දිඹුලාගල මිල්ලාන ග්‍රාමය සැමට සෙවණින් ලෙන්සිතුවම්ගම වූ වගයි | දිනමිණ

දිඹුලාගල මිල්ලාන ග්‍රාමය සැමට සෙවණින් ලෙන්සිතුවම්ගම වූ වගයි

ශ්‍රී ලාංකික ජන සමාජයේ සෑම පුරවැසියෙකුටම නිවසක හිමිකම ලබාදීම අරමුණුකොට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ආදර්ශ ගම්මාන සංකල්පයෙන් බිහිවූ 72 වන ආදර්ශ ගම්මානය වන, දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලාන ග්‍රාමයේ ලෙන්සිතුවම්ගම නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට 26 දින එම ගම්මානයේ නිවාසලාභීන්ගේ අයිතියට පත් කරනු ලැබේ.

මෙරට ඉදිකිරිම් කර්මාන්තයේ මෙන්ම ජනාවාස සංවර්ධන ක්‍රියාවලියේ ද, ඓතිහාසික තොරතුරු රැසකට හිමිකම් කියන පොළොන්නරුව යුගයේ සංවර්ධන සාර්ථක අත්දැකීම් භාවිතයට ගනිමින්, එහි සැබෑ ගතිලක්ෂණ සමාජගත කරමින් නිර්මාණය වූ වර්තමාන ජනාවාස සංවර්ධන වැඩසටහන වඩාත් ඵලදායි අයුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ අද දිනයේ ක්‍රියාවට නැංවේ. ලෙන්සිතුවම්ගම නිර්මාණය වූයේ එම අත්දැකීම් පදනම්කොට ය.

ලෙන්සිතුවම්ගම බිහිවි ඇත්තේ දිඹුලාගල ඓතිහාසික ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මිල්ලාන ග්‍රාමය තුළයි. පොළොන්නරුව යුගයට ගැනෙන දිඹුලාගල හෙවත් උදුම්බරගිරි විහාරයට අයත් ඓතිහාසික ගුහා චිත්‍ර අන්තර්ගතවන පුල්ලිගොඩ පර්වත කුහරය පිහිටා ඇත්තේ මෙම මිල්ලාන ග්‍රාමයේය. පුල්ලිගොඩ ලෙන්සිතුවම්, ශ්‍රී ලංකාවේ පැරණිම බිතුසිතුවම් නිර්මාණ කාර්යයට හිමිකම් කියන අතර, ශ්‍රී ලාංකික ආදිවාසි වැදි ජනතාව විසින් මෙම සිතුවම් නිර්මාණයකර තිබීම මෙහිලා ඇති විශේෂත්වයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වු මිනිසා ගල් ගුහාවල චිත්‍ර හා රූප සටහන් සිත් බැඳගන්නා අයුරින් නිර්මාණය කළ අතර,දිඹුලාගල පුල්ලිගොඩ පර්වත කුහරයේ පිහිටි මෙම බිතුසිතුවම් ද පුරා විද්‍යාත්මකව වටිනාකමකින් යුක්ත වේ.

මෙවන්වු ඓතිහාසික පසුබිමක පිහිටි මිල්ලානගම මෑතක් දක්වා පැවතියේ අසංවර්ධිත අර්ධ වනගත වූ භූමි ප්‍රදේශයක් ලෙසිනි. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන නිවාස හා ජනාවාසකරණය මෙම ගම් පෙදෙසට හඳුන්වාදිමේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක හා සමගාමීව කඩිනම් සංවර්ධන ක්‍රියාවලියකට පොළොන්නරුව දිස්ත්‍රික්කය යොමුවිය.

මෙකී නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිලිවෙළ වඩාත් විධිමත් අයුරින් ක්‍රියත්මක කිරිමේදී ඒ ආශ්‍රිත තොරතුරු හා දත්ත නිසි අයුරින් නොතිබීම ගැටලුවක් විය.

ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය අමාත්‍යධුරයේ රාජකාරි කාර්යයන් ආරම්භ කළ අවස්ථාවේදීම සිය නිලධරයන්ට උපදෙස් දෙනු ලැබුවේ මෙරට නිවාස සංවර්ධනය පිලිබඳ සැබෑ තොරතුරු එක්රැස් කිරීමක් සඳහා සමික්ෂණයක් සිදු කර එය පදනම් කර නිසි සංවර්ධන සැලැස්මක් සකස් කරන ලෙසයි.

2016 වසරේ සිදු කරන ලද මෙම සමික්ෂණ තොරතුරුවලට අනුකූලව පොළොන්නරුව දිස්ත්‍රික්කය පවුල් 126,989 කින් යුක්තවු අතර, එහි පැවති මුළු නිවාස ප්‍රමාණය 118,437 ක් විය.

