ණය කන්දේ ඇත්ත කතාව | දිනමිණ

ණය කන්දේ ඇත්ත කතාව

සම්මුතිවාදී ආණ්ඩුවේ විදේශ ණය ගැන යළිත් උණුසුම් විවාදයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා කළ අන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් රාජ්‍ය ණය ගැන තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීම මේ විවාදයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මංගල සමරවීර මහතාගේ අභියෝගයට සුපුරුදු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා නැතත් නාමල් රාජපක්ෂ මහතා නම් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුණා. “මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාවෙන් වැඩකර පෙන්නූ නායකයෙක්. එතුමා තවමත් ජනතාවට සේවය කරමින් ඉන්නේ. මේ ආණ්ඩුව කයිවාරු ගසමින් අවුරුදු තුනහමාරක් ගෙවා දැම්මත් කරපු වැඩක් නැහැ. ඒ නිසා විවාද කරන්න ඉස්සර වැඩක් කරලා පෙන්වන්න. වැඩක් නොකර විවාදවලට එන්න කීම විහිළුවක්. සංවර්ධනය කියන්නේ මේ ආණ්ඩුවට හීනයක් ” කියලා නාමල් රාජපක්ෂ ජනමාධ්‍ය හමුවේ කියා තිබුණා.

නාමල් රාජපක්ෂගේ මේ කතාවට පිළිතුරු බැඳීමේ වුවමනාවක් නැතත් මේ සියලු කතා අවසානයේ ජනමතය කෙරෙහි තීරණාත්මකව බලපාන නිසා ඒ ගැන විමසීමක් කිරීම වැදගත් කරුණක් වශයෙන් සැලකිය හැකියි. ආර්ථික න්‍යායන්, සංකීර්ණ වගු - ප්‍රස්තාර ගැන වැටහීමක් නැති මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන සිංහලෙන් රටේ ණය සම්බන්ධ සැබෑ තත්ත්වය වටහා දීම අපගේ වගකීමක්.

හම යාම සහ නම යාම

“අපේ හම - උන්ගේ නම” කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. මේ කතාවේ යටි අරුත වන්නේ වැඩක් නොකර නම දා ගැනීමට බොහෝ දෙනකු කැමැති වන බවයි. මේ තත්ත්වය දේශපාලනයේදී තරම් වෙන කිසිදු තැනක ප්‍රායෝගිකව දැකිය නොහැකියි. විශේෂයෙන් ලංකාවේ දේශපාලන කරළියේ “උන්ගේ හම - අපේ නම” කතාව ඇස්පනාපිට දැකිය හැකි කරුණක්.

මේ කතාව අද යහපාලන ආණ්ඩුවට දමා ගැසීමට ඒකාබද්ධ - පොහොට්ටු කල්ලියට හැකියාවක් ලැබිලා තිබෙනවා. “අපි හදපුවා විකුණා ගෙන කනවා” “ අපි හදපුවට නම දා ගන්නවා” කියලා මේ කල්ලිය නිතර නිතර කියනවා. ඒත් මේ කතාවල ඇත්ත තත්ත්වය වෙන්නේ “ඒ අය හොරා කාපුවාට පවා ගෙවන්නේ අපි , වත්මන් ආණ්ඩුව” කියන එක බව බොහෝ දෙනෙකුට නොඇසෙන කතාවක් වෙලා තිබෙනවා.

මුදල් ඇමැතිවරයා කියන ණය කතාවත්, නාමල් කියන වැඩ ගැන කතාවත් සම්බන්ධ වෙන්නේ රටේ ආර්ථිකයට නිසා මේ ණය හා වැඩ කතාව පහසුවෙන් නිරවුල් කර ගැනීමට අපි මහින්ද රාජපක්ෂ යුගය එජාපයේ රාජ්‍ය පාලනය යුගයන් සමඟ තුලනාත්මකව විශ්ලේෂණය කළ යුතුයි. එවැනි විග්‍රහයකින් පමණයි අපිට “වැඩක් කර පෙන්නූ නායකයන්” කවුද කියා පැහැදිලි කරගත හැකි වන්නේ.

අද නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කල්ලියේ සියලු දෙනාම චිත්‍රණය කරන්න උත්සාහ කරන ප්‍රමුඛම කරුණක් වන්නේ මේ රටට වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි. ඒත් ආසන්න වශයෙන් පසුගිය එජාප (1977-94) යුගය හා මේ වැඩක් කළ බව කියන නායකයාගේ රාජ්‍ය පාලන යුගය (2005 -2015) තුලනාත්මකව විශ්ලේෂණය කළහොත් අපි ඉදිරියේ නිරාවරණය වන්නේ කුමක්ද ?

