ඊළඟ ඇමතිට අලි-මිනිස් ගැටුම නොදෙන්න උත්සාහ කරනවා | දිනමිණ

ඊළඟ ඇමතිට අලි-මිනිස් ගැටුම නොදෙන්න උත්සාහ කරනවා

දුමින්ද සම්පත්

වනජීවි අමාත්‍යාංශයේ කාර්යභාරය, අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීම, සතුන්ගෙන් සිදුවන වගා හානි, රණවිරු සැමරුම ගැන පවතින විවේචන, ලසන්ත ඝාතනය,කීත් නොයාර්ට පහරදීම ආදිය පිළිබඳ එල්ලවන චෝදනා, 20 සංශෝධනය ආදිය පිළිබඳ අදහස් දක්වමින් තිරසර සංවර්ධන වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැති හමුවට එක් වේ.

* යාල වාහනවල විනය ප්‍රශ්නයක් තියෙනවා
* මහින්ද රාජපක්ෂ රණවිරුවන් සැමරුවෙ යුද්දෙ දිනපු අය ගෙදර යවලයි
* වගා හානි කරන සතුන් පාලනයට ක්‍රමයක් ඕන
* යුද්ධය දරුණු කාලෙ ගෝඨා ඇමරිකාවෙ පුරවැසිකම ගත්තා

යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට ඉතුරු කරන්නෙ නැහැ කිව්වෙ ඔබ, කාලයක් තිස්සේ පවතින අලි-මිනිස් ගැටුමගැන මොකද කියන්නෙ

තවත් ඇමති කෙනෙකුට මේ ප්‍රශ්නය ඉතිරි නොකරන්න වැඩ කරන්න මට පුළුවන්. මට ලැබිල තියෙන කාලය ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වෙලා.

අමාත්‍යංශයට අවුරුදු 70ක් විතර වෙනවා. ඒ කාලය පුරාම මේ ප්‍රශ්නයත් ඇවිත් තියෙනවා.දවසක් හැර දවසක් මිනිහෙක් මැරෙනවා, අල‍ියෙක් මැරෙනවා. මම මේ අමාත්‍යංශය බාරගෙන මාසයක්වත් නැහැ.අලි තුන්දෙනෙක් මැරිල එක අලියෙකුට වෙඩි වැදිල බෙහෙත් කරනවා. අලි ගහල මිනිස්සු පස්දෙනෙක් මැරුණා. මේක සරත් ෆොන්සේකාගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ජාතික ප්‍රශ්නයක් විසඳන්න රජයෙ සහාය අවශ්‍යයි. දැනට මගෙ අවශ්‍යතාවන් මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා.

යුද්ධයෙදි සැලසුම් සකස් කළා වගේ මේ ගැටලුවට විසඳුම් හොයන්න ඔබේ සැලැස්ම මොකක්ද?

අමාත්‍යංශයට අවශ්‍ය සම්පත් ලැබෙන්න ඕන. අවශ්‍ය මිනිස්සු අමාත්‍යංශයට බඳවාගෙන වැඩ කරන්න කාලයක් යනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ ඔක්කොම ඉන්නෙ 2000 යි. කැලේ වැඩ කරන්න, විදුලි වැටවල්වල වැඩ කරන්න පුළුවන් අය ඉන්නෙ 1000 යි. සේවක 3000කවත් අඩුවක් තියෙනවා. ඒ හින්ද මම ජනාධිපතිතුමාට කිව්ව පුළුවන්නම් ස්වේච්ඡා හමුදා භටයො 3000ක් දෙන්න කියල.එක් ලක්ෂ හැත්තෑපන්දාහක හමුදාවක් ඉන්නවා. දැන් යුද්දෙකුත් නැහැ. ජනාධිපතිතුමා සිවිල් ආරක්ෂක හමුදා භටයො දෙන්නම් කියල කිව්වා. ඒ අය ඉක්මනින් ලැබු‍ණොත් මගේ වැඩ කොටස ආරම්භකරන්න පුළුවන්. ජනතාවගෙ සහායත් අවශ්‍යයි. මියගිය පස්දෙනාගෙන් එක්කෙනෙක් බීමතින් ගිහින් අලිය ගහල. තුන්දෙනෙක් සංරක්ෂිත කැලෑවට ගිහින් අලි ගහල. මේ හින්ද ජනතාව මීට වඩා විමසිලිමත් වෙන්න ඕන.

