තේ කර්මාන්තය සඳහා පමණක් ග්ලයිෆොසෙට් ‍ෙයදීමට යාන්ත්‍රණයක් ගෙනෙනවා | දිනමිණ

තේ කර්මාන්තය සඳහා පමණක් ග්ලයිෆොසෙට් ‍ෙයදීමට යාන්ත්‍රණයක් ගෙනෙනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

දැන් තේ කර්මාන්තය හොඳ තත්ත්වයකට ඇවිත්
- අජිත් මාන්නපෙරුම

තේ නැවත වගාව අද ඉතාම පහළ මට්ටමක
- සුනිල් හඳුන්නෙත්ති

හොඳම වතුටික දැන් නරකම වතුවෙලා  
- මහින්දානන්ද අලුත්ගමගේ

මහා පරිමාණ තේ සමාගම් සඳහා සහ කුඩා තේවතු හිමියන් වෙත පමණක් අවශ්‍ය ප්‍රමාණයට ග්ලයිෆොසෙට් ලබාදීමට වුවමනා යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහාට ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

යම් යම් හේතුන් මත ග්ලයිෆොසෙට් වල්නාශකය තහනම් කිරීමට රජය විසින් කටයුතු කළ ද ග්ලයිෆොසෙට් වෙනුවට පාවිච්චි කරන විකල්පය හේතුවෙන් යම්කිසි අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජපානය ප්‍රකාශ කළ බව පෙන්වාදුන් ඒ මහතා මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ සහ ඇමැති මණ්ඩලයේ කැමැත්ත මත තේ කර්මාන්තයට පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ද පෙන්වා දුන්නේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්විය. නිවේදන, ලිපිලේඛන හා මහජන පෙත්සම් සහ අමාත්‍යාංශ නි‍වේදන ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව වාචික පිළිතුරු අ‍පේක්ෂා‍වෙන් සහ ස්ථාවර නියෝග 23 (2) යටතේ මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවමේ විවාදය ආරම්භ විය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා-ශ්‍රී ලංකා තේ මණ්ඩලය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා. තේ ව්‍යාප්තිය හා ප්‍රවර්ධනය වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමටත් එම ආයතනය ශක්තිමත් කිරීමටත් ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක් ඇතිකිරීමේ අවශ්‍යතාව තිබෙනවා. වෙළෙඳපළ ඉඩප්‍රස්ථා ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කෙරෙන ගෝලීය තේ ප්‍රවර්ධන වැඩසටහන හා දේශීය තේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙම ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරේ වගකීම වෙනවා. සභාපතිවරයාගේ උපදෙස් පරිදි මහජන සම්බන්ධතා හා අවශ්‍ය සුබසාධන කටයුතු වෙනුවෙන් සහායදීම මෙන්ම දේශීය සහ විදේශීය ආධාර ලබන ව්‍යාපෘති පිළිබඳ සම්බන්ධීකරණ කටයුතුවලින් සහාය ලබාදීම, සභාපතිවරයාට සහාය ලබාදීම නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර විසින් සිදුකෙරෙනවා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ) - ඇතැම් ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත්කළ පසුව එම තනතුර විසින් ආයතනය හොඳ පැත්තට හෝ නරක පැත්තට රැගෙන යනවා. ඇමැතිවරයාගේ දේශපාලන කටයුතු කරන ඉතිහාසයක් තිබෙනවා. ව්‍යාපෘති ගත්විට විදේශ හෝ දේශීය වශයෙන් පවතින ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් කටයුතු කරනවා. මේ තනතුර දේශපාලන තනතුරක් වෙනවා වෙනුවට තේ මණ්ඩලයේ උන්නතිය වෙනුවෙන් යොදා ගතයුතු වෙනවා. මෑතක දී දැව සංස්ථාවේ සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. පසුව පත්කළ දැව සංස්ථාවේ සභාපතිවරයා ද මූල්‍ය වංචාවකට සම්බන්ධ කෙනෙක්. මේ තත්ත්වය වැළැක්වීම මේ පාර්ලිමේන්තුවේ සහ අපේ කාර්යභාරය විය යුතුයි.

