චීනයත් ශ්‍රී ලංකාවත් අතර ඇත්තේ දැඩි මිත්‍රත්වයක් | දිනමිණ

චීනයත් ශ්‍රී ලංකාවත් අතර ඇත්තේ දැඩි මිත්‍රත්වයක්

ඔබට සහාය අවශ්‍ය සැමවිටම උදවු කිරීමට චීනය නිරතුරුව ඉදිරිපත් වෙනවා

'සහශ්‍රයේ සිට නව යුගයකට - ඒකාබද්ධව එකම තීරයක් සහ එකම මාවතක් ගොඩනඟමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳ ගනිමු' මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධාන කළ සමුළුවේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුයාන් මහතා ප්‍රධාන දේශනය සිදු කරන ලදී.

සිවු මසකට පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස ආරම්භ වූ තම නිල කාලයේ දෙරට අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සම්බන්ධතාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත් බව තානාපතිවරයා සිය දේශනය ආරම්භ කරමින් පැවැසීය.

එහි දී වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙසේ ද පැවැසීය.

"පසුගිය දින කිහිපයේ නැවතත් කුණාටු සහ ගංවතුර තත්ත්වයකට මුහුණදීම පිළිබඳව ශ්‍රී ලංකා රජය මෙන්ම චීනය ද කනගාටුවට පත් වෙනවා. ශ්‍රී ලංකාවට වඩාත්ම සහාය අවශ්‍ය අවස්ථාවල චීනය නිරන්තරයෙන් ඒ සඳහා උදවු කිරීමට ඉදිරිපත් වෙනවා.

ඒ අනුව පසුගිය වසරවල ස්වාභාවික ආපදාවලට මුහුණ දුන් අවස්ථාවේ සහල්, මුදල් ආධාර සහ විපතට පත්වූවන්ට නිවාස ව්‍යාපෘති වැනි හදිසි මානුෂීය ආධාර ලබා දුන්නා. ඊට අමතරව මහා මාර්ග, දුම්රිය සහ වරාය ආදී යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පසුගිය දශකයේ චීනයේ සහාය ලබා දුන්නා. චීනය ශ්‍රී ලංකාවට උදවු කිරීමට ඉදිරිපත් වන්නේ ඇයි? බොහෝ පිරිස් මේ ගැන පුදුම වෙනවා. ‍එම සබඳතාවට හේතු වන ප්‍රධාන කාරණා තුනක් මෙහි දී සිහිපත් කරනවා.

දෙරට භූගෝලීය වශයෙන් දුරින් පිහිටා තිබුණ ද දෙරට අතර රාජ තාන්ත්‍රික ගනුදෙනු සඳහා වසර දහසකට වැඩි ඉතිහාසයක් තිබෙනවා . වසර 1,600කට පමණ පෙර මාස්ටර් ෆා ෂියෑන් ශ්‍රී ලංකාවේ දී බුදු දහම ඉගෙන සාගර සේද මාවත හරහා චීනයට නැවත පැමිණියේ ධර්මය, සාමය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමටයි. වසර 600කට පමණ පෙර සෙන්ග් හේ ෆ්ලීට් පස් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ද්වී-පාර්ශ්වීය ආර්ථික සහ සංස්කෘතික ගනුදෙනු නව මානයකට ගෙන ගියා.