යාල, උඩවලව, පින්නවල පහුගිය කාලෙ ගැටලු රැසක් මතු වුණා. විශේෂයෙන් සංචාරකයන් බොහෝදෙනෙක් මේනිසා අපහසුතාවයට පත් වුණා. මේවට විසඳුම් ගේන්නෙ කොහොමද?

උඩවලව ගැටලු ගොඩක් නැහැ. ප්‍රමාදවීම්, උද්‍යාන ඇතුලෙ වාහන වැඩිවීම වගේ ගැටලු තමයි තියෙන්නෙ. යාල ගැටලු වැඩියි. යාල ජීප් රථම දාහක් ලියාපදිංචි වෙලා. ජීප්රථ පනහක් එක් අයෙකුගෙ නමින් ලියාපදිංචිවෙලත් තියෙනවා. යාල වාහන වැඩියි. මේ නිසා සත්තු පීඩාවට පත් වෙනවා. ජීප් රථ 4ක් වලහෙක්ව වටකරගෙන ඉන්න පින්තූරත් මම දැක්ක. ලෝකෙ කොහෙවත් එහෙම වෙන්නෙ නැහැ. මේ යන අයගෙ විනය පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා. යාලට තව පිවිසුම් දොරටු අවශ්‍යයි. ඒ වගේම නැරඹුම් ප්‍රදේශය වැඩි කරන්න ඕන. මේව කරන්න මුදල් ප්‍රශ්නයක් නැහැ. ටික කාලයක් ගතවෙයි. අඩුම තරමින් මාස 06කින් මේ ටික කරන්න පුළුවන් වුණොත් ලොකු ජයග්‍රහණයක්. පින්නවල ගැන පැමිණිලි තියෙනවා. ඒ ගැන හොයන්න මම පින්නවලට යනවා. බෙල්ලන්විල අලියට හොඳටම වද දෙනව කියලත් පැමිණිල්ලක් ලැබුණා. මේ හින්ද සතුනගෙ නිදහස ගැන මීට වඩා සොයා බලන්න වෙනවා.

සත්තු නිසා මිනිසුන්ගෙ වගා හානියට පත්වෙනවා. වඳුරන්, ඌරන්, රිළවුන් ,මොණරුන් වගේ සත්තු ගෙවතු වගාවට කරන හානිය බරපතලයි.

සතුන්ගෙන් සිදුවෙන වගාහානි ගැනත් පැමිණිලි ගොඩක් තියෙනවා.සත්ත්ව ගහණයවැඩි නම් ඒක පාලනය කරන්න වෙනවා. සුනඛයන්ගෙ බෝවීම වැඩි නම් ඒව පාලනය කරන්න ක්‍රම තියෙනවා. මේ සත්තුන්ගෙ බෝවීම පාලනය කරන්න බැහැ. සත්තු මරන්න විරුද්ධ වුණත් යම් පාලනයක් කරන්න වෙනවා. ගම්වල සමහරු වායු රයිෆල් ඉල්ලනවා. මේ ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න වෙනවා.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයෙන් ජනතාවට වෙච්ච සෙතක් නැහැ කියලත් කියනවා.

අමාත්‍යංශයෙ තිබුනු සියලු සම්පත්වලින් ජනතාවට තමයි සේවය කළේ. අමාත්‍යංශය බාරගෙන මාස දහයක් යනකන් මට වාහනයක්වත් තෙල්වත් දුන්නෙ නැහැ. දැන් අවුරුදු දෙකක් තිස්සෙ රජයෙ වියදමින් මම විදෙස් සංචාර කරල නැහැ. මට මුදල් දුන්න ආකාරයට මම ඒව ජනතාවට දුන්න. ආරම්භක අවුරුද්දෙ ලැබුණෙ රුපියල් මිලියන 150 යි. ගිය අවුරුද්දෙ රුපියල් මිලියන 600 යි. මේ ඔක්කොම හැම දිස්ත්‍රික්කයකටම යොමු කළා. ස්වයංරැකියා ආධාරවලට වැඩි වශයෙන් මුදල් යෙදෙව්වා.

