තරුණ තරුණියන් රජයේ රැකියා සොයා දේශපාලනඥයන් වෙත යෑම නතර කළ යුතුයි | දිනමිණ

තරුණ තරුණියන් රජයේ රැකියා සොයා දේශපාලනඥයන් වෙත යෑම නතර කළ යුතුයි

තරුණ තරුණියන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවද ඔවුන් තුළ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කළ යුතු බව ව්‍යාපෘති කළමණාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.

ඉදිරියේදී බිහි වන රැකියා සඳහා හැකියාව ඇති දක්ෂ තරුණ තරුණියන් බිහි කළ යුතු බව කී අමාත්‍යවරයා රටක් සංවර්ධනය කිරිමට නම් තරුණ පරපුර දැනුමින් පරිපූර්ණ විය යුතු බවද කීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (23) අරලියගහ මන්දිරයේ පැවැති යෞවන සමාජයේ තිස්අටවැනි සංවත්සරය හා ජාතික තරුණ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ උළෙලට එක්වෙමිනි.

මෙහිදී විද්‍යුත් පුස්තකාල ඇතිකිරීමට සඳහා යෞවන සමාජ වෙත පොත්පත්, පරිගණක හා අනෙකුත් උපකරණ ලබා දීමද සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

ජාතික තරුණ දිනය හා ශ්‍රී ලංකා යෞවන සමාජයේ සංවත්සරයට සහභාගී විමට ලැබිම පිළිබඳව සතුටු වෙනවා. මෙම අවස්ථාවේදී අප නව වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. යෞවන සමාජවලට විද්‍යුත් පුස්තකාල හඳුන්වා දෙනවා. අතීතයේ අප පොතපතින් කියවූ දේ මේ වන විට පරිගණකය හරහා සිදු කරනවා. දැනුම වර්ධනය කරගැනීම සඳහා බොහෝ දේ පරිගණක තුළින් ලබා ගත හැකියි. විද්‍යුත් පුස්තකාල මඟින් පරිගණක හරහා පොත් කියවීම හඳුන්වා දෙනවා. අද වන විට කියවීම පොතපතට පමණක් සීමා වී නැහැ. තාක්ෂණය සමඟ හොඳ දේත් නරක දේත් ලැබෙනවා. ඉන් හොඳ දේ පමණක් ගත යුතුයි. මේ වන විට සබඳතා පැවැත්වීම තාක්ෂණය හා මුසු වී තිබෙනවා. සමාජ ජාලා නිසා අද බොහෝ දෙනෙක් යෞවන සමාජවලින් ඈත් වී තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලින් ගතයුතු දේත් නොගත යුතු දේත් පවතිනවා. ලෝකය දියුණු වන විට තාක්ෂණය සමඟ ඉදිරියට යාමේදී හමුවන දේ වලින් හොඳදේ පමණක් ගතයුතුයි.

මීට වසර 38කට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පකට අනුව ජාතික තරුණ සේවා සභාව බිහිකරනු ලැබුවා. රටේ තරුණ තරුණියන්ට නිවැරදි මඟපෙන්වීම ලබාදිම සඳහා විශාල වැඩකොටසක් ජාතික තරුණ සේවා සභාවට පැවැරී තිබෙනවා. ලෝකය දියණු වීමේදී, සමාජ දියුණු වීමේදී හා පිරිහිම සලකා බලා තරුණ පරපුරට අවශ්‍ය දේ ලබා දීම කළ යුතුයි. මීට පෙර දිනයේ අප නව තරුණ මධ්‍යස්ථානයක් පානදුරේදී විවෘත කරනු ලැබුවා.

මෙම මධස්ථාන හරහා තාක්ෂණික පුහුණුව ලබා දෙනවා. නමුත් එම පුහුණුව ලැබූ පසුවද තරුණ තරුණියන් රජයේ රැකියා සොයා දේශපාලනඥයන් වෙත යනවා. එය නතර කළ යුතුයි. පාඨමාලාවන් සඳහා අප විශාල මුදලක් වියදම් කරනවා. තරුණ තරුණියන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. රජයේ වැඩපිළිවෙළ පිළිබඳ තරුණ පරපුර තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ආර්ථික දියුණුව තරුණ තරුණියන් විඳිය යුතුයි.

