පාරාදීසයේ අපායක දිවිගෙවන මිනිස්සු | දිනමිණ

පාරාදීසයේ අපායක දිවිගෙවන මිනිස්සු

නුවරඑළිය නගරය යනු සුන්දර වටපිටාවක් සහ සුවපහසු දේශගුණයක් සහිත පරිසරයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. රටේ අනෙකුත් හැම නගරයක් තුළම සිටින්නා සේ දුප්පත්, පොහොසත් ජනතාවක් අඩු වැඩි වශයෙන් වාසය කරනු දක්නට ලැබීම නුවරඑළිය නගරයටත් පොදු වූ දෙයක්. එහෙත් එම නගරය තුළ අඩි 8 x 6 ප්‍රමාණයේ කුඩා කාමරයක අපමණ දුකක් විඳිමින් ජීවත්වෙන හයදෙනකුගෙන් යුත් දරු පවුලක් ගැනයි මේ කඳුළු කතාව.

දරුවෝ තුන්දෙනයි, ඔවුන්ගේ අම්මයි, තාත්තයි, මවගේ වයෝවෘද්ධ මවයි තමයි මේ අන්දමට හරියට අතක් පයක් හෝ දිගහැරගත නොහැකි තැනක ජීවත්වෙන්නේ.

Òඔය විදියේ කුඩා කාමර ඇතුළේ ජීවත්වෙන දරු පවුල් ‍රටේ ලොකු ලොකු නගරවල ඕන තරම් දැකල තියෙනවාÓ යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පුළුවන්. කාමරේ ඉඩ මදකම නිසා පවුලේ සාමාජිකයින් දෙතුන් දෙනකු කාමරය තුළ නිදාගන්නා විට අනෙක් සාමාජිකයින් කීපදෙනා එළියේ බංකුවක, නැතහොත් පාර අයිනේ කඩපිලක කාලය මරමින් සිට නිදා සිටි අය අවදි වූ පසු නිදාගැනීමට යන අවස්ථාවල් කොතෙකුත් දැකගැනීමට පුළුවන්.

එහෙත් එයට හාත්පසින්ම වෙනස් කතාවක් මෙතන තියෙන්නේ. නිතර වැසි සුළං සහිත සීතල නුවරඑළිය පරිසරයේ එළිමහනේ රැයක් ගෙවනවා කියන්නේ ඉසිලිය නොහැකි අපහසු කාර්යයක්. ඔවුන් ඒ දුක වසර ගණනාවක් සිට එකසේ විඳදරා ගන්නා හැටි සිත් කම්පා කරවන සුළු කතාවක්.

නුවරඑළිය නගර මධ්‍යයේ සිට කිලෝමීටරයක පමණ දුරක් ඇති නැති තැනෙක තමයි මේ දරු පවුල පදිංචි වෙලා සිටින කාමරය පිහිටා තියෙන්නේ. ඒ ආසන්නයෙන් යන පාර හඳුන්වන්නේ Òඅන්ඩර් බෑන්ක්Ó පාර නමින්. ඒ පාර දිගේ කන්ද නැ‍ඟගෙන ටික දුරක් යන විට දකුණු අත පැත්තෙන් හමුවන්නේ කලින් සුදු ජාතිකයකුට අයත්ව තිබුණ යැයි කියන පරණ බංගලාවක්. Òමවුන්ට් මයිකල්Ó නමින් හඳුන්වන එම බංගලාව පිටුපස කොනක ඉදිකරගත්ත කාමරයක තමයි මේ පිරිස ජීවත්වෙන්නේ.

එදා ඉඳලම, ඒ කියන්නේ වසර 41 ක් තිස්සේම මෙහි පදිංචිවෙලා ඉන්නෙ 63 හැවිරිදි Òතනම්Ó මහත්මිය. ඇය සහ ඇගේ සැමියා තමයි මෙම කාමරය හදාගෙන මුලින්ම පදිංචියට ඇවිත් තියෙන්නේ. ඇයගේ ස්වාමිපුරුෂයා වූ පීටර් සෙබස්තියන් මියගියාට පස්සෙ ඔවුනගේ එකම දියණිය වූ සී. ඒ. රෝහිනී විවාහ වෙනවා පෙදරේරු රැකියාවේ නිරත එම්. ඥාණසේකරන් සමඟ. ඔවුන් දෙදෙනාට සිදුවන්නේත් විවාහයෙන් පසුවද මෙම කාමරයේම නැවැතීමට.

