ඕස්ට්‍රියාවෙන් පොලී රහිත ණයක් | දිනමිණ

ඕස්ට්‍රියාවෙන් පොලී රහිත ණයක්

ජයසිරි මුණසිංහ

* සෞඛ්‍යයට මිලියන 1810යි
* උසස් අධ්‍යාපනයට 900යි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ උන්නතිය සඳහා රුපියල් මිලියන 1810 ක මුදලක් ද, උසස් අධ්‍යාපන අංශයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් ද ලෙස රුපියල් මිලියන 2710 ක පොලී රහිත ණය පහසුකම් දෙකක් ලබාදීමට ඕස්ට්‍රියානු රජය එකඟතාවය පළ කෙළේය.

රජයේ රෝහල්වල පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ මැදිකාලීන වැඩපිළිවෙළට රුපියල් මිලියන 1810 ක මුදලක් ලබාදේ. ඒ පිළිබඳව ගිවිසුමට ඕස්ට්‍රියානු සඳහා තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු උපදේශිකා ආචාර්ය ඔස්කාර් ඇන්ඩෘස්නර් මහත්මිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්ම මහත්මීහු කොළඹදී අස්සන් තැබූහ.

උසස් අධ්‍යාපන අංශයෙන් ජාත්‍යන්තරය ජයගන්නා මානව සම්පතක් ගොඩනැඟීමෙන් කලාපීය කේන්ද්‍රයවීමේ රජයේ දිගුකාලීන දැක්ම මල්ඵල ගැන්වීමට උදව් වීමේ අරමුණින් ඕස්‍ට්‍රියානු රජය රුපියල් මිලියන 900 ක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමට පෙරේදා (23) එකඟතාවය පළ කෙළේය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨවල පහසුකම් වැඩිදියුණු කිරීමට මේ මුදල යොදාගනු ලැබේ. ඉහළ හැකියාවන්ගෙන් හා කුසලතාවලින් පිරි මානව සම්පතක් බිහිකොට ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ දිනාගැනීමට මේ ණය පහසුකම ඉවහල් වනු ඇත.

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ, රජරට විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨවල පහසුකම් වැඩිදියුණු කිරීමට මේ මුදල් යොදාගන්නා අතර ඒ සඳහා වූ ණය ප්‍රදාන ගිවිසුම් දෙකකට කොළඹදී අස්සන් තැබුණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, යුනික් ක්‍රෙඩිට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රේන්හාර්ඩ් රීඩි (Reinhard Riedi) යන මහත්වරු මේ ගිවිසුම අස්සන් තැබූහ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න