‘EvalColombo 2018’ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සැසිය සැප්. 17-19 දක්වා | දිනමිණ

‘EvalColombo 2018’ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සැසිය සැප්. 17-19 දක්වා

ඇගයීම් අගයන සංස්කෘතියකට පිය නැගීම සඳහා ' EvalColombo 2018' - ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ඇගයීම් සැසිය සැප්තැම්බර් 17 -19 තෙදින තුළ කොළඹ හිල්ටන් හෝටලයේ දී සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය. වගකිව යුතු පාර්ලිමේන්තුවක් සඳහා ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාවට සහය ලබා දෙන ලොව පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තම රටවල වගකිව යුතු පාර්ලිමේන්තුවක් සඳහා ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමට සහය ලබා දීමට අපේක්ෂිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවර්ධන හවුල්කරුවන්, වෘත්තිය ඇගයීම සඳහා වන ස්වේච්ඡා සංවිධාන සහ අනෙකුත් කොටස් කරුවන් මෙම ගෝලීය සැසිය සඳහා සහභාගි වනු ඇත.

' EvalColombo 2018' - ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ඇගයීම් සැසිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී, ගෝලීය මන්ත්‍රීවරුන් ගේ ඇගයීම් සැසියේ සභාපති කබීර් හෂීම් මහතා ගේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ඇගයීම් සැසියේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, මයන්ත දිසානායක මහතා සහ ඇගයීම් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද මෙම සැසිය පිළිබඳ අදහස් දැක්වීය.

ඇගයීම් සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පවත්වනු ලබන ප්‍රථම අන්තර්ජාතික වැඩසටහන ලෙස ' EvalColombo 2018' ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ලැබීම සතුටක් බව මේ පිළිබඳ අදහස් දැක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ඇගයීම් සැසියේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පැවසීය. ඇගයීම් ක්‍රියාවලිය පුළුල් ලෙස යොදා ගැනීම සහ ව්‍යවස්ථාදායකය තුළ සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදු කිරීම පිළිබඳව සංවාදයක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇගයීම් ප්‍රජාව සහ සංවර්ධන පාර්ශවකරුවන් හට මෙම සමුළුව අනගි අවස්ථාවක් වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය මෙම සැසියට පෙර කැබිනට් අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තම අපේක්ෂාව බව ද මීට සම්බන්ධ මන්ත්‍රීවරුන් පැවසීය.

දිළිඳුකම නිම කිරීම, පෘථිවි තලය ආරක්ෂා කිරීම, සැමට සමෘද්ධිය සහතික කිරීම සහ අනෙකුත් ප්‍රධාන තිරසාර සංවර්ධන අරමුණු සංකල්ප සහිත දැක්මක් මත ක්‍රියාත්මක ජාත්‍යන්තර පවුලේ සාමාජිකයන් වන බැවින් අපගේ අරමුණු සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ද ප්‍රබල අධීක්ෂණ හා ඇගයීම් කාර්ය රාමු අවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.

යහපාලනයේ අංගයන් ලෙස සාධක භාවිත කිරීමේ වැදගත්කම මෙමගින් නැවත තහවුරු වන අතර මෙම සැසියේ දී තිරසර සංවර්ධන අරමුණු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සිදු වේ.

තවද තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇගයීම් ක්‍රියාකරුවන් සහ සිවිල් සමාජය විසින් එකට එක්ව ඇගයීම් ක්‍රියාවලිය භාවිත කිරීම සඳහා දිරිගැන්වීම පිණිස මෙහිදී ඔවුන් අතර සංවාදයක් ගොඩ නැගීම අරමුණු කෙරේ.

ජාතික ඇගයීම් ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් සඳහා රට සතු බැඳියාවන් සහ ස්වේච්ඡා ජාතික සමාලෝචන ඇතුළු කොළඹ ප්‍රකාශය තුළ අන්තර්ගත කරුණ පිළිබඳව එකඟ වී ඉදිරියට ගමන් කිරීමට අපේක්ෂිතය.

නායකයන් විසින් පවත්වනු ලබන ප්‍රධාන දේශන, අන්තර් ක්‍රියාකාරී විද්වත් මණ්ඩල සාකච්ඡා, සහභාගිත්ව සැසිවාර සහ ගෝලීය හමුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සැසිවාරය සහ අවස්ථාවන් ජාල ගත කිරීම ' EvalColombo 2018' හි ප්‍රධාන අංග වේ.

ප්‍රබල අධීක්ෂණ හා ඇගයීම් කාර්යරාමු නිර්මාණය කිරීම, සාධක මත පදනම්ව තීරණ ගැනීම සහ රජය තුළ වගවීම සහතික කිරීම පිළිබඳ සාරවත් සංවාදයක් තහවුරු කිරීම සඳහා ඇගයීම් ක්‍රියාවලිය සඳහා කැප වී කටයුතු කරන ලොව පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇගයීම් විශේෂඥවරුන්, ජාත්‍යන්තර නියෝජිතයන් සහ කීර්තිමත් දේශකයින් ' EvalColombo 2018' සඳහා සහභාගි වනු ඇත.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූපය- වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න