අල්ලස දූෂණය නැති කරන්න ආපු ආණ්ඩුවට බැඳුම්කර චෝදනා එල්ල වුණා. රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට පත් වුණා. දැව සංස්ථා සභාපති ලෙස චුදිතයෙක් පත් කළා. ඇයි මෙහෙම වුණේ?

බැඳුම්කර චෝදනාවලට පරීක්ෂණ සිද්ධ වුණා. ඒ අයට නිසි දඬුවම් ලැබුණොත් රජයට වෙච්ච හානිය යථා තත්ත්වයට පත්වෙයි. ඉස්සර එහෙම වුණේ නැහැ. කලින් ජනාධිපතිගෙ නහය යටම හිටපු ලේකම් හිරේ ගියා. දූෂිත මිනිස්සු ආණ්ඩු මාරුවෙනකොට කූඩැල්ලො වගේ මාරු වෙනවා. එල්ලිල ඉන්නවා. ඔය අහු වුණේ දෙන්නයි. ඊට වැඩි පිරිසක් මේ ආණ්ඩුවෙ වැඩවල තවමත් ඉන්නවා. මම ඒව අනුමත කරන්නෙ නැහැ.

අල්ලස, දූෂණය, මිනීමරුවන්ට දඬුවම් කිරීම ප්‍රමාද වෙලා. මේ යට දේශපාලන ඩීල් තියෙනව කියල තමයි කියන්නෙ.

2015 ජනවාරි 08 ජනතාවට අපි පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දු ඉටු නොකිරීම ගැන රටේ නායකයගෙ ඉඳල පල්ලෙහාට අදාළ අය උත්තර දෙන්න ඕන. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් නිදහසට කාරණා පෙන්නන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, පොලිසිය මේව බාරව ඉන්න මැති ඇමැතිවරු මේවට වග කියන්න ඕන. විශේෂ අධිකරණය ගෙනාව. දැන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඕව ගැන අපිත් කලකිරිලයි ඉන්නෙ.

රටේ ආරක්ෂාව බිංදුවට වැටිල කියල ගෝඨාභය රාජපක්ෂ මහත්තය කිව්ව. මේ කතාව ඇත්තද?

යුද්දෙ උග්‍රව යන කාලෙ ඔය පුද්ගලය රටේ හිටියෙත් නැහැ. අපි යුද බිමේ ලේ, දහඩිය කඳුළු වගුරනකොට එයා රටින් පැනල ගිහින් හිටියෙ. එතකොට රටේ ආරක්ෂාව බිංදුවෙද දහයෙද තිබුණෙ කියල හෙව්වද? දෙමව්පියො දෙන්න එක බස් එකේ යන්නෙ බයෙන්, දරුවෙක් පාසලට යවන්නෙ බයෙන්, රටේ මිනිස්සු යුද බියෙන් හිටිය කාලෙ එතුමා අමෙරිකාවෙ ගිහින් ඇමෙරිකානු ධජය යටතේ ඇමෙරිකාවෙ ආරක්ෂාව වෙනුවෙන් අවි අතට ගන්න ලෑස්තියි කියල දිව්රුවා. ඇමෙරිකාවෙ පුරවැසිභාවය ගත්තා. එහෙම මානසිකත්වයක හිටපු මිනිහෙක්ට එකපාරට දේශප්‍රේමීත්වයක් එන්න පුළුවන්ද? රටේ ආරක්ෂාව ගැන දැනුමක් තියෙන්න රට තිබුණ තැන ගැන දැනුමක් තියෙන්න එපැයි. සිරිමා බෝධියට, දළදා වහන්සේට පහර දෙනකොට නිදාගෙන හිටපු මිනිහෙක්ට ආගම ජාතියගැන කතා කරන්න අයිතියක් තියෙනවද? ඔය කිඹුල් කඳුළු ගැන ජනතාව තේරුම් ගන්න ඕන.