ශ්‍රී ලංකා තේ නාමය ප්‍රවර්ධනය කිරීමට තේ කිලෝවකින් රුපියල් 3.50 බැගින් අයකොට අරමුදලක් ස්ථාපිත කොට තිබෙනවා. මේ වනවිට මිලියන 8,000ක් පමණ මුදලක් එම අරමුදලේ තිබෙනවා. මේ අරමුදලින් මොකද වෙන්නේ. මේ තේ අලෙවියට වෙළෙඳපළ වර්ධනය වී තිබෙනවා ද නැද්ද. යටත් විජිත කාලයේ සිටම අපේ තේ නාමය හැදුණු දෙයක්. අපිට තේවලින් සහ ක්‍රිකට්වලින් ලෝකයේ නමක් තිබෙනවා. තේ නැවත වගාව අද ඉතාම පහළ මට්ටමකට වැටී තිබෙනවා. ඒ සඳහා තේ මණ්ඩලයේ ඇති දායකත්වය කුමක් ද. අපේ රටේ තේ නැවත වගාව බිඳ වැටී තිබෙනවා. තේ කර්මාන්තය රටේ දියුණු කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට වැදගත් කාර්යභාරයක් තිබෙනවා. මේ රටේ තේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමැතිවරයාට හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ අය සමීප කරගෙන කටයුතු කළයුතුයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා මුලසුනට පැමිණියේය.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා-තේ මණ්ඩලයේ සියලු නිලධාරීන් එක්ව කටයුතු කරනවා. අද බෙදීමක් නැහැ. එවකට තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයායි. අපිට හැකිවුණා 2015 වසරේ දී රුපියල් මිලියන 250ට බැස්ස කාලයේ කිලෝ ග්රෑම් ප්‍රමාණය වැඩිකරන්න හැකිවුණා. විශාල බාධක මැද මේ කටයුතු සිදුවුණා. පොහොර සහනාධාරය යම්කිසි කප්පාදුවක් වුණා. එසේ වුවද මෙවැනි තත්ත්වයක් ඇතිවීම සුබදායකයි. 1972 වසරේ දී තේ මණ්ඩලය ඇතිකර තිබෙනවා. මෙහි විශාල සම්පත් තිබෙනවා. මගේම මුදල් ඇමැති මෙහි මුදල් ගන්න යනවිට මම පමණයි සටන් කළේ. අමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ ගන්න යන්න ගියා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ)- ඒ මුදල් ගන්න යනවිට මමත් මේ පාර්ලිමේන්තුවේ දී කතා කළා.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා -අනෙක් ආයතනවල මුදල් ගන්නා විට මට ශක්තියක් තිබුණා එය ආරක්ෂා කරගන්න. තේ ක්ෂේත්‍රයෙන් එන අයෙක් තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉන්නවා. මම ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා. තේ මණ්ඩලයේ අමුතුම තත්ත්වයක් තිබෙනවා. අධ්‍යක්ෂ ජනරාල් සහ කොමසාරිස් එම ආයතනය තුළින් එන්නේ. ඕනෑම දේශපාලන පක්ෂයක අය තමන්ගේ නිලධාරීන් පත්කරන්න උත්සාහ කරනවා. නමුත් අපි සුදුස්සන් පත්කළ යුතු වෙනවා. අපි පත්කරන ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයෙක් වෙනවා. තේ මණ්ඩල පනත යටතේ පත්වීම් කර තිබෙනවා. ඒත් අදාළ ක්ෂේත්‍රවලට පමණයි පත්කිරීම් කරන්නේ. මම දන්නා තරමින් තේ මණ්ඩලය හොඳ තත්ත්වයක තිබෙනවා.