දිස්ත්‍රික්කයේ පැවති තාවකාලික නිවාස ප්‍රමාණය 5,131 කි. පොල්අතු පැල 817 ක් දිස්ත්‍රික්කය සතුවූ අතර, තහඩු සෙවිලි කළ නිවාස ප්‍රමාණය 6,323 කි. කපලාරු කළයුතු නිවාස ප්‍රමාණය 44,770 ක්වූ අතර, අඩක් ඉදි කළ නිවාස ප්‍රමාණය 15,305 කි. එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරිමට ඉඩමක් ඇති, එසේ වුවද, තමන්ගේම කිවහැකි නිවසක් නොමැති පවුල් 2,514 ක් ජිවත්වන අතර, වෙනත් ප්‍රදේශයන්හි තාවකාලිකව පදිංචි ප්‍රමාණය 681 කි. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ සියලු තොරතුරු පදනම් කරගනිමින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සැලසුම් වී ක්‍රියාවට නැංවේ.

මෙහිදි විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ තමන්ගේම නිවහනකට හිමිකම් නොකියන, දිස්ත්‍රික්කයේ නිවාස අපේක්ෂාව පවත්නා ජනතාවගේ එකී අවශ්‍යතාවය ඉෂ්ට කිරිම සම්බන්ධයෙනි. පොළොන්නරුව දිස්ත්‍රික්කය මෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වලද නව ආදර්ශ ගම්මාන නිර්මාණය වනුයේ මෙම අවශ්‍යතාව සපුරාලීමේ අදහසිනි. මෙයට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද පොල්අතු පැල සහ තාවකාලික නිවාසයන්හි ජිවත්වන නිවාසලාභීන් සඳහා ස්ථිර නිවහනක අයිතිය හිමිකරදීම ඉදිරි වසරක කාලපරිච්ඡේදය තුළදී නිම කිරිමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂා කරයි.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනින් නව ආදර්ශ ගම්මාන 2500 ක් වත්මන් රාජ්‍ය පාලන සමය තුළ දී නිර්මාණය කිරිම ඉලක්ක කොට ඇති අතර, වර්තමානය වන විට මෙම ගම්මාන ප්‍රමාණයෙන් නව ආදර්ශ ගම්මාන 720 ක ඉදිකිරිම් කාර්යයන් ආරම්භ කොට තිබේ. එයින් 2015 වසරේ සිට මේ දක්වා ආදර්ශ ගම්මාන 33 ක ඉදි කිරිම් කාර්යයන් පොළොන්නරුව තුළදී ආරම්භකර, තවත් ගම්මාන 06 ක ඉදිකිරීම් තව නොබෝ දිනකින් ආරම්භ කෙරේ. ඒ අනුව 2015 වසරේ සිට ගතවූ තෙවසරක කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව නිවාස ව්‍යාපෘතීන් 39 ක ඉදිකිරිම් ආරම්භවී ඇත. එය සංසන්ධනාත්මකව ගත් කල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළ 1979 වසරේ සිට වත්මන් රජය බලයට පත්වන තෙක් 2014 වසර දක්වා ගතවූ 35 වසරක කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකිරිම් සිදු කළ ආදර්ශ ගම්මාන ප්‍රමාණය වූ ගම්මාන 33 ක ප්‍රමාණය අභිබවා යෑමකි.

මෙම ජනාවාස නිර්මාණය හුදෙක් රාජ්‍ය ආයතනික අවශ්‍යතාවක් මත නිලධාරි ක්‍රමවේද හෝ සම්ප්‍රදායික නීති පදනම් කොට සිදුවන්නක් නොවේ. ඉහතින් සඳහන් ආකාරයට ඓතිහාසික ජනාවාස සංවර්ධනයේදී අවධානය යොමු කළ මූලික සිද්ධාන්ත කෙරෙහි සැලකිල්ලක් දක්වමින් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වීම එහි සාර්ථකත්වයටත් තිරසාර බවටත් සමාජ පිළිගැනීමක් ඇති වීමට හේතු වි තිබේ.

දිඹුලාගල ලෙන්සිතුවම්ගම මෙන්ම දිවයින පුරා ඉදිවු සෙසු සියලු ආදර්ශ ගම්මානයන් උදා වීම සිදුවන්නේ නිවාසලාභීන්ගේ අවශ්‍යතාව ඕනෑකම සහ කැපවීම පදනම් කරගෙනයි. එවන් නිවාස ව්‍යාපෘතියක් කිසියම් ප්‍රදේශයක නි්මාණය වීමේදී සැබෑ නිවාස අවශ්‍යතාව පවත්නා නිවාසලාභීන් හඳුනාගැනීම, ඉඩම් කච්චේරි පැවැත්වීමෙන් සිදු කෙරෙන අතර, ඉන් අනතුරුව නිවාස ඉදිකිරීම සඳහා ජලය, විදුලිය,මාර්ග වැනි මූලික යටිතල පහසුකම්වලින් සමන්විත බිම් කොටස් හඳුනාගැනිම සිදුකෙරේ.

