ගං ඉවුරු රැක නොගත්තොත් නාර්තුපාන පාලම අනතුරේ | දිනමිණ

ගං ඉවුරු රැක නොගත්තොත් නාර්තුපාන පාලම අනතුරේ

 කළුග‍ඟේ නාර්තුපාන - තෙබුවන කොටසේ ගං ඉවුරු ආරක්ෂා කිරීමට කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් ජපන් රජයේ ආධාරයෙන් ඉදිකළ නාර්තුපාන සමනළ පාලමද අනතුරට පත්වන බව නාර්තුපාන ප්‍රදේශයේ ජනතාව කියති.

වසර ගණනාවක සිට කළු ග‍ඟේ සිදුකරන වැලි ගොඩදැමීම සහ කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයේ අක්‍රමවත් ජල පාලනය නිසා කළු ග‍ඟේ ඉවුරු ඛාදනය සිදුව ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති. කළුතරට ජලය ලබාදෙන කෙත්හේන ජල පවිත්‍රාගාරයට සහ නාරගල ප්‍රදේශයෙන් පානීය ජලය ලෙස කළු ගඟේ ජලය ලබාත්තද කර්මාන්ත ශාලා රැසක අපද්‍රව්‍ය කළුගඟට මුදා හැරීම සිදු කරන බවට කළු ගඟ දෙපස පදිංචි නාර්තුපාන තෙබුවන ප්‍ර‍ෙද්ශවාසීහු කියති.

කළු ගඟ රැකගැනීමේ සංවිධානයේ සභාපති

චින්තක පෙරේරා මහතා-

කළු ගඟ රටට සම්පතක් බව මේ රටේ වගකිවයුත්තන් අමතක කර දාලා තියෙනවා. කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පවුල් 60,000 කට පානීය ජලය ලබාගන්නවා. නාරගල පාලම අසලින් තවත් පවුල් 40000 කට පානීය ජලය ලබා ගන්නවා. ඊට අමතරව කළු ග‍ඟෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ ගණනක් වටිනා වැලි ගොඩදාන්න ඒ මඟින් පවුල් දහස් ගණනක් ජීවත් වෙනවා. නමුත් කළු ගඟ රැකගැනීමට කිසිම පියවරක් අරගෙන නැහැ.

කළු ගඟට හානි වෙන්නේ වැලි ගොඩ දැමීම නිසා නොවෙයි. වැලි ගොඩ දැමීම ස්වාභාවිකව පිරෙනවා. නමුත් කුකු‍ලේ ගඟ බලා‍ගාරයේ විශාල ජල කඳක් එකවර ‍මුදා හරිනවා. එවිට ගඟ පිරිලා ඉවුරු සේදී ගං ඉවුරු කඩාගෙන යනවා. කුකුලේ ගඟ බලාගාරය හදන්න කලින් කළු ගඟට මේ විපත සිදු වෙලා නැහැ.

මේකෙ බරපතළ තත්ත්වය රුපියල් කෝටි ගණනක් වැයකර නාර්තුපාන සමනල පාලමට හානි සිදු වීමයි. දැනටමත් පාලමේ පාදම අත්තිවාරම ප්‍රදේශය සේදිලා ගිහිල්ලා. මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්තුමියටයත් දැනුම් දුන්නා. එතුමිය ඇවිත් පරීක්ෂාකර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් වෙච්ච දෙයක් නැතැයි චින්තක පෙරේරා මහතා කීවේය.

නාර්තුපාන සුගත් කුමාර මහතා-

කළු ග‍ඟේ ඉවුරු සංරක්ෂණයට වහාම වැඩපිළිවෙළක් යෙදිය යුතුය. විශාල ගල් යොදා ආරක්ෂා කරගත හැකිය. අනෙක් ප්‍රදේශවල ගඟ දෙපස උණ හෝ වෙනත් ශාක සිටුවීම කළ හැකිය. කෙසේ වෙතත් මේ පිළිබඳ වහා පියවර නොගත‍ෙහාත් කළු ගඟ දෙපස ඉඩම් හා නිවාස රැසක් කළු ගඟට බිලිවනු ඇත.

තෙබුවන ආර්.කුසුමාවතී මහත්මිය-

මෑතක සිට කළු ග‍ඟේ ඉවුරු කැඩිලා අපේ ගෙවල් දොරවල්, වතුපිටි, ගඟට බිලිවෙන්න පටන් ගෙන තිබෙනවා. මේක කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයෙන් එකවර විශාල ජල කඳක් මුදා හැරීමත් සමඟ ගඟ අසාමාන්‍ය ලෙස ගලා යාමෙන් ඉවුරු සේදීමෙන් සිදුවනවා.

සටහන සහ ඡායාරූප
මීගහතැන්න සමූහ

නව අදහස දක්වන්න