජ්‍යයන් ලෙස නම් කෙරෙන අතර ලෝක ආර්ථික ගනුදෙනුවල දී එබඳු රාජ්‍යයන් කොන් වී යන බව රහසක් නොවේ. ඒ හැරෙන්නට ණය භරිත රටවලට ලෝක බැංකු කොන්දේසි අකුරට ම පිළිපදින්නට සිදු වේ. එය අපගේ සංවර්ධනයට බාධාවක් වන්නට පුළුවන. ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ ද, තෙල් සහනය ලබා දුන්නේ ද මෙබදු දුෂ්කර ආර්ථික වාතාවරණයක් තුළ බව සිහිපත් කිරීම වටී. කෙසේ වුව ණයවලින් නිදහස් වීමට සිදු වී ඇත.

මේ සියලු කරුණු ගැන සංවාදයක් ඇතිවන්නේ නම්; එය වැදගත් ය.එවිට ජනතාවට සත්‍යය වටහාගත හැකි ය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආර්ථික සංවාදයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරයි. එම ආරාධනාව පිළිගැනීම රාජපක්ෂ මහතාගේ යුතුකම ය. 

 

නව අදහස දක්වන්න