1949 වසරේ දී මහජන චීන සමූහාණ්ඩුව නිර්මාණය කිරීමත් සමඟ එය හඳුනා ගත් මුල්ම රටවල් අතර ශ්‍රී ලංකාව ද වෙනවා. 1952 දී දෙරටේ නායකයන් රබර්- සහල් ගිවිසුමට අත්සන් කිරීමට ඉතා වැදගත් තීරණයක් ගත්තා. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළ මිලට චීනය ශ්‍රී ලංකාවට සහල් අලෙවි කළා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලට ශ්‍රී ලංකාවේ රබර් චීනය මිල දී ගත්තා. මෙයින් ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයට මෙන් චීනයේ උපායමාර්ගික රබර් අවශ්‍යතාව ද විසඳුණා. ඒ පිළිබඳව අදහස් දැක් වූ ඊට අත්සන් කළ එවකට වාණිජ ඇමැති ආර්. ජී. සේනානායක මහතා ප්‍රකාශ කළේ වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට චීනය රජයේ නියෝජියකු යැවූ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි. එය අනෙකුත් දකුණු ආසියානු රටවලට හොඳ උදාහරණයක්. එම රබර්- සහල් ගිවිසුම ඊට පසු කිහිප අවස්ථාවකදීම නැවත අලුත් කළ අතර 1980 ගණන් දක්වා පැවතියා. එයට අනුව ශ්‍රී ලංකාවේ රබර් ඇට ද චීනයට අපනයනය කළා. ඒවා චීන පසේ මෙන්ම ජනතා හදවත්වල ද ගැඹුරින් මුල් බැස ගත්තා. එය වෙළෙඳ එකඟතාවක් පමණක් නොව දෙරටේ ශක්තිමත් මිත්‍රත්ව එකඟතාවක් ද වෙනවා.

1980 ගණන්වල සිට ශ්‍රී ලංකාව දරුණු ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දුන්නා. චීනය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ශක්තිමත් සහයෝගය ලබා දුන්නා. 2009 වසරේ දී වසර 26ක සිවිල් යුද්ධයේ අවසානයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාව යුද්ධයේ තුවාලයෙන් දැඩි වේදනාවට පත්ව සිටියා. යුද නටබුන් මත සිටිමින් මේ අලංකාර රට නැවත ගොඩනැඟීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ ඉක්මන් සහාය ඉල්ලා සිටියා. එහෙත් පුදුමයට මෙන් බොහෝ රටවල් නිශ්ශබ්දව දෑත් බැඳගෙන තත්ත්වය දෙස බලාගෙන සිටියා. මේ අර්බුදකාරී අවස්ථාවේ නැවතත් චීනය විවෘත දෑතින් ශ්‍රී ලංකාව සමඟ සිට ගත්තා. රටේ පශ්චාත් යුද නැවත ඉදිකිරීම්වල දී ගැඹුරින් හා ඉතා වුවමනාවෙන් එක් වුණා. ඒ අනුව 2017 අවසානයේ දී ප්‍රවාහන, ජලය, විදුලිය, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍රවල චීන සමාගම් අමෙරිකානු ඩොලර් බිලියන 15කට වැඩි යටිතල පහසුකම් ව්‍යාපෘති සම්පූර්ණ කර තිබෙනවා.

ඒ අතර ජාතික විදුලි සැපයුමෙන් 40%ක් පමණ දායකත්වයක් ලබාදෙන දිවයින පුරා නිරන්තර විදුලිය කපා හැරීමේ ඉතිහාසය නිම කළ නොරොච්චෝලේ බලශක්ති මධ්‍යස්ථානයේ සහ පුත්තලම් බලශක්ති මධ්‍යස්ථානයේ වැඩ අවසන්. කටුනායක අධිවේගී මාර්ගය (කොළඹ ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගය) ජාත්‍යන්තර මගීන්ට විශාල පහසුවක් වී ඇති අතර සංචාරක කර්මාන්තයේ නැඟී සිටීමට දායක වී තිබෙනවා. සිනෝ- ශ්‍රී ලංකා ඒකාබද්ධ කර්තව්‍යයක් වන කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය ලොව වේගවත්ම නැඟී එන කන්ටේනර් පර්යන්තවලින් එකක්. අලුතින් සම්පූර්ණ කළ මොරගහකන්ද ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශයෙන් දේශීය කෘෂිකර්මාන්තයට සහ ජනතාවට විශිෂ්ට ප්‍රතිලාභ ගෙන දෙනවා. දක්ෂිණ දුම්රිය මාර්ගයේ පළමු අදියර සහ දක්ෂිණ අධිවේගය දීර්ඝ කිරීම අවසන් කිරීමට ආසන්න අතර එමඟින් දකුණු පළාත් සංවර්ධනය විශාල පිටිවහලක් සපයනවා.