උතුරේ ආරක්ෂාව ගැන ඔබ මොකද කියන්නෙ?

උතුරේ දේශපාලනය දැන් කියන්නෙ එකට ජීවත්වෙන්න ඕන කියල. විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම බුද්ධිමත්. දේශපාලන වාසි ගන්න පිරිසක් කොටි එනව කියල ජනතාව බියගන්වල මුලා කරන්නයි හදන්නෙ. දකුණේ අයට වගේම උතුරෙ අයටත් රජය විවේචනය කිරීමේ අයිතිය තියෙනවා. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ඔය කරන්නෙ උතුරෙ ජනතාව ගැන දකුණේ අයගෙ හිතේ වෛරයක් ඇති කිරීම. එහෙම වෛරයක් ඇතිවෙලා ගිනි ගත්තොත් ඒකෙන් දේශපාලන වාසි ගන්නයි හදන්නෙ. රටට ආදරේට කරන දෙයක් නෙවෙයි.

මුලතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් වලදි යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් සැමරීම ගැන දකුණේ ලොකු විවේචන එල්ල වුණා?

සාමාන්‍ය ජනතාවත් යුද්ධයෙන් මිය ගියානෙ. ඒ අය සැමරීම වරදක් නැහැ. හැබැයි ත්‍රස්තවාදීන් සමරනවනම් ඒක අනුමත කරන්න බැහැ. දෙවන ලෝක යුද්දෙදි ඇමෙරිකානු බෝම්බ දාල ජපානෙ මිනිස්සු මැරුණා. ඒ වෙලාවෙ ඇමෙරිකා‍වයි ජපානයයි හතුරො. අද ඒ දිනේ ජපානෙ සිහිපත් කරනකොට ඇමෙරිකානු නියෝජිතයොත් ජපානයට යනවා. යුද්දෙන් සිංහල අයත් දෙමළ අයත් මැරුණා. ඒත් අපි හතුරොවගේ ඉන්න එක සදාචාරාත්මක නැහැ.

රණවිරු සැමරුම ආණ්ඩුව උත්සවශ්‍රීයෙන් කළේ නැහැ. රණවිරුවන් හෑල්ලුවට ලක් කළා කියලත් කියනවා?

රණවිරු අධිකාරිය යටතේ රටේ හැම පලාතකම ඒ කටයුතු සිදුවුණා. පෙළපාලි යන එක වියදම් අධිකයි. පෙබරවාරි 04 අපි පෙළපාලි යනවනෙ. රට ජාතිය වෙනුවෙන් කැපකිරීම් කරපු විරුවන් සමරණ එක අපි කරනවා.

මහින්ද රාජපක්ෂ මහත්තය වෙනම රණවිරු සැමරුම් කළේ ආණ්ඩුවෙ වැඩ සටහන දුර්වල නිසා නේද?

එතුමා ඉස්සරත් රණවිරුවො හොඳටම සැමරුවනෙ. හමුදාපති හිරේ දාල, හමුදාවෙ හිටපු ජෙනරාල්ල දහ දෙනෙකුයි,බ්‍රිගේඩියර්ල දහදෙනෙකුයි, කර්නල්ල දහ දෙනෙකුයි තවත් කනිෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුයි විශ්‍රාමවැටුපත් නැතුව ගෙදර යවල රණවිරුවො සැමරුව. එතුමගෙ දරුවොත් රණවිරුවො සැමරුවනෙ. කාර් රේස් යන්න හමුදාව දාල වැලි කොට්ට ලක්ෂ ගණන් පාර අයින්වල ගැස්සුව. ගෝඨාභය රාජපක්ෂත් තණකොළ කපන්න පිඩලි ගහන්න කාණු සුද්ද කරන්න රණවිරුවො අරගෙන සැමරුවා.

