මුරුග‍යෝ...! | දිනමිණ

මුරුග‍යෝ...!

අපේ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳ සිත්කම්පා කරවන සුලු සිදුවීම් දෙකක් ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. එක ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ අනූ හැවිරිදි පියා පුතා අතින් ඝාතනය වී ඇති බව ය. පොල්ලකින් ගසා පසුව පිහියෙන් ඇන මරණය සිදුකර ඇත. අනෙක් ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ ගැබ්බර එළදෙනකගේ වලිගය කපා දැමීමක් ගැන ය. මඤ්ඤොක්කා වත්තක දලු කෑ නිසා එළදෙනගේ වලිගය කපා දමා ඇති බව ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් කියැවේ. මේ සිද්ධීන් දෙස බලන විට පෙනී යන්නේ ධර්ම රාජ්‍යය අපායක් වී ඇති බව ය. එහෙත් තව ම උදේට, හවසට, රෑට පිරිත් ඇසෙයි. බණ ඇසෙයි. යාඥා ඇසෙයි. සෙත්කවි ඇසෙයි.

පළමු සිද්ධිය වාර්තා වන්නේ පනාමුර - ඇත්ගාල ප්‍රදේශයෙන් ය. එහි දරුවන් දාහතර දෙනකුගේ පියකු මෙසේ ඝාතනයට ලක්වී ඇත. මිනීමරුවා ඔහුගේ හත්වන පුත්‍රයා ලෙස දක්වා තිබේ. ලී ඉරීම රැකියාවට කරන, දිනකට රුපියල් පන්දහසක් පමණ උපයන පනස් හයක් වයසැති මේ පුත්‍රයා දිනපතා මත්පැන් පානය කරන බව ද, දිනපතා මස්මාංශ අනුභව කරන බව ද අසල්වැසියන් කියා ඇත. ඔහු අජාසත් පුත්‍රයකු ලෙස හැඳින්විය හැකි ය. මොහු පොලිසියට කියා ඇත්තේ පියාට සැලකීමට කෙනකු නැති බැවින් මේ ඝාතනය සිදුකළ බව ය. බේබද්දකුට ඕනෑම දෙයක් කියන්නට පුළුවන. එහෙත් බුද්ධිමත් සමාජය මේ සිද්ධි ගැන ගැඹුරු විමර්ශනයක යෙදීම ඉතා වැදගත් ය.

දෙවන සිද්ධිය වාර්තා වන්නේ පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන්ය. අනතුරට ලක්වූ එළදෙන මරණයෙන් ගලවාගත් සත්වයකු බවත් මුදල් ගෙවා එළදෙනට අභයදානය ලබා දුන් පින්වතා ඇය වෙනත් පුද්ගලයකුට හදාගැනීම සඳහා භාරකර ඇති බවත් සඳහන් ය. එතැන ඇත්තේ ද අනුවේදනීය කතාවකි.මරණයෙන් බේරුණු එළදෙන දැන් සිටින්නේ ගැබ්බරවය. ඌ එකිනෙක මිනිසුන්ගේ වැටමායිම් දන්නේ නැත.එබැවින් අනුන්ගේ වත්තක මඤ්ඤොක්කා දලු කිහිපයක් ආහාරයට ගෙන තිබේ. වත්තේ අයිතිකරුවා වහා පැමිණ එළදෙනගේ වලිගය කපා දමා ඇත.ඔහු එම වලිග කොටසද නිවසට රැගෙන ගොස් තිබේ.මේ පුද්ගලයා තිරිසනකුට ද වඩා අන්ත මුරුගයකු හැටියට හැඳින්විය හැකිය.

දැන් අප කල්පනා කළ යුත්තේ සමාජය මෙබඳු තැනකට තල්ලු වී ඇත්තේ කෙසේ ද යන්න ගැනය. අතීතයේ දී අප දුටුවේ මනුෂ්‍යත්වය පිරි සමාජයකි.අ‍පේ අතීත සමාජය තිරිසනාට ඉතා හොඳින් සලකා ඇත. මවට හා පියාට දණ ගසා ගාථාවක් කියා වැඳ නමස්කාර කරන එක ම රට හැටියට ද ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබිණි. මවට හා පියාට උවටැන් කිරීම පමණක් නොව ඔවුනට ගෞ‍රව දැක්වීම ද එදා මහ ඉහළින් පැවැතිණි. මව හෝ පියා හෝ එන විට අසුනෙන් නැගිට ගෞරව දැක්වීම අපේ චාරිත්‍රයකි. බටහිර රටවල දරුවන් මවට හා පියාට නම කියා ආමන්ත්‍රණය කරන අවස්ථා ඇතත් ශ්‍රී ලංකාවේ එවැන්නක් කිසි දිනෙක පැවැතියේ නැත.එහෙත් දැන් ඒ සියල්ල වෙනස් වෙන්නට පටන් ගෙන තිබේ.

