මිය ගිය අයෙකුට ලක්‍ෂ 10 දක්වා වන්දි | දිනමිණ

මිය ගිය අයෙකුට ලක්‍ෂ 10 දක්වා වන්දි

උපාලි කරුණාරත්න

ආපදා කාලය තුළ වෘත්තීන් වල යෙදී සිටියදී ආපදා අනතුරු වලට ලක්ව මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට පියවර ගන්නා බව වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එමෙන්ම ගංවතුරට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් එක් නිවසක් වෙත රුපියල් 10000 ක්ද ලබා දීමට සැලසුම් කර තිබේ.

ආපදා කළමණාකරනය හා පශ්චාත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ඊයේ(23) පැවැති සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමග පැවැති මෙම සාකච්ඡාවේදී ආපදා තත්ත්වය අවම කර ගැනීම හා පශ්චාත් ආපදා කළමනාකරනය පිළිබඳවද අවධානය යොමු කෙරිණ.

වැසි, ගංවතුර, නායයාම් ඇතුළු අනතුරුවලින් හානියට පත් නිවාස සඳහා වන්දි ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවදානය යොමු කෙරිණ. රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ අදාල හානි පිළිබඳ තක්ෂේරු කිරීමේ කටයුතු කඩිනම් කර වන්දි ලබා දීමට පියවර ගත යුතු බවයි. එමෙන්ම ළිං පිරිසිදු කිරීම වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ආපදා සහන බලඇනි සූදානම් කර ඇති බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

වෛද්‍ය පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ, ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටින සෑම අයෙක්ම වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි. එම වැඩපිළිවෙල තවත් පුළුල් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රෝහල් හා අනෙකුත් අංශ ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය පරීක්‍ෂාවන් ඉහළ දැමීමටද පියවර ගෙන තිබෙන බවද මෙහිදී ප්‍රකාශ විය. මෙහිදී තවදුරටත් කරුණු දැක්වු ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ, සෑම ජීවිතයක්ම රටට වටිනා බවයි. ඒ බව සිහි තබා ගනිමින් සියලු වැඩකටයුතු සම්පාදනය කළ යුතු බවත්ය. ඒ කෙරෙහි නිසි සැලකිල්ල දැක්වීම ජනතාවගේද වගකීමක් වන බවද රංගේ බණ්ඩාර ඇමැතිවරයා මෙහිදී සිහිපත් කළේය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව ගංවතුර බැස ඇත්නම් ඒ සෑම අයෙකුම නිසි වෛද්‍ය පරීක්‍ෂාවක් වෙත යොමු කිරීම ඉතා වැදගත් බවද රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මී උණ වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පැවැතීම මීට හේතුව බවද ඔහු පැවසීය. කඳවුරු ගත ජනතාව වෙනුවෙන් සනීපාරක්‍ෂක තුවායේ සිට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමට ද පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම අවශ්‍යතා කඩිනමින් ලබා දීම සඳහා දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 10 බැගින් ලබා දීමටද පියවර ගෙන තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා ප්‍රකාශ කළේ, ගංවතුර සමග විනෝද වීමට යන පුද්ගලයින් බේරා ගැනීමටද ආපදා අංශවලට සිදුව ඇති බවයි. මෙය කණගාටුදායක තත්ත්වයක් බවද ගංවතුර යනු අනතුරක් බව අවබෝධ කර ගැනීම ජනතාවගේ වගකීමක් බවත් ඔහු පැහැදිලි කළේය.

දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන ලෙස මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරයා ආපදාකළමනාකරන මධ්‍යෂ්ථානය , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ආයතන විසින් ලබා දෙන අවවාද කෙරෙහි නිසි අවදානය ජනතාව යොමු කල යුතු බවද කීය. 

අදහස් 1ක් ඇත

marunata passe , ballo kala giyaden , malakunata laksa 10k munta holman wahila!!!!

නව අදහස දක්වන්න