හම්බන්තොට ඉඳිවෙන කර්මාන්ත පුරය ආරම්භවීමේදී හම්බන්තොට වරාය දියුණු වෙනවා. රටට විදේශ විනිමය ලැබෙනවා. වරාය ණය ඉන් ගෙවිය හැකියි. ඇති වන කර්මාන්ත සඳහා රැකියා බිහිවෙනවා. ඉන් කුඩා කර්මාන්ත බිහිවෙනවා. විශාල ආර්ථික පසුබිමක් මේ හරහා බිහිවෙනවා. බිහි වන රැකියා සඳහා හැකියාව ඇති දක්ෂ තරුණ තරුණියන් බිහි කළ යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශාල වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒවා ගොඩනැඟීමට කාලයක් ගත වනවා.

මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා- ගමට දැනුම ගෙන යාම සඳහා තවත් වැඩපිළිවෙළක් ලෙස විද්‍යුත් තාක්ෂණික පුස්තකාල සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ඇති කරනවා. දක්ෂතා ඇති තරුණ පිරිස් හඳුනාගෙන ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය උපකාර ලබා දිය යුතුයි. රටේ ආර්ථික සංවර්ධනයට තරුණ තරුණියන් යොදවා ගැනීම කළ යුතුයි.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සභාපති නීතීඥ ඩබ්.ජී.එස් එරන්දික මහතා-

ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම යෞවන සමාජයෙන් ආ පිරිස් සිටිනවා. ඔවුන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. අප නවීන ලෝකයට ගමන් කිරිමේදි ඒ හා මුසු විය යුතුයි. ඒ සඳහා හොඳම ආයුධය වන්නේ තාක්ෂණයයි. සමාජයේ ඉහළ ස්ථානවලට ගියත් දැනුම අඩුනම් එය පලක් වන්නේ නැහැ. කියවීමට යොමු කළ යුතුයි. ඊට තාක්ෂණය යොදා ගත යුතුයි. රටේ පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ රැකියා වියුක්තියයි. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. ඒ වගේම තරුණ තරුණියන් දේශපාලන අතකොළු නොවිය යුතුයි. විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂ දැනුමින් පරිපූර්ණ තරුණ පිරිස් බිහි කළ යුතුයි.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා අධක්ෂ ජනරල් ඩබ්ලිව්. සුනිල් මහතා- මෙවැනි අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබිමට සතුටුයි. කියවීමේ සංකල්පය ඉදිරියට ගෙන ආ යුතුයි. සෑම වසරකම ඔක්තෝබර් කියවීමේ මාසයක් ලෙස නම් කර තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් කියවීමේ වර්ෂ, මාස හා දින ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා සම්බන්ධ වී kiyawamu.lk නම් විද්‍යුත් ලෙස පොත් කියවීමේ වෙබ් අඩවියක් නිර්මාණය කළා. දිස්ත්‍රික්ක 24 ආවණය වන පරිදි දිස්ත්‍රික් පුස්තකාල ආරම්භ කරනවා. මෙම වසරේ පුස්තකාල පහක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. තරුණයන්ගේ ජිවිත ආලෝකමත් කිරීමට මෙය ඉතා හොඳ වැඩපිළිවෙළක්.

මෙම අවස්ථාවට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ඒ. එස්. කීරගල, ශ්‍රී ලංකා යෞවන සම්මේලනයේ ලේකම් ‍ශෙහාන් කෝෂිල කන්නන්ගර මහත්වරු මෙන්ම යෞවන සමාජ තරුණ තරුණියෝ විශාල පිරිසක් එක් වී සිටියහ.

සඳුන් රමේෂ්
ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න