ඩෙවොන් ස්මිත් තෙවසරකට පසුව නැවත කොදෙව් ටෙස්ට් සංචිතයට | දිනමිණ

ඩෙවොන් ස්මිත් තෙවසරකට පසුව නැවත කොදෙව් ටෙස්ට් සංචිතයට

පිතිකරු ඩෙවොන් ස්මිත් තෙවසරකට ආසන්න කාලයකට පසුව බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නැවත එක්ව සිටී.

ශ්‍රී ලංකාවට එරෙහිව ජූනි 6 වැනිදා ඇරැඹෙන ටෙස්ට් තරගමාලාව සඳහා වන කොදෙව් සංචිතයට නවක කඩුලු රකින - පිතිකරු ජමාර් හැමිල්ටන් ද සංචිතයට කැඳවා තිබේ.

කොදෙව් සංචිතයට නම් කර ඇත්තේ ක්‍රීඩකයන් 13 දෙනෙකු පමණි. 2017 දෙසැම්බරයේ කොදෙව්වන්ගේ මීට පෙර අවසන් ටෙස්ට් සංචාරයේදී (නවසිලන්තයට) සංචිතයේ සිටි ක්‍රීඩකයන් සිවු දෙනෙකු වන පිතිකරුවන් වන සුනිල් අම්බ්‍රිස් හා ජර්මේන් බ්ලැක්වුඩ්, තුන් ඉරියව් ක්‍රීඩක රේමන් රයිෆර් හා වේග පන්දු යවන අල්සරි ජෝසප් මෙවර සංචිතයෙන් ඉවත් කර තිබේ.

තිස් හය හැවිරිදි ස්මිත් අවසන් වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2015 වසරේ එංගලන්ත කණ්ඩායම කැරිබියන්හි සංචාරය කළ අවස්ථාවේදීය. ස්මිත් ට නැවත වතාවක් කොදෙව් සංචිතයට ඇතුළත් වීමේ මං විවරව තිබෙන්නේ 2017/18 කලාපීය සිවු දින තරගාවලියේ වින්ඩ්වර්ඩ් දූපත් කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දස්කම් හේතුවෙනි. එම තරගාවලියේදී ඔහු 84.23ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 1095ක් රැස් කර තිබෙන්නේ තරග 10කින් ශතක 6ක්ද වාර්තා කරමිණි.

මේ අතර 27 හැවිරිදි හැමිල්ටන්, බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් පෙබරවාරි - මාර්තු වකවානුවේදී දස්කම් ප්‍රදර්ශනය කරමින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පළමු පෙල තරග දෙකකදී ලකුණු 100, 29 හා 79ක් ලබා ගනිමින් තේරීම් නිලධාරීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටී. ඔහු ෂේන් ඩොව්රිච් සමග කොදෙව් සංචිතයේ සිටින කඩුලු රකින්නන් දෙදෙනාගෙන් කෙනෙකි.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය : ජේසන් හෝල්ඩර් (නායක), ඩෙවෙන්ද්‍ර බිෂූ, ක්‍රෙග් බ්‍රැත්වේට්, රොස්ටන් චේස්, මිගුවල් කුමින්ස්, ෂේන් ඩොව්රිච්, ෂැනොන් ගේබ්‍රියල්, ජමාර් හැමිල්ටන්, ෂිම්රොන් හෙට්මියර්, ෂායි හෝප්, කීරන් පොවල්, කෙමා රෝච්, ඩෙවොන් ස්මිත්.

-වර්නන්

නව අදහස දක්වන්න