සැබෑ වැඩකාරයෝ මෙන්න

එක්සත් ජාතික පක්ෂය 1977 දී බලයට පත් වූ පසු කෙටි කාලීනව දැවැන්ත ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් රටට උරුම කරලා දුන්නේ උතුරේ බෙදුම්වාදී යුද්ධයට සහ දකුණේ තරුණ කැරලිකාරිත්වයකට (1988-89) මුහුණ දෙමින්. ඒත් එජාපයේ ආරම්භක යුගයේදී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ඊට පෙර පැවැති පෝලිම් යුගය පමණක් නොව බීඩි ආර්ථිකය ද වෙනස් කිරීමට එජාපය ඉතාමත් කෙටි කාලයකින් සමත් වුණා. අද ආර්ථිකයේ ජීවනාලිය වන ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛ කරගත් නිදහස් වෙළෙඳ කලාප (ආයෝජන ප්‍රවර්ධන කලාප) සම්පූර්ණයෙන් එජාපයේ නිර්මාණයක්. කටුනායකින් ඇරැඹුණු මේ දැවැන්ත සංවර්ධනය බියගම, කොග්ගල, මීරිගම, හොරණ ආදි ප්‍රදේශවල දැවැන්ත ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් ඉටු කළා. ඒ අතර කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ එජාපය ක්‍රියාත්මක කළ දැවැන්ත විප්ලවයට අළඟු තැබිය හැකි කෘෂිකාර්මික සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට මේ දක්වා කිසිදු ආණ්ඩුවකට නොහැකි වෙලා තිබෙනවා. ග්‍රාමීය හා නාගරික ආන්තික ප්‍රජාව ඉලක්ක කරගත් “උදාගම් ව්‍යාපාරය” එජාපය සමාජයීය සංවර්ධන විෂයෙහි ක්‍රියාත්මක කළ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. ආර්. ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු එය යළි සක්‍රීය කිරීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ගන්නා තෙක් කිසිදු පාලකයෙකුට නොහැකි වුණා. රද්දොළුගම, මත්තේගොඩ, ජයවඩනගම ආදි අති දැවැන්ත මධ්‍යම පාන්තික මහල් නිවාස යෝජනා ක්‍රම වගේම ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය, ආර්. ප්‍රේමදාස යුගයේ ක්‍රියාත්මක වූ “ඇඟලුම් කම්හල 200 වැඩසටහන ද එජාපයේ තිරසර සංවර්ධන දැක්ම මනාව කියාපෑවා. තවත් අවශ්‍ය නම් ජනසවිය, මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන සේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකල්පය දක්වා මේ වැඩපිළිවෙළ දිගු කළ හැකියි.

බොහෝ දෙනකුගේ අදහස අනුව යුගයට සාපේක්ෂව මෙරට මහාමාර්ග සංවර්ධනයේ ද දැවැන්තම වැඩ කොටස ඉටු කළේ එජාපයයි. මහවැලි රජමාවත, බුත්තල - කතරගම රජ මාවත ඇතුළු එකී යුගයට සාපේක්ෂව අති දැවැන්ත මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයක් එජාපය විසින් ඉටු කළා.

වත්මන් අගමැතිවරයා ද මේ යුගයේ සුවිශේෂ වැඩකොටසක් ඉටුකළ නායකයෙක්. බියගම ආසනයේ සංවිධායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානය වන විට තරුණ තරුණියන් 55,000ක් පමණ සේවය කරන බියගම නිදහස් වෙළෙඳ කලාපය පිහිටුවීමට පියවර ගැනීම ඒ අතර සුවිශේෂයි. නාමල් රාජපක්ෂලා තාරුණ්‍යයට හෙටක් සොයමින් දඟලද්දී යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් බිහිකළ ජාතික තරුණ සේවා සභාව දශක ගණනාවක් පුරා මෙරට තාරුණ්‍යයට හෙටක් නොව අදක් ලබාදුන් දැවැන්ත යාන්ත්‍රණයක්.

නැවත අවධාරණය කළහොත් මේ සියලු දැවැන්ත සංවර්ධන වැඩසටහන් ආරම්භයේ සිටම ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ ලබාදෙමින් අදත් සක්‍රීය සංවර්ධන ව්‍යාපෘති බවට පත්ව තිබෙනවා.