ඒ අය ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. ඇතැම්විට නිලධාරිවාදය නිසා අපි අපේක්ෂා කරන දේ ඉටුවන්නේ නැහැ. තේ මණ්ඩලය ක්ෂේත්‍ර දෙකක්. ප්‍රවර්ධනය එකක් වෙනවා. සිලෝන් තේ නම බාල්දු වී නැහැ. අනෙක් රටවලට එහෙම කියන්න බැහැ. අපිට නොයෙකුත් බලපෑම් තිබෙනවා. විවිධ දේ මිශ්‍රකරන්න කියා බලපෑම් තිබෙනවා. මිශ්‍ර කිරීමෙන් අපිට ලැබෙන මිල රුපියලකින් හෝ අඩු වුණොත් එහි බලපෑම එන්නේ කුඩා තේවතු හිමියන්ටයි. නමුත් විවිධ යෝජනාවන් මට එනවා. මේවායේ මූලික රහස මිල අඩුකිරීමයි. ඒකට ඉඩදෙන්න බැහැ. අපේ තේවලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. තේ කිලෝ මිලියන 350ක් පමණ අපි නිපදවනවා. එය ලෝක වෙළෙඳපලේ සියයට 7ක් පමණ වෙනවා.

අපි තේ කර්මාන්තය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඩොලර් මිලියන 100ට වඩා තේ සම්බන්ධයෙන් ආයෝජන එනවා නම් වෙනම කලාපයක් ඇතිකරන්න අපි සූදානම්. ඒ තේ වෙනම රටවලට යවන්න පුළුවන්. අපි අලුත් විදියටත් සිතිය යුතුයි. ඩොලර් මිලියන 50ක් අපිට ගෝලීය ප්‍රවර්ධනය සඳහා තිබෙනවා. තව මාසකින් පමණ මේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරනවා. අපගේ පරම්පරාව තුළ සම්ප්‍රදායික මාධ්‍යයෙන් ඔබ්බට ගොස් අද සමාජ මාධ්‍ය තිබෙනවා. විවිධ ප්‍රවර්ධන මාර්ග තිබෙනවා. ඒ නිසා සම්ප්‍රදායික ප්‍රචාරක ව්‍යාපාරයට විශාල මුදලක් යනවා නම් එයින් තුනෙන් එකක් හෝ සමාජ මාධ්‍ය සඳහා යන්නේ නැහැ. අපි මේ සමාජ මාධ්‍ය හරහා ලෝකයටම අපේ තේ සම්බන්ධයෙන් ප්‍රචාරය කරන්න අපේක්ෂා කරනවා.

ඉතාම දැඩි රෙගුලාසි තේ මණ්ඩලය හරහා නිකුත් කරනවා. මේ තේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න එය කරනවා. තේ වෙළඳුන් තේවල ගුණාත්මක බව වැඩි කරනවා. අපේ තේ සමාගම් 7ක් 8ක් චීන වෙළෙඳ පොළ අල්ලන්න සූදානමින් ඉන්නවා. අපේ තේ සඳහා කිසිදු තහනමක් නොමැති බවට එරට ඇමැතිවරයෙක් ප්‍රකාශ කළා. අපේ පරම්පරාව කොළ සහ කළු තේ බොනවා. අපේ වෙළඳපළක් නැතිවෙනවා නම් එය චීනයෙන් ගන්න පුළුවන්. අපේ තේවලට එම්.ආර්.සී.පී යොදා ජපානයට අපේ තේ යවන එක නතර කරන්න උත්සාහ කළා. වල් නාශක වෙනුවට පාවිච්චි කරන විකල්පය නිසා යම්කිසි අහිතකර තත්ත්වයක් ඇතිවන්න පුළුවන් කියා ජපානය අපිට කිවුවා. ඒ නිසා තේ කර්මාන්තයට පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න හැකියාව ලැබුණා. ඒ අනුව මෙය ගැසට් පත්‍රයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විශාල සමාගම්වලට හා කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබාදීමට යම්කිසි යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. අපේ තේ මණ්ඩලය රෙගුලාසි ඉදිරිපත්කර තිබෙනවා. තේවල තිබෙන පවිත්‍රතාව ආරක්ෂා කර ගන්න එම රෙගුලාසි ඉදිරිපත්කර තිබෙනවා.

