මධ්‍යම කාරක සභාවේ දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රජයෙන් ඉවත්වෙන තීරණයක් ගෙන නෑ | දිනමිණ

මධ්‍යම කාරක සභාවේ දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රජයෙන් ඉවත්වෙන තීරණයක් ගෙන නෑ

ඉන්දික පොල්කො­ටුව

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉන් ඉවත්වීමට මධ්‍යම කාරක සභාවේදී කිසිදු තීරණයක් ගෙන නොමැති බව විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා උඩරට උරුමය පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

එවැනි තීන්දු ගැනීමට පෙර මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් විය යුතු බවත් ඉන් දෙපාර්ශ්වයටම අදහස් දැක්වීමට ඉඩ තිබිය යුතු බවත් මෙහි දී පැවැසූ ඇමැතිවරයා එවැනි දෙයක් මෙතෙක් මධ්‍යම කාරක සභාව තුළ සිදු නොවූ බව කීය.

ඒ මහතා නව ඇමැති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ඊයේ (25) පැමිණි අවස්ථාවේ දී එසේ පැවැසීය.

උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය මඟින් සිදුකිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මූලික සැලැස්ම මහනාහිමියන් වෙත මෙහි දී ඇමැතිවරයා විසින් පිළිගන්වනු ලැබීය.

පදනමක් නොමැතිව විවිධ තීන්දු තීරණ ගැනීමට මධ්‍යම කාරක සභාව තැපැල් ‍කන්තෝරුවක් නොවන බව ද ඇමැතිවරයා මෙහි දී කීය.

වැඩි දුරටත් කතා කළ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ ද කීය.

2020 අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‍තවමත් අපි දන්නේ නෑ. එහෙත් අපේ පක්ෂයේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ජනාධිපතිවරණයට පෙර ශ්‍රීලනිප, එජාප, පොහොට්ටුවේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා ජාත්‍යන්තර වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතුය. ඔළු ගෙඩි පස්සේ ගොස් මේ වෙනස ගන්න බැහැ. ඔළුගෙඩි මාරු කළාට එය කළ නොහැකියි. ඔය කියන නායකයන්ගේ ප්‍රතිපත්ති මොනවා දැයි සොයා බැලිය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා විපක්ෂයට යාම ගැන අද කතා කරනවා. සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු බලවේග ගැන කතා කරනවා. මොනවා කළත් ප්‍රතිපත්ති සමඟ වැඩ කළ යුතුය.

නව අදහස දක්වන්න