ප්‍රදර්ශනකාමී සංවර්ධනය

ලිපිය දිගු කළ නොහැකි නිසා අපට මේ සමඟ මහින්ද රාජපක්ෂ යුගය වෙත ක්ෂණිකව ප්‍රවේශ වීමට සිදුවෙනවා. අඩකින් අවසන් කළ යුද්ධය සමඟ 2005-2015 යුගයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රමුඛ වුණේ රාජපක්ෂ නින්දගම වශයෙන් සැලකෙන හම්බන්තොට කේන්ද්‍රිය ප්‍රදර්ශනකාමී සංවර්ධනයක් පමණයි. ඒ අනුව යුගයට සාපේක්ෂව ක්‍රියාත්මක වුණු දක්ෂිණ අධිවේගී මාර්ගය (ආරම්භය එජාප යුගය) කටුනායක අධිවේගී මාර්ගය (චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගය) රාජපක්ෂ යුගයේ වර්ණවත් සංවර්ධන ව්‍යාපෘති වන විට හම්බන්තොට වරාය, හම්බන්තොට වරාය නගරය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ආදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම වෙනුවෙන් හම්බන්තොට කේන්ද්‍රීය අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා.

අද මහින්ද රාජපක්ෂ යුගය ගැන විමසුමේ යෙදෙන බොහෝ දෙනෙක් කියන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ මාර්ග සංවර්ධනයෙහි ලා දැවැන්ත සංවර්ධනයක් සිදු වූ බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති මගින් ජාතික ආර්ථිකයට කොතරම් දායකත්වයක් ලබා දෙන්නේද ? යන්නයි. විශේෂයෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති අති බහුතරයක් හුදු දේශපාලන ව්‍යාපෘති වීම තුළ මේ තත්ත්වය වඩාත් හානිකර වී තිබෙනවා. අනෙක් අතින් හම්බන්තොට වරාය, හම්බන්තොට නගර සංවර්ධනය, මත්තල ගුවන්තොටුපොළ කිසිදු ආර්ථික උපයෝගීතාවකින් තොර සුදු අලි බවට රාජපක්ෂ යුගයේදී පත්ව තිබුණා.

මහින්ද රාජපක්ෂ යුගයේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොවූ යුගයක් බව අපට පැහැදිලිව හඳුනාගත හැකියි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන හා කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී (2007) ආරම්භ කළ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරයට මහින්ද රාජපක්ෂ මහතා විසින් දැක්වූ සැලකිල්ල අදත් ප්‍රසිද්ධ කාරණයක්.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය භාණ්ඩාගාරයේ මැතිවරණ අල්ලස් දෙන වැඩපිළිවෙළ නම් අපූරුවට ක්‍රියාවට නැඟුවා. ඒ ගොවිජනතාව විසින් කිසිදා නොඉල්ලූ පොහොර සහනාධාරයක් ලබා දෙමින් (රුපියල් 350ට පොහොර). ගොවි ජනතාව විෂයෙහි අති දැවැන්ත සෞඛ්‍ය හා පාරිසරික හානියක් කරන පොහොර සහනාධාර වැඩසටහන සඳහා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් කෝටි 3500ක් පමණ වැය කිරීමට සිදුව තිබෙනවා. වත්මන් ආණ්ඩුවට පවා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එම වැය බර දැරීමට සිදුව තිබෙනවා. එහෙත් පොහොර වැඩසටහනේ සියලු කීර්තිය හා වටිනාකම මේ දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රාමීය කෘෂිකාර්මික ඡන්ද පදනම ශක්තිමත් කිරීමට හේතු වෙලා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ යුගයේ මෙරට ජනතාවගේ සමාජයීය සංවර්ධනය ඉලක්ක කරගත් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වෙනුවට වාර්ෂිකව රුපියල් බිලියන 40ක පමණ වැය බරක් ඇති සමෘද්ධි සංවර්ධන වැඩසටහන (චන්ද්‍රිකා යුගයේ දී ක්‍රියාත්මක වූ) මහින්ද රාජපක්ෂ මහතා විසින් අසීමිතව තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් භාවිත කළා.

අද නාමල් රාජපක්ෂලා කියන වැඩක් ඇති නායකයා රටේ කිසිදු ඵලදායී ආර්ථික සංවර්ධන කාර්යයක් ඉටු නොකොට ඊනියා ප්‍රදර්ශනකාමී කොන්ක්‍රීට් සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන විට වේගයෙන් හැකිළුණු සේවා නියුක්තිය පුළුල් කිරීම සඳහා ගත් අදූරදර්ශී ප්‍රතිපත්තිය වුණේ රාජ්‍ය අංශයේ රැකියා හැකිතාක් ලබා දෙමින් එය පුළුල් කිරීමයි. මේ අනුව 2005 වන විට ලක්ෂ 7ක් පමණ වූ රාජ්‍ය අංශය රාජපක්ෂ යුගය අවසානයේදී ලක්ෂ 15 දක්වා සියයට සියයකින් පුළුල් කිරීමේ අවස්ථාව ලැබුණා. මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතාට කෙටි කාලීනව හා දිගු කාලීනව දේශපාලන ප්‍රතිලාභ ලබා දුන්නත් කිසිදු සැලසුමකින් හෝ අවශ්‍යතාවකින් තොරව පුළුල් වූ රාජ්‍ය අංශයේ බර සම්පූර්ණයෙන් දැරීමට වත්මන් ආණ්ඩුවට සිදුව තිබෙනවා.