එසේම ඉදි කරමින් පවතින කොළඹ වරාය නගරය මෙන්ම හම්බන්තොට වරාය සහ කර්මාන්ත උද්‍යානය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීමට නව ශක්තිමත් බලයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. තවදුරටත් මේ සියල්ල හරහා ශ්‍රී ලංකාවට රැකියා අවස්ථා 1,00,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම තාක්ෂණික හා කළමනාකරණ ක්ෂේත්‍රයේ දහස් ගණනකට පුහුණුව ලබා දී තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරවලට දිගු ඉතිහාසයක් තිබෙනවා. අපි දෙරටම දිගු අධිරාජ්‍යවාදී පාලනයෙන් සහ යටත් විජිතවාදයෙන් පීඩාවට පත්ව සිටියා. 1840 සිට චීනය බටහිර පාලනයට මෙන්ම අර්ධ යටත් විජිත රටක් ලෙස පැවතුණා.

‍16 වැනි ශත වර්ෂයේ සිට ශ්‍රී ලංකාව ද අඛණ්ඩව පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව 1948 නිදහස ලබන තුරු පැවතියා. අවාසනාවට 1980 සිට ශ්‍රී ලංකාව දශක තුනක කාලයක් මුහුණ දුන් සිවිල් යුද්ධය හේතුවෙන් ජාතික සංවර්ධනයට බලපෑම් එල්ල වුණා. සමාන ඓතිහාසික පසුබිම් සමඟ දෙරටම සාමය, සංවර්ධනය සහ යහපත් ජීවිත පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් සහිතවයි. එම නිසා ශ්‍රී ලංකාව ජාතික සංවර්ධනයට ප්‍රධාන අවශ්‍යතාවකට මුහුණ දෙන අවස්ථාවේ දී චීනය ශ්‍රී ලංකාවට උදවු කිරීමට හැකි උපරිම උත්සාහය දරනවා.

චීනයේ කොමියුනිස්ට් පක්ෂ ශක්තිමත් නායකත්වය යටතේ චීන ජනතාව වසර 69ක දැඩි උත්සාහයෙන් පසු ජාතික ගොඩනැඟීමේ විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගත්තා. විශේෂයෙන් 2012 වසරේ චීනයේ කොමියුනිස්ට් පක්ෂ 18 වැනි ජාතික කොංග්‍රස‍යේ සිට මහ ලේකම් ෂි ජින්පින්ග්ගේ නායකත්වය යටතේ, වැදගත් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කෙරුණා. අප ජාතික උපායමාර්ග සැලසුම් ක්‍රියාවලියක් සකසා ප්‍රවර්ධනය කළා. 12 වැනි 'පස් අවුරුදු සැලසුම' සාර්ථකව සම්පූර්ණ කළ අතර 13 වැනි 'පස් අවුරුදු සැලසුම' ආරම්භ කළා. රටේ සංවර්ධනය මෙන්ම චීන ජනතාවගේ සෞභාග්‍ය හා ශක්තිමත් කිරීම ඊට ඇතුළත්. එයට අනුව ශක්තිමත් චීනය සමඟ ගමන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂ අවධානය මෙන්ම සියලු රටවල අනන්‍යතාවට ගරු කරමින් සාධාරණ හා නීත්‍යනුකූල ක්‍රියාවලියක අවශ්‍යතාව තවදුරටත් අපේක්ෂා කරනවා.