ඉහත සඳහන් සිද්ධි දෙක අලුත් දේවල් හැටියට සැලැකිය නො හැකි ය. මන්දයත්; දිනපතා ම පාහේ මීට සමාන සිදුවීම් පිළිබඳ වාර්තා ජනමාධ්‍යවල පළවන බැවින් ය. වයස්ගත මාපියන් මහ පාරේ හෝ ප්‍රසිද්ධ ස්ථානවල හෝ අතරමංකොට යන දරුවෝ ඕනෑතරම් සිටිති. වැඩිහිටියන්ට සැලැකීම හා වැඩිහිටියන් භාරගැනීම යන කාරණා දෙකේදීම දරුවෝ එකිකො සමඟ ගැටෙති. ගැටුම් පොලිසිය දක්වා ද, අධිකරණය දක්වා ද ඇදී යයි. පුදුමයකට මෙන් කෝටිපති ව්‍යාපාරික දරුවෝ ද මෙලෙස ක්‍රියා කරති. පුදුමයකට මෙන් මහා උගත්තු ද ‍එලෙස ක්‍රියා කරති. මෙය සමාජයේ පොදු වැරැද්දක් වන තරමට ප්‍රචලිත වී ඇත. නීතියෙන් මීට කළ හැකි දෙයක් තිබේ ද යනු ගැටලුවකි.

දරුවන් හා මාපියන් අතර පවත්නා ආරවුල් සම්බන්ධයෙන් වූ නඩු විභාග සැලැකිල්ලට ගන්නා විට පෙනී යන්නේ මාපියනට නොසැලකීම පිළිබඳ බරපතළ දඬුවමක් ලබාදීම කළ නොහැකි දෙයක් බව ය. එය සදාචාරය, මනුස්සකම හා සිරිත් - විරිත් පිළිබඳ ගැටලුවක් සේ සැලැකිය හැකිය. නූතන සමාජයේ බහුතරය සදාචාරය නොසලකන අය ලෙස හැඳින්විය හැකි ය. සිරිත් - විරිත් ගරු කරන පුද්ගලයා පරණ හණමිටිකාරයකු ලෙස සලකන පිරිසක් ද සිටිති. නූතන සමාජය කෙළින් නො ව; හරහට ගමන් කරන බවක් දකින්නට තිබේ. එහෙත් මතක තබා ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ රටක දියුණුවට අදාළ ප්‍රධාන සාධකයක් ලෙස රටේ ජනතාවගේ විනය හා සංවරය පවතින බව ය.

මෙහි බරපතළ තත්ත්වය නම්; මිනිස් ඝාතන සිදුකිරීම ය. ඝාතනය සාමාන්‍යකරණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සංගීත සංදර්ශන නැරඹීමට යන තරුණයෝ එකට විනෝදවෙමින් සිට මරා ගනිති. එක ම පන්තියේ ශිෂ්‍යයෝ මහ පාරේ ගුටි ඇන ගනිති. පාතාලය වෙනම ඝාතන රැල්ලක් රැගෙන යයි. අසහනය, තරගය, පරාජය නො ඉවසීම, එකිනෙකා පරයා යෑමේ කැමැත්ත සමාජය තුළ මුල් බැසගෙන තිබේ. ඇතැම් තරුණ කොටස් පොදු වාහනවල යන්නට දන්නේ නැත. ඔවුන්ගේ හැසිරීම් අනෙකාට හිසරදයකි. එක අතෙකින් කල්ලි ගැසී ගහ-මරා ගනිති. තව අතෙකින් හුදෙකලාවේ මිනීමැරුම් කරති. තවත් අතකින් දකින්නට ලැබෙන්නේ මේවා දෙස නිහඬව බලා සිටින මිනිස් සමාජයකි. මේ සියල්ලම යහපත් දේවල් නොවේ.

අධ්‍යාපනය දියුණු වෙත් ම සමාජය ශීලාචාර වන බවට ද අපරාධ අඩුවන බවට ද මතයක් පවතී. එහෙත් එම මතය යල්පැන ඇති බවක් පෙනෙයි. දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපනය අපට ඇතැ’යි තර්ක කරන්නට පුළුවන. මාලදිවයින වැනි රටවල ශිෂ්‍යයෝ පාසල් අධ්‍යාපනය ලැබීමට ද ශ්‍රී ලංකාවට එති. අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට රටවල් ගණනාවක ශිෂ්‍යයෝ එකතු වී සිටිති. නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටක් හැටියට ද ඉහළ සාක්ෂරතාවක් ඇති රටක් හැටියට ද ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ ය. එලෙසම අපරාධ වැඩි රටක් හැටියට ද ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වනු ඇත. දැනට සිදුවන අපරාධ දෙස බලන විට එය සනාථ වනු ඇත.

අපරාධ හා මත්ද්‍රව්‍ය අතර ද, අපරාධ හා මත්පැන් අතර ද සම්බන්ධයක් පවතී. අවුරුදු අනූවක පියා මරා දැමූ පනස්හය හැවිරිදි පුත්‍රයා ද අමු බේබද්දෙකි. ඔහු දිනපතා මත්පැන් පානය කරන බව සඳහන් වී ඇත. මත්පැන් පානය තහනම් කළ නො හැකි ය. එය මානුෂික අයිතියක් ලෙස පවතී. බටහිර මිනිසුන් මත්වතුර පාවිච්චි කරන රටාවක් හා ලතාවක් පවතී. එය ඔවුන්ගේ සංස්කෘතියේ ම කොටසක් ලෙස ද පවතී. එහෙත් අපේ රටවල මත්පැන් භාවිත වන්නේ උද්වේගය සඳහා ය. එවැනි අය සිහි නුවණින් කටයුතු කරන්නේ යැයි කිව නො හැකි ය. මීට ලබාදිය හැකි හොඳම විසැඳුම වන්නේ ගම් මට්ට‍ෙමන් උපදේශන සේවා පවත්වාගෙන යෑම ය. ඒවා පැවැත්විය යුත්තේ ද උපායමාර්ගිකව ය. සමාජය හදන්නට වෙනත් ක්‍රමයක් නැත.

 

නව අදහස දක්වන්න