නාමල් රාජපක්ෂට අනුව වැඩක් කර පෙන්නූ නායකයා කළ සුවිශේෂම වික්‍රමය වන්නේ ලංකාවට හිමිව තිබූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමිකර ගැනීමයි. මේ අහිමි කිරීම හේතුවෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත අර්බුදයකට මුහුණදී සිටින අතර මේ තහනම නිසා රටට අහිමි වූ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන ගණනක් වෙනවා. රාජ්‍ය ආදායම වේගයෙන් හීන කර ගනිමින් (සියයට 11 දක්වා) ද අපනයන ආදායම හීන කර ගනිමින් ද ගෙන ගිය රාජපක්ෂ අත්තනෝමතික පාලනය තුළ ක්‍රියාත්මක කළ සියලුම සංවර්ධන වැඩසටහන් (ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර අලංකරණය ද ඇතුළුව) සඳහා සියලු ආයෝජන සිදු වුණේ චීනයෙන් ලබාගත් ගිනිපොළී ණය මත බව අද කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්.

මෙහිදී නාමල් රාජපක්ෂ ගැන ද සඳහන් කළ යුතුයි. තම පියාගේ දේශපාලන ව්‍යාපෘතිය කරට ගෙන තරුණයන් සමඟ ක්‍රියාකළ නාමල් රාජපක්ෂ තමන්ගේ ඊනියා “තාරුණ්‍යයට හෙටක් ” සංවිධානය හැරෙන්නට තරුණයන් වෙනුවෙන් කළ කිසිදු සේවයක් මේ භූමිය තුළ දකින්නට නැති බව ද අප අපගේ අවධානයට ගත යුතු කරුණක්. මෙය අද මහා වැඩකාරයෙකු ලෙස අභිෂේක ලබමින් සිටින බැසිල් රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද එකසේ අදාළ බව සඳහන් කළ යුතුයි. බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටිමින් රට පුරා ක්‍රියාත්මක කළ ප්‍රමුඛ ව්‍යාපෘති වූ “ගෙවතු වගා දස ලක්ෂය” “මග නැඟුම” “දිවි නැඟුම “ගම නැඟුම” අවසානයේ රාජපක්ෂ පාලනයේ වැටීම දක්වා පරිවර්තනය වුණේ මේ හරහා සිදු වූ සියලු දේවල් “පරපුර නැඟුම” බවට පත් වූ නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාව ඔසවා තබන අැවිදින මංතීරු, කොළඹ ලස්සන කිරීම ද මේ ගොඩටම වැටෙන බව පමණක් ලියා තැබිය යුතුයි.

ණය කන්ද කරට ගැනීමට සිදු වීම

මහින්ද රාජපක්ෂ රඟහල, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මිහින් ලංකා ගුවන් සමාගම ඇතුළු රාජපක්ෂ යුගයේ දියත් වූ සාටෝපකාරී සංවර්ධන ව්‍යාපෘති සියල්ල වෙනුවෙන් ගත් ගිනිපොළී ණයවලින් ඇතැම් විට මුල්ම වාරිකය පවා ගෙවීමට සිදු වුණේ 2015 ජනවාරි 08 ජයග්‍රහණය කළ මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලය පුරාම අඛණ්ඩව අවධාරණය කළ කරුණක්. කොටින්ම මැතිවරණ රැල්ල ඉලක්ක කරගෙන අරලියගහ මන්දිරයේ පැවැත් වූ ඡන්ද දන්සලේ බිල පවා අවසානයේ ගෙවීමට සිදු වුණේ වත්මන් ආණ්ඩුවටයි. “2015 දී මෛත්‍රී - රනිල් භාර ගත්තේ රටක් නොව ණය කන්දක්” බව ඒ දිනවල දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් කියා සිටියේ රාජපක්ෂ පාලනයේ මේ ණය කන්දේ සැබෑව හෙළි වූ පසු ඇති වූ භීතිය සමඟයි. පසුගියදා මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා නැවත වතාවක් හෙළි කළේ රාජපක්ෂ යුගයේ කළ සැබෑ වැඩ ගැන ඇත්ත කතාවයි.