තේ කම්හල් 53කට පමණ අපේ නිලධාරීන් කඩා පැන සීනි මිශ්‍ර බවට ඔප්පුකර තිබෙනවා. අපි ඒ තේ කම්හල් සමඟ සමීපව කටයුතු කරමින් තේ පර්යේෂණ ආයතනය හරහා සීනි තිබිය යුතු ප්‍රමාණය විද්‍යානුකූලව ඔප්පු කිරීමට කටයුතු කරනවා. සීනි මිශ්‍ර කිරීම කරනවා නම් අනාගතයේ එය නොකරයි කියා හිතනවා. කසළ තේ කරන ගම්පල කම්හල් 12කට අපි අවසරය දී තිබෙනවා. එම තේ පරීක්ෂා කොට වෙළෙඳපළට ඉදිරිපත් කළහැකි මට්ටමට තිබෙනවා නම් පමණක් අපේ තේ වෙන්දේසියට දෙන්න අවසරය ගෙන තිබෙනවා. මෙය තේ සම්බන්ධයෙන් ගත් හොඳ තීරණයක්. තේ සම්බන්ධ නැවත වගාව ඉතා වැදගත්. වසරකට සියයට 2ක් පමණ වියයුතු වෙනවා. නමුත් එසේ වෙන්නේ නැහැ. සියයට 1ක් පමණයි වෙන්නේ. මේ සඳහා ඩොලර් මිලියන 65ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරියේ දී එය ශක්තිමත් කරන්න අපේක්ෂා කරනවා.

ගිය වසරේ රුපියල් මිලියන 450ක මුදලක් දී තිබෙනවා. මිලියන 1,500ක පොහොර සහනාධාර දී තිබෙනවා. පොහොර මිටිය රුපියල් 1,500 ට දෙන්න කටයුතු කරගෙන යනවා. මේ මිල ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන නිසා විශාල තේවතු හිමියන් ද තේ වගා කිරීමට කටයුතු කරනවා. අපගේ තේ මණ්ඩලය ශක්තිමත් ආයතනයක්. මීට වඩා ප්‍රමිතියෙන් හොඳ තේ අපිට නිපදවන්න හැකිවෙයි. ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම හරහා මේ කටයුතු හොඳින් කරගෙන යන්න හැකිවෙයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එ.ජ.නි.ස)- තේ කර්මාන්තය මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන දෙන ක්ෂේත්‍රයක්. මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි පිරිසක් මේ ක්ෂේත්‍රයේ ජීවත් වෙනවා. මේ ක්ෂේත්‍රය පිළිබඳ රට පාලනය කළ කිසිදු රජයක් හරියට ඉදිරියට ගෙනයන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. තේ ක්ෂේත්‍රය ගත්විට මේ රටේ හෙක්ටාර 220,000ක් 2015 වනවිට වගාකර තිබෙනවා. 2004 වසරේ දී කිලෝග්රෑම් මිලියන 300ට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට යවා තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ තේ මණ්ඩලය සහ වතු පමණක් නොව සේවකයන් ද නවීන් දිසානායක ඇමැතිවරයා යටතට පත්විය යුතු වෙනවා. සේවකයා තෘප්තිමත් නම් පමණක් ආයතනයක් යන්න පුළුවන්. මෙය රජය විසින් ගන්නා තීන්දුවක්. වතුවල ශ්‍රමිකයන් දැඩි කලකිරීමකින් ඉන්නවා. අපේ තිබූ රාජ්‍ය වතුවලින් හොඳම වතු ප්‍රමාණයක් පෞද්ගලික අංශය විසින් නඩත්තු කරනවා. හොඳම වතුටික දැන් නරකම වතු බවට පත්වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා (එ.ජා.ප) - 1824 දී ශ්‍රී ලංකාවේ මුල්ම තේ පැලය පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී සිටුවා තිබෙනවා. වසර 150ක පමණ ඉතිහාසයක් එයට තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් විශාල ප්‍රමාණයකට මේ රටේ තේ නිෂ්පාදනය දායක වෙනවා. ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මේ කර්මාන්තයෙන් සෘජුවම ප්‍රතිලාභ ලබනවා. මේක කඩාවැටීගෙන පැමිණි කාලයක් තිබුණා. නිෂ්පාදනය කඩාගෙන වැටුණා. නමුත් අද වනවිට හොඳ මට්ටමට ගෙනවිත් තිබීම සම්බන්ධයෙන් අපි ගෞරවය පිරිනමනවා. තේ නිෂ්පාදනය 2016 දී කිලෝ ග්රෑම් මිලියන 292ක් වුණා. කිලෝ ග්රෑම් මිලියන 300ට වැඩි ප්‍රමාණයක් 2017 වසරේ දී නිෂ්පාදනය කර තිබෙනවා. තේ කිලෝ ග්රෑමයක් නිෂ්පාදනය කරන්න රුපියල් 478ක් පමණ වැයවෙනවා. 2016 වනවිට 473 බවට පත්ව තිබෙනවා. කඩා වැටුණු තේ කර්මාන්තය අද වනවිට නඟාසිටුවන්න හැකිව තිබෙනවා. ඩොලර් මිලියන 1530 දක්වා තේ අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා.

