මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය නිත්‍යානුකූල ආකාරයෙන් ක්‍රියා කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අධිකරණයේ කරුණු දක්වමින් මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තාව සහ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ බව කියා සිටියේය.
පරීක්ෂණවලින් අනාවරණය කරගත් තොරතුරු රහස් පොලිසිය විසින් අධිකරණය වෙත වාර්තා කළ බවත් සැකකරුවන්ට ඇප ප්රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීමේ දී මහේස්ත්‍රාත්වරිය ඉදිරිපත් වී ඇති කරුණු මත පදනම්ව ඉතා නිවැරදිව ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය නිකුත් කර ඇති බවද කෝදාගොඩ අධිකරණය හමුවේ කියා සිටියේය.
අනතුරුව රජයේ පාර්ශවය වැඩි දුර කරුණු දැක්වීම ජුනි මස 01 වන දාට කල් තැබිණි.
නව අදහස දක්වන්න