ණය අරගෙන මොකද කරන්නේ ?

“ආණ්ඩුව විදේශවලින් ණය අරගෙන මොනවද කරන්නේ ?” කියලා නාමල් රාජපක්ෂ පමණක් නොව ගමේ ගොඩේ පොහොට්ටුකාරයා පවා අහන ප්‍රසිද්ධ කතාවක්. “මේ ආණ්ඩුව බෝක්කුවක්වත් හදන්නේ නැහැ” කියලා මේ ගොබෙල්ස් බාප්පලා පසුගිය කාලය පුරාම ප්‍රසිද්ධ කරන නිසා සාමාන්‍ය ජනතාව අතර පවා මෙවැනි මතයක් ඇතිවීම සර්ව සාධාරණ බවයි පෙනී යන්නේ.

වත්මන් ආණ්ඩුව විදේශවලින් ණය අරගෙන කරන ප්‍රධාන කටයුත්ත රාජපක්ෂලාගේ බිල ගෙවීම බව අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා පසුගිය කාලය පුරාම අවධාරණය කරන්නේ ඒ සමඟ රටේ දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධනයක් සිදුවන බව ද තහවුරු කරමින්.

මේ තත්ත්වය සරලව විශ්ලේෂණය කළහොත් රාජපක්ෂ යුගයේ රාජ්‍ය ආදායම බින්දුවට වැටී, භාණ්ඩාගාරය හිස්ව තිබියදී භාරගත් රටේ ජනතාවට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුව අසීරු ප්‍රයත්නයක් ගැනීමට සිදු වුණා. මුදල් ඇමැතිවරයාම අවධාරණය කළ ආකාරයට රාජපක්ෂ ආණ්ඩුව ඊනියා ප්‍රදර්ශනකාමී සංවර්ධනය වෙනුවෙන් ලබාගත් ගිනිපොළී ණය ගෙවීමට අමතරව වසර කිහිපයක් පුරා වැඩි නොකළ රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කිරීමට සේම, ජනතාවගේ ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට ද දැවැන්ත ධනයක් වියදම් කිරීමට සිදු වුණා. ඒ වගේම අදත් රාජපක්ෂ කල්ලිය දේශපාලන ප්‍රතිලාභ ලබන පොහොර සහනාධාරය, සමෘද්ධි වැඩසටහන (නිලධාරීන් 27,000 ද සමඟ) අඛණ්ඩව පවත්වා ගෙන යාමට දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. ආණ්ඩුවට මේ සියල්ල කිරීමට සිදුව තිබෙන්නේ රාජපක්ෂ කල්ලිය විසින් හිස්කර ගිය මහා භාණ්ඩාගාරය යළි ශක්තිමත් කරමින් වීම ද අපගේ අවධානයට යොමුවිය යුතු කරුණක්.

රාජපක්ෂ යුගයේ බිල ගෙවන අතරතුර මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපාරය, නිවාස වැඩසටහන්, පාසල් සිසුන් සඳහා වෛද්‍ය රක්ෂණය, මධ්‍යම අධිවේගී මාර්ගය, ඇතුළු දැවැන්ත යටිතල පහසුකම් ද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව අප සිහියට නගා ගත යුතුයි. අවසාන වශයෙන් ආණ්ඩුව 2017 වර්ෂයේදී ලබාගත් ඩොලර් මිලියන 1535ක් වූ විදේශ ණය මගින් ක්‍රියාත්මක කරන ලද සංඛ්‍යාව 30කට ආසන්න බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කරනවා. ඒ අතර අදත් මහින්ද රාජපක්ෂ මහතාගේ ගිනුමට සියලු වටිනාකම් බැරවන දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ 1,2, 4 අදියර, පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 අදියර, හම්බන්තොට නගර සංවර්ධන ව්‍යාපෘතිය වගේම හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය 2වන අදියර ද ඇතුළත් වෙනවා.

මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද බැංකුව පිරවූ ව්‍යාපෘතිවලට නොමසුරුව වැය දරද්දී අලුත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සමඟින් තිරසාර ගමනක් යන බවයි. රාජපක්ෂලාට පමණක් නොව පොහොට්ටු කල්ලියට ද නොවැටහෙන මේ ඇත්ත අප කෙසේ හෝ රටේ පොදු ජනතාවට පහදා දිය යුතුයි.

සටහන භාතිය බරුකන්ද

නව අදහස දක්වන්න