දකුණේ පැතිරෙන වෛරසය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා | දිනමිණ

දකුණේ පැතිරෙන වෛරසය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන හඳුනා නොගත් රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මැදිහත් විය නොහැකි බව පේනවාදුන් ඒ මහතා ඒ සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍යය බව ද සඳහන් කළේය.

කල්තැබීමේ විවාදය ආරම්භ විය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එ.ජ.නි.ස) - දකුණු පළාතේ හඳුනා නොගත් රෝගී තත්ත්වයන් ව්‍යාප්ත වීම හේතුවෙන් පාසල් වසා දමන්නට සිදුව තිබෙනවා. එම රෝගී තත්ත්වය තවදුරටත් ව්‍යාප්තවීමට ඉඩ නොදී අවශ්‍ය පියවර ගතයුතු වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය (එ.ජ.නි.ස) - වසංගත රෝග ඒකකයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. නමුත් මේ ඒකකයේ ප්‍රධානියා වුණේ විශේෂඥ වෛද්‍යවරයෙක්. ප්‍රජා වෛද්‍ය පිළිබද දැනුමක් තිබෙනවා. නමුත් අද වනවිට පරිපාලනමය විශේෂඥ වෛද්‍යවරයෙක්. වසංගත රෝග සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොමැති වෛද්‍යවරයකු පත් නොකිරීම විශාල ගැටලුවක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරැදි ක්‍රියාවන් නිසා යම්කිසි කඩාවැටීමක් සිදුව තිබෙනවා. අත්දැකීමක් ඇති අය පත්කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එ.ජා.ප) - දකුණු පළාතේ ව්‍යාප්ත වන වසංගත රෝගි තත්ත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ආසියාවේ ඉහළම සෞඛ්‍ය තත්ත්වයක් හිමි රටක් ලෙස මේ වසංගත තත්ත්වයන් පාලනය සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් දියයුතුයි. .

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා (එ.ජ.නි.ස) - දෙමාපියන්ට මර බිය දැනෙන රෝගයකට දකුණු පළාත මුහුණ දෙනවා. මේ හේතුව මත සාමාන්‍ය ජනජීවිතයේ ක්‍රියාකාරිත්වය අඩපණ වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එ.ජා.ප) - මේ වංසගත රෝගය මර්දනය කරන්න රජය විසින් පියවර ගෙන තිබෙනවා. පසුගිය දින කිහිපයේ අවාසනාවන්ත තත්ත්වයක් දකුණු පළාතේ ඇතිවුණා. දරුවන් කිහිපදෙනකු මියගියා. වයස අවුරුදු 2ට අඩු දරුවන් මේ රෝගයට ගොදුරු වුණා. මෙය දරුණු ලෙස ව්‍යාප්ත වුණා. ගාල්ල ශික්ෂණ රෝහලේ රෝගීන් 200 ට වැඩි පිරිසක් සිටියා. නමුත් අද වනවිට 38 දක්වා පහත වැටී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එ.ජ.නි.ස) - කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සහ අනෙකුත් කාර්යමණ්ඩල විසින් මේ රෝගීන් සුවකිරීම වෙනුවෙන් ලබාදුන් සක්‍රීය දායකත්වයට අපේ ගෞරවය පිරිනමනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් මහතා - මෙතන යම්කිසි අඩුපාඩුවක් තිබෙන්න පුළුවන්. නමුත් බෙහෙත්වල හිඟයක් නැහැ. අධ්‍යක්ෂවරයාට ඉල්ලන්න පුළුවන්. මෙම වෛරසය කලින් කලට ඇති වෙනවා. හැම වසරකම දෙවරක් පැතිරීමේ අවදානම තිබෙනවා. අපි අමාත්‍යාංශය මට්ටමින් අධීක්ෂණය කරනවා. වසංගත රෝග අංශය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. පසුගිය වසරේ වෙනත් පළාත්වල පැතිරුණා. මේ වසරේ දකුණු පළාතේ පැතිරෙනවා. වැසි තත්ත්වයත් සමඟ විවිධ රෝගී තත්ත්වයන් පැතිරෙනවා. අපිගේ අමාත්‍යාංශය සියලු පියවර ගෙන තිබෙනවා මේ තත්ත්වය සමනය කරන්න. කරාපිට රෝහල ගත්විට මාතර, හම්බන්තොට, තංගල්ල රෝගීන් පවා ගේනවා. එතන තිබෙන ප්‍රශ්නය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් මෙය කරන්න බැහැ. ජනතා සහාය අවශ්‍ය වෙනවා.

වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය 2000 වසරේ සිට 2012 දක්වා වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කළා. 2017 වසරේ දී ඇයට රාජකාරි නිවාඩු ලබාදුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විදේශීය ශිෂ්‍යත්වයක් ලබාදුන්නා. වසරකට පසුව ඇය නැවත අපේ අමාත්‍යාංශයට පැමිණියා. ඒ අවස්ථාවේ අධ්‍යක්ෂක ධූරය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කළත් වෙනත් අයෙක් පත්කර ගත්තා. මෙම තනතුර වෙනත් අයෙකුට දුන් පසු අපිට අවලංගු කරන්න බැහැ. පසුව ඇයට වෙනත් තනතුරක් ලබාදුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ. අපගේ වසංගත රෝග දෙපාර්තමේන්තුව බොහොම ශක්තිමත්. සියලුම බෙහෙත් එතැන තිබෙනවා. මහජනතාව දැනුවත් වියයුතුයි. පසුගිය වසර සමඟ බලනවිට බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා.

පළාත් රෝහල්වල හෝ කිසියම් ඖෂධ හිඟයක් තිබෙනවා නම් පරිගණකයෙන් ඒ පිළිබඳ දැනුවත් කරන්න පුළුවන්. එය වහාම අදාළ රෝහලට යොමු කරනවා. අපි වගකීමෙන් කටයුතු කරනවා.


නව අදහස දක්වන්න

Or log in with...