චීනයේ සංවර්ධනය චීනයට පමණක් සීමා වන දෙයක් නොවේ. එය ලෝකය සංවර්ධනය කරා රැගෙන යනවා. 2017 දී චීනය සහ ලෝකයේ සම්බන්ධතාවෙන් චීන ආර්ථිකයේ ගෝලීය දායකත්ව අනුපාතය 30% ඉක්මවනවා. ගෝලීයකරණය වූ ලෝකයක එකිනෙකාගේ අනාගතය හරියට එකම බෝට්ටුවක ගමන් කරන මගීන් මෙන් අප සියලු දෙනා අතම පවතිනවා. වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමෙහි ලා සෑම රටක්ම අප සියලු දෙනා එක්ව කටයුතු කිරීම අවශ්‍යයයි.

ජනාධිපති ෂි ජින්පින්ග් මහතාගේ 'ටූ බිල්ඩින්ග්ස් ' සංකල්පය අනුව ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනැඟීම යෝජනා කළා. එයින් 'එකාබද්ධ උපදෙස් ලබාගැනීම, දායකත්වය සහ ප්‍රතිලාභ බෙදා ගැනීමේ නීතිය යටතේ සියලු රටවල් එක්ව කටයුතු කිරීමට අවස්ථාව හිමි වෙනවා. ප්‍රතිපත්ති, ප්‍රවාහන සේවා, වෙළෙඳ, විනිමය සහ ජනතාවගේ හදවත ආදී සබඳතා පහ සමඟ ඒකාබද්ධව සිදු කෙරෙනවා. මෙය සීතල යුද සමයේ පැවැති 'මාර්ෂල් ප්ලෑන්' යන්නට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ එකක්. මෙය කිසිසේත්ම පාක්ෂිකයන්ට සැලකීමට නොවන අතර රටවලට සම්බන්ධ පොදු සංවර්ධන කටයුතු සහ මනුෂ්‍ය වර්ගයාගේ යහපත් අනාගය වෙනුවෙන්.

ශ්‍රී ලංකාවට අපූරු භූගෝලීය පිහිටීමක් සහ පුළුල් සංවර්ධන අපේක්ෂාවක් තිබෙනවා. ආර්ථික සංවර්ධනය, වාර්ගික එක්සත්බව සහ ආගමික සහජීවනය ආදී ජාතික අභිවෘද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන 'ශ්‍රී ලාංකික සිහින' තිබෙනවා. මෙය බී. ආර්. අයි. අදහසත් සමඟ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සහිත සමාජයක් ගොඩනැඟීමේ ඉලක්කයෙන් ද සමන්විතයි. බී. ආර්. අයි. සඳහා විවෘතව සහාය ලබා දුන් පළමු රටක් වශයෙන් ශ්‍රී ලංකාව චීනයේ තීරයක් මාවතක් ඒකාබද්ධ ඉදිකිරී‍ම වැදගත් සහකරුවෙක්. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙන්ම සමාන සංවර්ධන ඉලක්ක සහිත දියුණු වෙමින් පවතින රටවල සහාය ලබාදීම මෙයින් අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳගැනීම චීනයේ අපේක්ෂාව වන අතර පොදු සංවර්ධන අභියෝග එක්ව ජයගැනීම ඉලක්කයයි.

විශේෂයෙන් සුපුරුදු අන්‍යෝන්‍ය විශ්වාසයෙන්, ගරුත්වයෙන් සහ සහයෝගයෙන් කොළඹ වරාය නගරය මෙන්ම හම්බන්තොට වරාය සහ කර්මාන්ත උද්‍යාන දැවැන්ත ව්‍යාපෘති සමඟ අපත් ශ්‍රී ලංකා මිතුරන් සමඟ කටයුතු කිරීමටත්, රටේ ආර්ථික සංවර්ධනය නඟා සිටුවමින් බී. ආර්. අයි. ඒකාබද්ධ ඉදිකිරීමෙන් කඩිනමින් දෙරටටම සහ ජනතාවට ප්‍රතිලාභ ලබාදීමටත් කැමතියි.

