විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යතාර්ථයක් කිරීම ආණ්ඩුවවේ වගකීමක් | දිනමිණ

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යතාර්ථයක් කිරීම ආණ්ඩුවවේ වගකීමක්

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව ඇතුළත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යතාර්ථයක් බවට පත්කිරිමේ වගකීම ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෙත පැවරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට ජනවරම ලැබී ඇති බවත් ජනතා එකඟත්වය මත කටයුතු කරන නායකයින් ලෙස වගකීමෙන් කටයුතු කළයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කතානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් වරයා වෙත භාර දීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් අනුර දිසානායක මහතා‍ මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

විධායක ජනාධිපති ධුරය මේ රටේ අර්බුද රැසක් නිර්මාණය කිරීමට‍ හේතු උනා. සියලු ප්‍රජාතන්ත්‍රවාදි ආයතන මෙන්ම පාර්ලිමේන්තුවද බල ශූන්‍ය ආයතන බවට පත්කිරිමට මෙම ධූරයට හැකිඋනා.

කැබිනට් මණ්ඩලය හිස් පඹයන් බවට‍ පත්කිරීමට මෙම ධූරයට පුළුවන් උනා.අධිකරණයේ පවා මිනීමරුවන් ලෙස චෝදනාවට ලක්වූ අය විත්ති කූඩුවෙන් බැස යන තත්ත්වයක් විධායකය විසින් ඇතිකළා.

මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පවසමින් තමයි සෑම ජනාධිපතිවරයෙක්ම බලයට පත්වූනේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව සඳහන් කරමින් බලයට පත්වූනා. වත්මන් ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් ජනවරම ලැබී තිබෙනවා. එම ජනවරමෙන් මිදෙන්නට ඔවුන්ට බැහැ.ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට සිට පවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දූ උනා. ඒ නිසා‍ වර්තමාන ආණ්ඩුවට, අගමැතිවරයාට, ජනාධිපතිවරයාට විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැන යන්නට බැහැ. ඔවුන් තවදුරටත් මුණිවත රැකිය යුතු නැහැ.ජනතාව දුන් එකඟත්වය අනුව කටයුතු කරන නායකයින් නම් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්විය යුතුයි.පාර්ලිමේන්තුවේ සංයුතිය ගත් කළද විශාල පිරිසකට ජනවරම දී තිබෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහායි.ඒ නිසා අනිවාර්යයෙන්ම විසිවැනි සං‍ශෝධනයට සහය දීමට සියළු දෙනාට සිදුවෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න 75 වතාවක් සාකච්ඡා කළා.නමුත් සමස්ත ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇති ඉඩ කඩ ඇහිරි තිබෙනවා.ඒ නිසා අඩුම තරමින් විසිවන සංශෝධනය හෝ සම්මත කළ යුතුයි.විසිවැනි සංශෝධනයෙන් රට බෙදෙනවා කියා ඇතැමුන් කියනවා.මේ සම්බන්ධයෙන් අපි සෑම දේශපාලන පක්ෂයක් සමඟම සාකච්ඡා කරනවා.නමුත් විධායක ජනාධිපති ධූරය සුරුවමක් ලෙස තබාගෙන සිටින ඊට වන්දනා මාන කරන අය සමඟ සාකච්ඡා කර පළක් නැහැ.ජනතාව සමඟ ඇතිකර ගත් එකඟතාව අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාටත් අපි කියනවා.

නව අදහස දක්වන්න