තේ ටොන් ලක්ෂ 3ට ආසන්න ප්‍රමාණයක් විදේශ රටවලට අපනයනය කරනවා. පසුගිය කාලයේ වැඩි පොලියට ගත් ණය ගෙවන්නෙත් යළි යළිත් ණය ගැනීමෙන්. තවත් ණය නොගෙන විදේශ විනිමය වැඩිකර ගන්න අවශ්‍ය වී තිබෙනවා. පූර්ණකාලීන අධ්‍යක්ෂවරයෙක් මේ ක්ෂේත්‍රයට පත්කරන්නට රජය පියවර ගෙන තිබෙනවා. එම තනතුර වසර තුනක් සඳහා වෙනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස) - තේ කර්මාන්ත අපිට විශාල වශයෙන් විදේශ විනිමය ලබාදෙනවා. අති විශාල පිරිසක් මේ කර්මාන්තයේ සේවය කරනවා. වැඩ අධ්‍යක්ෂවරයකු පත්කර ගැනීමේ දී දේශපාලනයෙන් ඔබ්බට ගොස් ක්ෂේත්‍රයේ නිපුණතාවයක් ඇති අයෙක් පත්කර ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. විවිධ නිර්ණායතයන් පදනම් කරගෙන විවිධ ආයතනවලට නිලධාරීන් පත්කර ගන්නවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා (එ.ජ.නි.ස) - තේ නිෂ්පාදන අඩුවන්න හේතුවක් තමයි පොහොර ප්‍රමිතියකින් තොර වීම. අද වනවිට අක්කරයකින් තේ නිෂ්පාදනය පහත වැටී තිබෙනවා. ඒ වඟේම නැවත වඟාව හොඳින් සිදුවන්නේ නැහැ. රුපියල් 15, 000ක් පවැති දිරි ගැන්වීමේ දීමනාව පසුගිය රජය විසින් රුපියල් 50, 000 දක්වා ඉහළ නංවන්න පියවර ගත්තා.

වල් නාශක තහනම නිසා මාස තුනකට වරක් පමණ අක්කරයක් සුද්ද කරනවා. අද සමාගම් 220ක් පමණ අපේ රටේ තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් තේ වෙළඳපළ අල්ලාගෙන තිබෙනවා. සිංහයා ලකුණට ලෝකයේ හැම රටකම වාගේ පිළිගැනීමක් තිබෙනවා. පසුගිය දිනවල කටුපොල් වගාව සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව නිරාකරණය කරන්න ලබාදුන් සහාය සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. අද වනවිට අපේ ප්‍රදේශ නායයාමේ අවදානමක් තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එ.ජා.ප) - ජාතික ආදායමට අපේ කෝට්ඨාසයෙන් ඉහළ දායකත්වයක් ලබාදෙනවා. නාවලපිටිය ආසනයේ වැඩිම කුඩා තේවතු හිමියන් ප්‍රමාණයක් ඉන්නවා. වසා දැමූ තේ කර්මාන්ත ශාලා අපේ කොට්ඨාසයේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ කොට්ඨාසයේ වගාකරන තේ වෙනත් ප්‍රදේශවලට යොමු කරන්න සිදුව තිබෙනවා. ඒ නිසා මේ කර්මාන්තය ගැන අවබෝධයක් ඇති ඇමැතිවරයෙක් ලෙස මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස නවීන් දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එ.ජා.ප) - තේ වතුවල නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළයුතු වෙනවා. පර්චස් 7 බැඟින් ලබාදෙනවා වෙනුවට මහල් නිවාස ලබාදෙන්න පුළුවන් නම් ඒ කෙරෙහි අවධානය යොමුකරන එක වඩා ඵලදායි වෙයි. අපි අනාගතය ගැන කල්පනා කරනවා නම් තේ වතු ප්‍රමාණය අවම කරගත යුතු නැහැ. ජාත්‍යන්තර තේ අලෙවියේ දී අපේ තේ වැඩි ප්‍රමාණයක් අලෙවිකර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළයුතු වෙනවා. තෝරාගත් පිරිසකට සිලෝන් ටී තානාපතිවරුන් පත්කරන්න හැකි නම් මේ සඳහා වැදගත් වෙනවා.

රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එ.ජ.නි.ස) - තේවලට සීනි මිශ්‍රණ කරනවලු. තේවල කෙතරම් සිනි ප්‍රමාණයක් තිබිය යුතුද ?

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා - තේවල තිබිය යුතු සීනි ප්‍රමාණය සඳහන් වී නැහැ. ඒ නිසා පර්යේෂණායතනය මඟින් මේ සඳහා පර්යේෂණ කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එ.ජ.නි.ස) - සමාගම්වලට දී තිබෙන රජයේ ඉඩම් සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. මේ වතුවලින් ලැබුණු දැවැන්ත ලාභය කෙසේ ද. මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලාබගෙන ඇතැයි සිතනවා. මේ සමාගම්වලට දුන් රජයේ ඉඩම් අද මහා විනාශයකට ගොස් තිබෙනවා. එසේ නම් සමාගම් වෙත රජයේ ඉඩම් ලබාදෙන්නේ ඇයි. ආණ්ඩුවේ බදු මුදල හෝ හරියට ගෙවා නැහැ. මේ රටේ ජාතික සම්පත් වංචා කරමින් සමාගම් කටයුතු කරනවා. තේ වගාකොට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්. අපිට ලංකාවේ තේ නිෂ්පාදනය දෙගුණයක් කරන්න පුළුවන්.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එ.ජා.ප) - පසුගිය කාලයේ තේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තිබුණා. කටුපොල් මේ රටේ වගාකරන්න එනවිට එදා රජය විසින් හඩ නඟන්න තිබුණා. මේ කටුපොල් වගාකිරීම නිසා ඒ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම පරිසරය විනාශ වී තිබෙනවා. අද වනවිට තේ කිලෝව රුපියල් 100 ට එහා මිලට ගන්නවා.

ශ්‍රී ලංකා තේ මණ්ඩල සංශෝධන පනත තෙවැනි වර කියවීම සංශෝධන රහිතව සම්මත විය.

අද (25) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.


 'ශීලාචාරව හැසිරෙන්න' කතානායක විමල්ට කියයි

පාර්ලිමේන්තු කටයුතු විගඩමක් කර නොගෙන ශීලාචාරව හැසිරෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා පෙරේදා (23) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කරමින් කියා සිටියේය.

ජාතික පාරිභෝගික පනත යටතේ වන නියමයන් හතක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ස්ථාවර නියෝග ප්‍රකාරව කරන ලද විමසීමක් පදනම් කරගනිමින් කතානායකවරයා එසේ පැවැසීය.

ශීලාචාරව හැසිරෙන්න. මේක ශීලාචාර ස්ථානයක්. පාර්ලිමේන්තුව විගඩමක් කරගන්න එපා. මම හැමෝටම අවස්ථාව දුන්නා. එකපාරක්, දෙපාරක්, තුන්පාරක්. අද තියෙන්නේ ජාතික පාරිභෝගික පනත යටතේ නියමයන් හතක් විවාද කිරිම. මුලින්ම කතානායකවරයාට ඉඩ දෙන්න. මම අවස්ථාව දෙන්නම් යනුවෙන් කතානායකවරයා විමල් වීරවංශ මහතාට අවවාද කරමින් කියා සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...