මහ ලේකම් ෂි ජින්පින්ග් මහතා නව මාදිලියක් යෝජනා කරමින් පක්ෂ අතර සබඳතා පවත්වමින් සියලු පාර්ශ්වයන්ගේ දැක්ම හා අපේක්ෂා හඳුනාගෙන විවිධ රටවල විවිධ අවශ්‍යතා අවබෝධ කරගෙන තිබෙනවා. සිනො- ලංකා සබඳතා සඳහා පක්ෂ අතර සාමය වැදගත් අතර චීනයේ සමාජවාදී පක්ෂය ශ්‍රී ලංකා සියලු පක්ෂ සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වා ගෙන යනවා. නව යුගයේ ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු සහ සබඳතා ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාගෙන් ඉගෙන චීන - ශ්‍රී ලංකා මිතු සබඳතා සහ උපයෝගික සහයෝගිතාව තවදුරටත් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරනවා. ‍‍

කුඩා බීජයකින් දැවැන්ත ගස් වැඩෙනවා. එක් පියවරකින් සැතපුම් දහස් ගණනක ගමන ආරම්භ වෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් පැසසුම් සහ තවදුරටත් ගොඩනැඟීය හැකි සබඳතා තිබෙනවා. උත්සාහයේ පදනම සමඟ අපගේ නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ අපගේ ද්වී-පාර්ශ්වීය සබඳතාවලට නව යුගයේ ශ්‍රී ලංකාවේ බී. ආර්. අයි. ඒකාබද්ධ ඉදිකිරීම් සාර්ථක වෙනවා. සෞභාග්‍යමත් රටක් සහ සතුටින් පිරි ජනතාවගේ ශ්‍රී ලාංකික සිහින සැබෑ වන බව මට දැඩි සේ විශ්වාසයි."


ශ්‍රී ලංකාවත් චීනයත් අතර සබඳතා විශිෂ්ට මට්ටමක

- ඇමැති මලික් සමරවික්‍රම

මේ සාකච්ඡා වටයට එක් වූ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා අමෙරිකානු ඩොලර් මිලියන 700ක චීන ආයෝජනයකින් හම්බන්තොටට එල්. එන්. ජී. විදුලි බලාගාරයක් සඳහා වන යෝජනාව රජය විසින් පිළිගෙන ඇති බවත්, එය මෙගාවොට් 400ක් විදුලිය උත්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් වන අතර එය ඍජු විදෙස් ආයෝජනයක් බවත් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවත් චීනයත් අතර සබඳතා විශිෂ්ට මට්ටමක පවතින්නේ යැයි ද 2050 වසර වන විට චීනය ලොව ප්‍රධානම ආර්ථික බලවතා වනු නොඅනුමාන යැයි ද ශ්‍රී ලංකාව චීනය සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. චීනය ආරම්භ කළ එක තීරයක් එක මාවතක් සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහාය ලබාදෙනු ඇතැයි ද අවධාරණය කළේය.

චීනය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඇමැතිවරයා සඳහන් කළේ ඉතා නුදුරේදීම ශ්‍රී ලංකා රජය එයට අස්සන් තබන බවයි. එසේම චීනයෙන් තවත් ව්‍යාපෘති ගණනාවක ආයෝජන යෝජනා ලැබී ඇති බව ද ඒවා පිළිබඳව ද අවධානය යොමු කරමින් සිටින බව ද පෙන්වා ‍දුන්නේය.

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් සමාගමේ (HIPG) විධායක නිලධාරි තිස්ස වික්‍රමසිංහ, චෙක් පෝර්ට්සිටි කලම්බු පුද්ගලික සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි ලිඈන් තවු මින්ග් මහත්වරු ද සිය ව්‍යාපෘති පිළිබඳ අදහස් දැක්වූහ.

ක්‍රිසන්ති විතාරණ


නව අදහස දක්වන්න

Or log in with...