මේ දෙදෙනාගෙන් පවුලට එකතුවෙලා ඉන්න දරුවෝ තුන්දෙනාගෙන් ලොකු දුවගේ වයස අවුරුදු 10 ක්. ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියන්න සූදානමින් ඉන්නේ. අනෙක් දරුවෝ දෙදෙනාම පුතාලා. එක්කෙනෙකුට අවුරුදු 07 යි. අනෙක් කෙනාට අවුරුදු 03 යි.

පරණ ලෑලි කෑලි දෙක තුනක් එකතු කරලා මේස ලෑල්ලක් වගේ හදාගෙන තිබුණත් ඒ දුවට ඒ ලෑල්ල උඩ පොත්ටික තියාගන්න තැනක් නෑ. ඇය ඒ සේරම කරන්නේ කට්ටියට නිදාගන්න තියෙන එකම ඇඳ මත මෙට්ටය උඩ පොත් ටික පෙරළාගෙන. ඇයගේ ඉස්කෝල වැඩ, පාඩම් වැඩ ඉවරවෙනකල් අම්මයි, තාත්තයි කීය හරි වෙනකල් ඇහැරලා ඉඳගෙන ඉන්නේ පොඩි දරුවෝ දෙන්නා විතරක් ඇ‍ඳේ හරහට නිදිකරවලා කියන එක තමයි ඇත්තම කතාව.

මගේ මහත්තයා දවසේ කුලී වැඩවලින් හම්බ කරණ මුදල අමතර කිසිදේකට යොදවන්නේ නැතිව මගේ අතට ගෙනත් දෙනවා. ඒ හින්දා අපිට කන්න බොන්න ඒ තරම් අඩුවක් නෑ. ඒ වගේම මම කොට්ට උර වගේ දේවල් මහනවා. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ දරුවෝ ඉස්කෝලේ ඇරිලා එනකල් විතරයි. මොකද මැෂිම තියාගන්න ඉඩ තියෙන්නේ ඇඳයි බිත්තියයි අතර තියෙන කොටසේ විතරයි. ළමයි ආවාම ඒක ඇඳ යටට තල්ලු කරනවා. එයාලට කාමරේ ඇතුළේ එහා මෙහාවත් යන්න ඉඩ නැති හින්දා. ඒකෙනුත් පොඩි ආදායමක් ලැබෙන හින්දා දරුවෝ අමතර පන්තිවලට එහෙම යවන්න පුළුවන්කම තියෙනවා.

ඒත් හවසට අම්මා නිදාගන්න විඳින දුක දැක්කම හැමදාම පපුව පිච්චෙනවා. මමයි, දරුවෝ තුන්දෙනයි, මහත්තයයි පුළුවන් විදිහට ගුලිවෙලා නිදාගන්නවා. අම්මා නිදාගන්නේ ඇඳ අයිනේ බිම පැදුරක් එළාගෙන. රෑට සිමෙන්ති පොළොව පුදුම සීතලක් තියෙන්නේ. අම්මා ඒ සීතල උහුලාගෙන කොහොම හරි නිදා ගන්නවා. එක දවසක් දෙකක් නෙවේ හැමදාම.

මහන මැෂිම ඇඳ යට තියෙන හින්දා අම්මට එතන එහාට මෙහාට හැරෙන්නවත් ඉඩක් නෑ. ඒ හින්දා එක පැත්තකට හැරිලා තමයි නිදා ගන්නේ. උදෙට ඒ පැත්තේ අත, උරපත්ත රිදෙනවා කියලා තෙල් බෙහෙත් ගා ගන්නවා.

මේ කොහොම වුණත් අපිට මේ දේවල් දැන් හුරුවෙලා. ඒ හින්දා අපහසුතාවයක් දැනෙන්නේ නෑ. ඒත මගේ හිත තිස්සෙම ගිනි ගන්නවා. මගේ දරුවන්ගේ හෙට දවස ගැන මතක් වෙලා.

