ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට වෙඩි තැබීමේ සංගමය තීරණය කරයි | දිනමිණ

ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට වෙඩි තැබීමේ සංගමය තීරණය කරයි

ප්‍රින්ස් ගුණසේකර

ලබන අගෝස්තු මස 18වැනිදා ඉන්දුනීසියාවේදී ආරම්භවන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අපේක්ෂාවෙන් සිටි වෙඩි තැබීමේ කණ්ඩායම එම ක්‍රීඩා උළෙලට සහභාගී නොවීමට තීරණය කරයි. එම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක් ඉන්දුනීසියාව බලා පිටත්වීමේ අවස්ථා වෙන්කරගෙන තිබුණි. සුදුස්සන් තේරීමේ තරගයේදී අවශ්‍ය පරිසාධන මට්ටම්වල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති බව වැටහී ගිය හෙයින් ජාතික වෙඩි තැබීමේ සම්මේලනය ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කිරීමේ තීරණය අත්හැර දමා ඇත.

ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගියදා නාවික හමුදා වෙඩි පිටියේ සුදුස්සන් තෝරා ගැනීමේ තේරීම් පරීක්ෂණය පැවැති අතර එහි ප්‍රතිඵල, වෙඩි තැබීමේ තේරීම් කමිටුව හා විධායක සභාව එක්ව සමාලෝචනය කර තිබේ. ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට ගත් තීරණය ජාතික වෙඩි තැබීමේ සම්මේලනයෙට අයත් ක්‍රීඩා සමාජ 17ක් එක්ව ගත් සාමුහීක තීන්දුවක් බව ජාතික වෙඩි තැබීමේ සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයට ඊයේ දැනුම් දුන්නේය.

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගීවන කණ්ඩායම්වල සූදානම කෙබඳුද යන්න ක්‍රීඩා සංගම්වලින් ඊයේ පැවැති රැස්වීමකදී ක්‍රීඩා අමාත්‍යාංශය කරුණු විමසා සිටි අතර එහිදී ජාතික වෙඩි තැබීමේ සම්මේලනය දැනුම්දී ඇත්තේ ක්‍රීඩා උළෙලට සහභාගී නොවන බවය. මෙතෙක් පැවැති ආසියානු ක්‍රීඩා උළෙල බොහොමයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් නියෝජනය කර තිබූණි. නිමාවට පත්වූ ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3ක් සහභාගී වූ අතර පදක්කම් දිනා ගැනීමේ අවස්ථා උදා නොවුණි.

ජාතික වෙඩි තැබීමේ සම්මේලනය අවංක තක්සේරුවක සිට ක්‍රීඩා උළෙලට සහභාගී නොවීමටගත් තීරණය පිළිබඳ බොහෝ දෙනාගේ පැසසුම් හිමිවූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ‘දිනමිණ‘ ට පැවැසීය.ඇතැම් අවස්ථාවලදී සුදුසුකම් පදක්කම් ආසන්නයට හෝ ළඟවීමේ අවස්ථා නොමැති බව දැන දැනත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කළ යුතු බවට පවසන ජාතික සංගම්වලට මෙය ආදර්ශයක් බව සදහන් විය.

ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නියෝගයක් අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙම රැස්වීම පැවැති අතර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන සියලු ක්‍රීඩාවලට අදාල ක්‍රීඩා සංගම් ප්‍රධානීහු කැදවා තිබුණි. ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් දැනට වෙන්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුදුසුකම්, ඔවුන්ගේ සූදානම, ආසියානු මට්ටමේ සිටින ස්ථානය හා පදක්කම් දිනාගැනීමට ඇති හැකියාව මෙහිදී විමසීමට ලක්කොට ඇත.

ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් 3ක් දිනාගත් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේදී වෙන්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමණය අඩු බව මෙහිදී එම සංගමය පෙන්වාදී ඇති අතර පිහිනුම් ක්‍රීඩාව වෙනුවෙන් දැනට වෙන්කොට ඇති ප්‍රමාණයේ වෙනසක් එම සංගමයද ඉල්ලා තිබේ. වුෂූ ක්‍රීඩාව වෙනුවෙන් මෙන්කොට ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක් වෙනුවට ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙකු පමණක් සහභාගීකරවන ලෙස ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ ඉල්ලීමවී තිබේ.

ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කොට සිදුකරන පුහුණුවීම් වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝගය අනුව ඉතා කඩිනමින් විදෙස් පුහුණුකරුවෙකු ගෙන්වා ගැනීමට අවසරය හිමිව ඇති අතර ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදීමට එකඟතාව පළවීය.

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රීඩා සංගම්වලට අදාල වාර්ෂික වැඩ සටහන් හා විදෙස් තරගාවලි පිළිබඳ වෙන වෙනම වැඩ පිළිවෙලක් කල් ඇතිව සකස් කොට ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන ලෙසද ක්‍රීඩා සංගම් වෙත දැනුම්දී තිබේ. ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දිය හැකි ක්‍රීඩා ඉසව් හදුනාගෙන පදක්කම් දිනන ඉසව් පිළිබඳ ක්‍රීඩා සංගම් ප්‍රධානීන් වෙත ඉලක්ක සැපයීමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අපේක්ෂාවවී තිබේ.

දිනා ගැනීමට ඉලක්කවන පදක්කම් ප්‍රමාණය අනුව එම ක්‍රීඩා සංචිතවලට වැඩි පහසුකම් ලබාදීමත් සංචිත අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් වෙන් කිරීමත් සිදු කෙරේ.

නව අදහස දක්වන්න