‘සීගිරිය රැළික්‍රොස්’ ඉරිදා | දිනමිණ

‘සීගිරිය රැළික්‍රොස්’ ඉරිදා

ගීෂා මුණසිංහ

සියැට් - ස්ලඩා වාර්ෂික ශූරතා තරගාවලියේ දෙවැනි තරගාවලිය සීගිරිය රැළික්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය අනිද්දා (27) සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වෙයි.

මෝටර් රථ තරග ඉසව් 8 කින් හා යතුරුපැදි තරග ඉසව් 12කින් සමන්විත මෙවර “සීගිරිය රැළික්‍රොස්” තරගාවලියට මෝටර් රථ ධාවකයන් 65ක් සහ යතුරුපැදි ධාවකයන් 125කට අධික සංඛ්‍යාවක් දැනටමත් අයැදුම්පත් යොමු කර ඇතැයි තරගාවලියේ සංවිධායකයන් වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය පවසයි.

තරගාවලියේ වඩාත්ම අවධානයට ලක්වන එස්.එල්. /ජී.ටී. 3500 සී.සී. ශූරතා මෝටර් රථ තරග ඉසව්ව වෙනුවෙන් තරගකරුවන් 9ක් අයැදුම්පත් යොමු කර තිබේ. එස්. එල්./ඒ. ෆෝඩ් ලේසර් / මැස්ඩා 1300 සී.සී. මෙන්ම 1500 සී.සී. මෝටර් රථ තරග ඉසව් වෙනුවෙන් තරගකරුවන් 18කට අධික පිරිසක් එක්වී සිටිති.

සියැට් කැලණි අන්තර්ජාතික ටයර් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලිය වාර්ෂික ශූරතාවලියේ අතිශය වැදගත් තරගාවලියකි. වාර්ෂික ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස පසුගියදා දියතලා‍වේ පැවැති ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් තරගාවලියේ එස්.එල්. /ජී.ටී. 3500 සි.සී. මෝටර් රථ ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ධාවන ශූර අශාන් සිල්වා සමත්වූ අතර යතුරුපැදි “එම්. එක්ස්.” කාණ්ඩයේ 175 – 250 සී.සී. (4ටී.) / 100 – 125 සී.සී. (2ටී.) ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉෂාන් දසනායක සමත් විය.

පසුගිය වසරේ සීගිරිය රැළික්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස කුෂාන් පිරීස් කුසලාන දිනාගත් අතර දක්ෂතම ධාවකයා ලෙස ඉෂාන් දසනායක යතුරුපැදි ශුරතාවයට හිමිකම් කීවේය.

 


නව අදහස දක්වන්න

Or log in with...