අපි ඉන්න පරිසරය වටේටම තියෙන්නේ තනි ගෙවල්. හරියට කියනවනම් ලැයිම් ගෙවල් වටපිටාවක්. අපි ඉන්න පරිසරය ගැන අවතක්සේරු කරලා කතා කරනවා නෙවෙයි. මේ පරිසරයේ ඉන්න කොට දරුවන් ඉස්සරහ මව්පියන් විදිහට අපි මහත් අපහසුතාවලට පත්වෙන වාර අනන්තයි. මේ පරිසරයේ ඉන්න සමහර වැඩිහිටියන්නේ කටින් පිටවෙන්නේ, අසභ්‍ය වචන, අසභ්‍ය කතා. මත්පැන් බී ගත්ත මිනිස්සු. ඉතින් ඒ දේවල් අපේ දරුවන්ටත් ඇහෙන විට, ඔවුන් ඒවා දකින විට අපිට ලොකු බයක් දැනෙනවා. ඒ නිසා එයාලට එළියේ ගැවසෙන්න තියෙන වෙලාව අඩුයි. එයාලා සෙල්ලම් කරණ වයසේ ඉන්න දරුවෝ. ගේ ඇතුළේ මොන මොනවා හරි පොඩි පොඩි සෙල්ලම් කරන කොට මම හිතින් කොයි තරම් නම් අඬනවද? මට ඕනේ මේ පරිසරයෙන් දරුවන්ව ගෙනියන්න.

ඒ කතාව නිහඬව අහගෙන එළියට එද්දී ඒ තිදරු මව අපිට තවත් කතාවක් කියා සිටියාය.

''මේ කාමරේ හදාගෙන තියෙන බිම අපිට දීල තියෙන්නෙත් ඥාතියෙක්. වැසිකිළියක්වත් හදාගන්න තැනක් නෑ. ඒකට යන්නෙත් අල්ලපු ගෙදරට. එයාලා කොහේ හරි ගිහින් දොරවල් වහල තිබුණු දවසට අපිට වෙන යන්න තැනක් නෑ. දරුවෝ හරියට දුක් විඳිනවා. අපිට මොන දෙයක් කරලා හරි පොඩි ගේ කෑල්ලක් හදාගන්න බැරිවෙන එකක් නෑ ඉඩම් කෑල්ලක් තියෙනව නම් රජයෙන් හරි කාගෙන් හරි ඉඩම් කෑල්ලක් ලැබෙනව නම් ලොකු පිනක්.Ó

මගේ වයස දැන් අවුරුදු 38 යි. මේ පර්චස් දෙක තුනක හරි ඉඩම් කෑල්ලක් ඉල්ලන්නේ අපිට සැප විඳින්න නෙමෙයි. අපේ කාලේ දැන් ඉවරයි. මේ දරුවෝ තුන්දෙනාට උගන්වන්න ඉන්න, එයාලා ඉගෙන ගන්න දක්ෂයි වගේ පේනව. උනන්දුයි. දුප්පත් අපිට දරුවන්ට දෙන්න තියෙන එකම දේ දරුවන්ට හොඳට උගන්වන එක. ඒත් දෙවියනේ ඒ ටිකවත් කරන්න මේ මහපොළව ඇතුළේ අපිට ඉඩක් නැති හින්දයි මේ ඉල්ලන්නේ. පුළුවන්නම් අපිට පොඩි ඉඩම් කෑල්ලක් මේ කිට්ටුවෙන් හොයල දෙන්න.''

ඇයගේ හැම වචනයකම පාහේ යහපත් දරුවන් තිදෙනෙක් මේ සමාජයට එකතු කරනවා කියන පරමාර්ථය ගෑවී තිබුණ අතර මිනිස්කම ඒ වෙනුවෙන් උදව් කරාවි යැයි යන බලාපොරොත්තුව එම ඇස් දෙකේ ගැබ්වී තිබෙනු පෙනිණි.

සී. මහගම-නුවරඑළිය සමූහ

 

නව අදහස දක්වන්න