එමි­රේට්ස් සමූ­හ­යට ඩොලර් බිලි­යන 1.1ක ලාබ­යක් | දිනමිණ

එමි­රේට්ස් සමූ­හ­යට ඩොලර් බිලි­යන 1.1ක ලාබ­යක්

එමිරේට්ස් සමූහය විසින් 2018 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 4.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) ලාභයක් ලබාගැනීමට සමත්ව ඇති අතර, මෙය පසුගිය මුදල් වසරට සාපේක්ෂව 67% ක වර්ධනයකි. මේ මුදල් වසරේ දී සමූහයේ ආදායම පසුගිය මුදල් වසරට සාපේක්ෂව 8% කින් ඩිරාම් බිලියන 102.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 27.9 ක්) දක්වා වර්ධනය වී තිබෙන අතර, සමූහයේ මුදල් ශේෂය 33% කින් වර්ධනය වී ඩිරාම් බිලියන 25.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක්) වී තිබේ. මේ වර්ධනය සඳහා පසුගිය මාර්තු මාසයේ දී සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම සහ මාර්තු මාසය අවසානයේ දී තිබූ නිවාඩු සමයේ ලැබූ ඉහළ අලෙවි ආදායම හේතුවී තිබේ.

මේ සමස්ත ලාබය අනුව යමින් සමූහය විසින් ඩුබායි හි, ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් වෙත ඩිරාම් බිලියන 2.0 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 545 ක්) ලාභාංශ ලෙස ගෙවා ඇත.

මේ ගිණුම් වාර්තා පිළිබඳ අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවැසීය. ‘2017-18 කාලයේ දී ව්‍යාපාරික වාතාවරණය දියුණු වුවත් එය අසීරු තත්ත්වයක පැවතුනා. දේශපාලන අස්ථාවරත්වය, මුදල් ඒකක උච්චාවචනයවීම් වගේම අප‍්‍රිකාවේ මුදල් අවප‍්‍රමාණයවීම අපි මේ කාලයේ අත්වින්දා. ඒ වගේම, තෙල් මිල ඉහළ යාම නිසා අපගේ පිරිවැය වැඩි වූ අතර, දැඩි තරගකාරීත්වය හමුවේ මෙය අපගේ ලාභවලට අහිතකර ලෙස බලපෑවා. ධනාත්මක පැත්ත වුණේ ගෝලීය ගුවන් භාණ්ඩ කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත යථාතත්ත්වයට පත්වීමයි. ඒ වගේම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ප‍්‍රධාන මුදල් ඒකක ශක්තිමත්වීම ද ධනාත්මක තත්ත්වයක්.’

සමූහය විසින් 2017-18 මූල්‍ය වසරේ දී අලුතෙන් ගුවන් යානා සහ උපකරණ ගැනීම, සමාගම් මිලදී ගැනීම, නවීන පහසුකම් ගොඩනැඟීම, නවීන තාක්ෂණයන් හඳුන්වා දීමට සහ කාර්ය මණ්ඩලයේ වැඩසටහන් සඳහා ඩිරාම් බිලියන 9.0ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක්) ආයෝජනය කර තිබේ.

මේ මුදල් වසරේ දී එමිරේට්ස් විසින් නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා කැපී පෙනෙන ගිවිසුම් දෙකකට එළඹුණු අතර, මින් එකක් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් වියදම් කරන බොයින්ග් 787-10 ගුවන් යානා 40ක් මිලදී ගැනීමේ ගිවිසුමයි. මේ ගුවන් යානා 2022 වසරේ සිට සමූහය වෙත ලැබෙනු ඇත. මීට අමතරව, තවත් 380 ගුවන් යානා 36 ක් මිලදී ගැනීම සඳහා සමූහය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ගිවිසුමක් අත්සන් කරන ලදී.

එමිරේට්ස් සහ dnata සමාගම්වල සිදුකළ සමස්ත ඵලදායීතාවය නැංවීමේ වැඩසටහන් යටතේ සමූහයට අයත් අනුබද්ධ සමාගම් 80 කට වැඩි ප‍්‍රමාණයක සේවය කළ විවිධ ජාතීන් 160 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත සමස්ත කාර්ය මණ්ඩලය මේ කාලයේ දී සමූහය විසින් 2% කින් 103,363 ක් දක්වා අඩුකර තිබීම කැපී පෙනෙන කාරණාවකි.

මේ මූල්‍ය වර්ෂය තුළ එමිරේට්ස් සමූහය වෙත නව ගුවන් යානා 17ක් ලැබී තිබෙන අතර, මේවා A380 ගුවන් යානා 08 කින් සහ Boeing 777-300ER ගුවන් යානා 09 කින් සමන්විත වේ.

නව අදහස දක්වන්න