කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පරිපාලන ඒකකය ප්‍රේක්ෂකාගාරය සිසු අයිතියට පත් කළ වගයි.... | දිනමිණ

කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පරිපාලන ඒකකය ප්‍රේක්ෂකාගාරය සිසු අයිතියට පත් කළ වගයි....

කැලණිතිස්ස රජු දවස ශ්‍රී ලංකා දිවයිනේ කැලණි පුරවරය වසාගෙන ගොඩ ගැලූ මහ මුහුදින් රට බේරා ගත් වීරවත් මහා දියණිය විහාරමහා දේවියගේ නමින් නම් ලද කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විද්‍යාලය සිසුවියන්ගේ නැණ පහන දල්වන දිඳුළන තක්සලාවකි.

1977 පෙබරවාරි මස 01 වැනි දින අමරා වික්‍රමසිංහ ප්‍රධාන ගුරු මහත්මියගේ සෙනෙහස ලබමින් ආරම්භ වූ මේ බාලිකා විද්‍යාලය මේ වන විට ශ්‍රී ලාංකීය පාසල් අඹරේ වැජඹෙන තාරකාවක් බඳුය.

සිසුවියන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලය සිව්මහා ප්‍රජා පිරිසකගේ සහාය ලබමින් කිරිබත්ගොඩ නගරයට ආලෝකයක් හා ශක්තියක් බඳු විහාරමහා දේවී බාලිකාවේ වත්මන් විදුහල්පතිනිය අනෝමා ශ්‍යාමලී අබේරත්න මහත්මියයි.

මේ වන විට පාසල් ලොවේ වඩාත් දියුණු අංගෝපාංගවලින් සමන්විත මේ විද්‍යාලයට 2008 වසරේ දී පිහිනුම් තටාකයක් ද ඉදි වූයේ ලොවට අවැසි දිරිය දියණියන් බිහි කිරීමටය. මේ දැවැන්ත කාර්යයෙන් පසුව කාර්ය මණ්ඩලයට හා ආදි ශිෂ්‍ය සංගමයට අවශ්‍ය වූයේ අංගසම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදි කර බාලිකාවන්ට ශක්තියක් දීමටය. එය සිහිනයක් පමණක් වීමට ඉඩ නොදී විශේෂයෙන් ආදි ශිෂ්‍යාවන් විසින් ඊට අවශ්‍ය පිඹුරුපත් සැකසීම ආරම්භ කළේ වසර කිහිපයකට පෙරය. ඒ අනුව මේ දිරිය කතුන් මවුපියන් හා සම්බන්ධ වෙමින් ඒ සිහිනය ද සැබෑ කරගැනීමට දැරූ වෙහෙස අප්‍රමාණ බව ද හෙළි වේ. ආදි ශිෂ්‍ය සංගමයේ සිහිනය සැබෑ කරමින් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර 2016 ජූනි මස 24 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් එය විවෘත කරන ලදී.

එහෙත් මේ කාර්යය මුළුමනින්ම මල්ඵල ගැන්වීමට නම් ඊට ප්‍රේක්ෂකාගාරයක් ද අවශ්‍ය බව පසුව තේරුම් ගත් ආදි ශිෂ්‍යාවන් විදුහල්තිනියගේ ද උපදෙස් මත ප්‍රථම අදියර සේම දෙවන අදියර ද සාර්ථක කරගැනීමට සක්‍රීය දායකත්වයක් දක්වමින් ඊට අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නා ලදී. 2016 ඊට මුල්ගල තබන්නට සමත් වූ මොවුන්ට වසර දෙකකට ආසන්න කාල සීමාවක දී නොයෙක් මතවාද හා තර්ක විතර්ක මධ්‍යයේ සාර්ථක අන්දමින් එය ගොඩනඟන්නට සමත්වීම කාන්තා ධෛර්යය ප්‍රදර්ශනය කිරීමකි. මේ ප්‍රේක්ෂකාගාරය ඉදි කිරීමට ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන් විසින් ශ්‍රමය සේම මූල්‍යමය දායකත්වය ද දැක්වීම ප්‍රථම අදියරේ සේම දෙවන අදියරේ ද විශේෂත්වයකි.

විශේෂයෙන් 2017-2018 වසරේ ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිනී අචලා තිසරු ධර්මවික්‍රම මහත්මිය මේ සඳහා සිය සාමාජිකාවන් සමඟ ගත් අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵල හේතුවෙන් නව ප්‍රේක්ෂකාගාරය පසුගිය 22 වැනි දින විවෘත වූයේ විදුහල්පතිනී අනෝමා අබේරත්න මහත්මිය අතිනි. එය නම් කර ඇත්තේ ද අනෝමා අබේරත්න ගෘහස්ථ ක්‍රීඩාගාරය නමිනි. මේ නව ප්‍රේක්ෂකාගාරය මුළුමනින්ම වරලත් සිවිල් ඉංජිනේරු චාරුක හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් ඉදි වූවකි. මෙය සැබැවින්ම විහාරමහා දේවී බාලිකාවට සම්පතක් බඳු වස්තුවකි.

රටට අවශ්‍ය දිරිය දියණියන් බිහි කිරීමට විහාරමහා දේවී බාලිකාව දරණ ඉදිරි පියවර සැබැවින්ම ප්‍රශංසනීයය. විශේෂයෙන් විදුහල්පතිනී අනෝමා අබේරත්න මහත්මිය ඒ සඳහා උනන්දුවෙන් හා කැපවීමෙන් සිදු කරනා මෙහෙය අති ගෞරවනීය වන අතර ආදි ශිෂ්‍ය සංගමයේ වර්තමාන සාමාජිකාවන් ද ඊට එක් වී කරනා සේවය මුළු රටටම සේම පාසල් ලොවටම කදිම ආදර්ශයකි.

 

 


නව අදහස දක්වන්න

Or log in with...