අදාළ කාර්යය උදෙසා නිවාසලාභියා වෙත ප්‍රදානය කරන රුපියල් ලක්ෂ 05 ක මූල්‍ය දායකත්වය සහාය කරගනිමින් නිවාසලාභීයා විසින් තමන්ගේ අවශ්‍යතාවට ගැළපෙන මුලික නිවස තම ඉතිරිකිරිම් හා ශ්‍රමය දායක කරගැනිමෙන් සිදු කරන අතර, එවන්වු නිවාස සමූහයකින් නව ආදර්ශ ගම්මාන උදාවීම සිදු වේ.

දිඹුලාගල මිල්ලාන ග්‍රාමය තුළ නව නිවාස 25 ක් ඉදිවි ඇති අතර, සියලු නිවාසයන්හි හිමිකරුවන් බවට පත්වි ඇත්තේ නව පරපුරේ නිවාස හිමිකරුවෝය. ඔවුන් බහුතරය තම මවුපියන් හා වැඩිහිටියන් සමග තම මුල් නිවහනේ විවිධ අභියෝග මධ්‍යයේ ජිවත් පිරිස් වෙති. මොවුනට සැබෑ නිවාස අවශ්‍යතාව පැවතිය ද එය ඉටු කරගැනිමට බිම් කොටසක්, තාක්ෂණ සහායක් මූල්‍ය අනුග්‍රහයක් හෝ වෙනත් සහායක් මෙතෙක් හිමි වී නැත.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන දිවයිනේ සෙසු ප්‍රදේශවලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට ද හඳුන්වාදිමේ ප්‍රතිඵලයක් ලෙසින් වනගත අසංවර්ධිත මිල්ලාන ග්‍රාමය සංවර්ධිත ජනාවාසයක් ලෙසින් සංවර්ධනය විය.

ගත වී ඇත්තේ වසරකටත් අඩු කාලයකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ මුලික මැදිහත්විම යටතේ දිරිමත් පවුල් 25 ක් තමන්ට ජිවත් විමට සුදුසු නිවසක් තමන්ගේම ශක්තිය හා කැපවිමෙන් මිල්ලාන ග්‍රාමය තුළ නිර්මාණයවී තිබේ.

ඔවුන්හට කළ නොහැකිවු, ඔවුන් සතු නොවූ මූලික ඉඩම් කෙටස තාක්ෂණ උපදෙස් සැලසුම් හා මුලික මුදල යන කාර්යයභාරයන් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනින් ඔවුන් සතු කර ගන්නා ලදී. මේ සියල්ලේ සම්මිශ්‍රණය කිරීමෙන් ඉපැරණි මිල්ලාන ග්‍රාමය ,ලෙන්සිතුවම්ගම, නමින් ප්‍රතිනිර්මාණය විය. අද මෙම ගම් පෙදෙස ආදර්ශමත් නිවාස 25 ක් අභ්‍යන්තර මාර්ග පද්දතියක්, මුලික ජලය,විදුලිය පහසුකම් සමගින් සමන්විත අංගසම්පුර්ණ ආදර්ශ ගම්මානයක් බවට පත්වි තිබේ. දිඹුලාගල පුල්ලිගොඩ පර්වත කුහරයේ ඇති ඓතිහාසික බිතුසිතුවමට සිදුකරන ගෞරවාන්විත මෙහෙවරක් ලෙසින් මෙම ගම් පෙදෙස .ලෙන්සිතුවම්ගම. නමින් නම් විය.

දිවයිනේ සියලු ප්‍රදේශයන්හි මෙවන්වු ආදර්ශ ගම්මාන රැසක හිමිකම නිවාසලාභීන්ගේ අයිතියට පත්කොට ඇත. ඒ සෑම ආදර්ශ ගම්මානයක් තුළම එහි සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් ඔවුන්ගේම අනන්‍යතාව තහවුරු වන්නාවු වෘත්තාන්තයක් නිර්මාණය වි තිබේ. දිඹුලාගල මිල්ලාන ගමේ ලෙන්සිතුවම්ගම ලෙසින් නිර්මාණය වුයේ ද එවන් කථා පසුබිමක් තුළයි. මෙවන් සංවර්ධන කාර්යයක් මඟින් වසරක් වැනි කෙටි කාලයකින් නිර්මාණය වූ දිඹුලාගල ඓතිහාසික පුරවරයේ ලෙන්සිතුවම්ගම නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය මෙන්ම එකී ජාතික මෙහෙවරේ තිරසර බවද මනාව පිලිබිඹු කරයි.

ලක්විජය සාගර පලන්සූරිය
සභාපති
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

නව අදහස දක්වන්න