සටන් බිමේදී සතුරු ප්‍රහාරයට ලක්වූ පෙම්වතා තනි නොකළ දිරිය දියණියක් | දිනමිණ

සටන් බිමේදී සතුරු ප්‍රහාරයට ලක්වූ පෙම්වතා තනි නොකළ දිරිය දියණියක්

සුජිත්ට හා මදුනිට දස වසරකට පසු මංගල සීනු හැඩවෙයි

2008 වර්ෂයේ මානුෂීය මෙහෙයුමේ යෙදී සිටිය දී ම්ලේච්ඡ කොටින්ගේ ප්‍රහාරයකට ලක්වී සුසුම්නාවට සිදුවු දැඩි හානි නිසා සදාකාලිකවම රෝද පුටුවක දිවිගෙවන්නට සිදුවූ රණවිරුවෙකුගේ පෙම්වතිය සටන් බිමට ගිය තම පෙම්වතා තනි නොකර දස වසරක් ඉක්ම යන දිනයේ දී ඔහු හා අතිනත ගැනීමේ අවස්ථාවක් පෙරේදා (24) මීරිගම අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ් දී දැකගත හැකිවිය.

සීමා මායිම් වැටකඩුළු කොපමණ තිබුණත් ආදරය ඒ සියල්ල පරදා ජය ගන්නා බව පසක් කරමින් කුරුණෑගල මාස්පොත රණවිරු සැරයන් සුජිත් ඒකනායක (28) මහතාගේ අතගත්තේ හංවැල්ලේ වග පදිංචිකාරියක වන කොළඹ ජාතික රෝහලේ හෙදි සොයුරියක් වන මදුනි ලංකා හේමමාලී (27) මෙනෙවියයි.

1989 ජුනි මස 09 වැනිදා කුරණෑගල මාස්පොත දී මෙලොව එළිය දුටු සුජිත් මාස්පොත මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය. ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද උපන් හපන්කම් දැක්වූ සුජිත් පාසල් පාපන්දු කණ්ඩායමේ කැපී පෙනෙන කී‍්‍රඩකයකුද විය. වයස අවුරුදු 18 සපිරෙද් දී සුජිත් යුද හමුදාවට එක්වූයේ රට රැකගන්නා අදිටනෙනි.

ආධුනික සෙබළෙකු වශයෙන් 57 වන සේනාංකයට එක්වී කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කළ මානුෂීය මෙහෙයුමට උරදෙමින් සිටිය දී සුජිත්ගේ පේ‍්‍රමවන්තිය වීමට මදුනි ලංකාට හැකි විය. මේ දෙදෙනාගේ මුල් හමුව වූයේ මිතුරෙකුගේ ප්‍රිය සාදයකදීය. දෙදෙනාගේ ආදරය කෙමෙන් කෙමෙන් ලියලා වැඩෙද් දී මාස කිහිිපයක දී සුජිත් රණවිරුවා කිලිනොච්චි ප්‍රදේශයේ දී සතුරු ප්‍රහාරයකට ලක් වී ඇත.

සුසුම්නාවට සිදුවු දැඩි හානි නිසා පේ‍්‍රමවන්තයාට සදාකාලිකවම දෙපා වාරු නැතිව දිවි ගෙවන්නට සිදුවීම මදුනිට දරාගත නොහැකි කරුණක් විය. තම කුළුදුල් පේ‍්‍රමවන්තයා කිසිදු අන්දමකින් තනි නොකරන්නට අදිටන් කරගත් මදුනි කුරුණෑගල රණවිරු අභිමංසලට නිතරම පාහේ පියනැගුවේ තම මවුපියන්ටද හොර රහසේය. මෙසේ දස වසරක් තිස්සේ මේ පේ‍්‍රමවෘතාන්තය කෙමෙන් කෙමෙන් ගලා ගොස් ඇත.

හංවැල්ල වග ප්‍රදේශයේ පදිංචි මදුනි හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පහේ ශිෂ්‍යත්ව කඩඉම පැන හංවැල්ල රාජසිංහ ජාතික පාසලට ඇතුළත් වූවාය. ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ සමත්වූ මදුනි පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටින අතරතුර හෙද පාඨමාලාව නිමකර කොළඹ ජාතික රෝහලේ සේවයට එක්විය.

මදුනිගේ මවුපියන් දියණියගේ ආදරය ගැන දැනගත් පසු විරෝධතා ඇති වුවත් මදුනි අවසානයේ ජය ගත්තාය. මේ ආදරය ගැන සැලවීමෙන් පසු සිංහ රෙජිමේන්තු රණවිරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම්. එස්. වික්‍රමරත්න මහත්මිය ඔවුන්ගේ විවාහයට අවශ්‍ය කරන සියලුම කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත්වී ඇත්තේ සිංහ රෙජිමේන්තු රණවිරු සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය ලැබූ ප්‍රථම විවාහ උත්සවය මෙය බවට වාර්තාවක්ද තබමිනි.

ඒ අනුව දෙපාර්ශ්වයේ මවුපියන් ඇතුළු ඥාතී හිත මිත්‍රාදීන්ගේ හා උසස් හමුදා නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් සුජිත් හා මදුනිගේ විවාහ මංගල්‍යය උත්සවය හෙළ කුල සිරිත්විරිත්වලට අනුව අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

විවාහය ලියාපදිංචි කිරීම හාපිටිගම කෝරළයේ විවාහ හා යටිගහ දකුණ උප්පැන්න හා මරණ රෙජිස්ටාර් ඩබ්ලිව්. එච් .ඒ. ජේ විරසූරිය මහත්මිය ඉදිරියේ සිදු කෙරිණි. රණවිරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මහතා මේ විවාහයේ සාක්කිකරුවෝ වූහ. අභිනව යුවතිපතීන්ගේ පෝරුවේ චාරිත්‍ර සිදුකෙරුණු අවස්ථාව ඉතාමත් සංවේ දී විය. සෑම නෙතකින්ම සතුටු කඳුළු වැගිරෙනු දැකිය හැකිවිය.

විවාහයෙන් පසු මේ යුවළ කුරුණෑගල කළුගල්ලේ නිවසේ පදිංචිවීමට සූදානම්ව සිටී. මදුනි කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන බැවින් ඇයට සිය ආදර සැමියා බලා කියා ගැනීම ගැටලූවක්ව පවතින්නේ ඇය බලාපොරොත්තු වන ස්ථාන මාරුවීම මෙතෙක් ලබා ගැනීමට නොහැකිවීමයි. මේ ගැන වගකිවයුත්තන්ගේ නෙත ගැටී තමන්ට කුරුණෑගල රෝහලට ස්ථාන මාරුවක් ලබා දෙන්නේ නම් එය තමන්ට ලැබෙන මහත් සහනයක් බව මදුනි පැවසුවාය.

 

 

නව අදහස දක්වන්න