යුද්ධය නිමා කරල පැවති උත්සවයෙ කේක් ගෙඩිය කැපුවෙ ඔබ. වසර නවයකට පස්සෙ ඔබට මොකද හිතෙන්නෙ?

රටේ ජාතික ප්‍රශ්නෙට අපි කරදුන්නෙ රැකියාවක් හැටියට හිතාගෙන නෙවෙයි. දවසෙ පැය 24ම අපි යුධ පිටියෙ හිටියෙ. කිලෝ දෙකක විතර පුංචි කේක් එකක් තිබුණෙ. ගෝඨාභය අතටත් පිහිය ගියා මහින්ද රාජපක්ෂ අතටත් ගියා. අන්තිමට සුදුස්ස මම කියල මහින්ද රාජපක්ෂ මහත්තයම තමයි මට කිව්වෙ කේක් ගෙඩිය කපන්න කියල. ඒ කේක් ගෙඩියෙ වටිනාකම ඒ වෙනකොට ඒ අයටතේරිල තිබුණෙ නැහැ. අපි සාම්පූර් ඇල්ලුවම කැපුවෙ කිලෝ දහයක විතර එකක්. නැගෙනහිර ඇල්ලුම කිලෝපහක විතර එකක්. යුද්දෙ දිනුවම කේක් එක පුංචිවුණා. ඔහොම තමයි කේක් කැපුවෙ.

ආබාධිත හමුදා සාමාජිකයො පාරට බැහැල උද්ඝෝෂණ කරන තත්ත්වයට පත්වුණා. ඇයි එහෙම වුණේ?

ඇඳට සීමා වෙච්ච ආබාධිත රණවිරුවො 3000ක් විතර ඉන්නවා. තව දස දහසක් විතර ආබාධිත වෙලා ඉන්නවා. යුද්දෙ අන්තිම අවුරුදු තුනේදි විතරක් 27000ක් තුවාල ලැබුවා. මේ ඔක්කොම පාරට බැස්සෙ නැහැනෙ. ඔය බැස්සෙ දේශපාලනය කරපු අය. අදටත් පොහොට්ටුවට දේශපාලනය කරන අය ඔතන ඉන්නවා. ඔය පාරටආපු අයගෙ තියෙන්නෙ දේශපාලන ගමනක්. ඔය පිටුපස හිටපු සමහර හාමුදුරුවරුත් අන්ත දූෂිතයි. එතන ඉන්නෙ සියයක විතර පොඩි කණ්ඩායමක්.

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්නයි හදන්නෙ. 2015 ජනවාරි 08 ජනතාවට දුන්න පොරොන්දුව ඉටුකරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් නේද?

මගේ පුද්ගලික මතය විධායක ජනාධිපති ධුරයෙ බලතල අඩුකරල පවත්වාගන්න ඕන. මම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ නායකය ලෙස ඉන්නකොට 2013 දී අපේ ප්‍රතිපත්ති මාලාව එළි දැක්වූවා. ඒකෙ තියෙනවා ඔය කතාව. මගේ පුද්ගලික මතය ඒක වුණත් 2015 අපි හැමෝම කිව්ව ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා.

ඒත් මම අදත් කියන්නෙ අහෝසි නොකර ජනාධිපති ධුරයෙ බලතල අඩුකරල එම ධුරය තියාගන්න ඕන කියල.

2020 ජනාධිපති අපේක්ෂකත්වය ගැන ඔබ මොකද කියන්නෙ

පොහොට්ටුවෙන් එන්නෙ රාජපක්ෂ කෙනෙක්. රාජපක්ෂ ලේබලය අරගෙන තමයි ඒ අය පන්සලට යන්නෙත්. එතන තියෙන්නෙ රාජපක්ෂ න්‍යාය දේශපාලන න්‍යායක් නැහැ. එක්සත් ජාතික පක්ෂ 2020 දී පක්ෂයෙ අපේක්ෂකයෙක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි.

ඡායා - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න