හෙද සේවාව අද වන විට සියලු ක්ෂේත්‍රයකින්ම ඉදිරියෙන් | දිනමිණ

හෙද සේවාව අද වන විට සියලු ක්ෂේත්‍රයකින්ම ඉදිරියෙන්

සෞඛ්‍ය ඇමැති පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න

දැනුම, කුසලතා, ආකල්ප, තාක්ෂණය සහ අධ්‍යාපනය ආදී විවිධ විශේෂතාවලින් පිරිපුන් වෘත්තිකයන් පිරිසක් බවට හෙද හෙදියන් පත්ව තිබීම විශේෂත්වයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ සභාපති ,සෞඛ්‍ය ඇමැතිගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය පවසයි.

ෆ්ලොරන්ස් නයිටිංගේල් අනුස්මරණ දිනය සහ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් පොළොන්නරුව මහ රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ “නයිටිංගේල් සමරු ප්‍රණාම උළෙළේ' ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සේනාරතන මහත්මිය මේ බැව් පැවසුවාය.

මෙහිදී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙසේද කීවාය. ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය විසින් ආරම්භ කරන ලද හෙද සේවාව අද වන විට සියලු ක්ෂේත්‍රයකින්ම ඉදිරියට පැමිණ තිබෙනවා. දැනුම, කුසලතා, ආකල්ප, තාක්ෂණය සහ අධ්‍යාපනය ආදී විවිධ විශේෂතාවලින් පිරිපුන් වෘත්තීකයින් පිරිසක් බවට හෙද හෙදියන් පත්ව තිබීම විශේෂත්වයක්. “සුවපත් රටක් සවිමත් හෙටක්” ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බිහි කිරීම අරමුණූ කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා හෙද හෙදියන්ගේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. වර්තමාන හෙද සේවාවේ උන්නතිය සඳහා රජය පියවර රැසක් ගෙන තිබෙනවා. පොළොන්නරුව මහ රෝහල ප්‍රධාන පෙළේ රෝහලක් බවට පත් කිරීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක් වූ කැපවීම අගය කළ යුතුයි. ජනාධිපතිවරයා වන්නට පෙර මහවැලි, කෘෂිකර්ම, සෞඛ්‍ය යන අමාත්‍යධූර හොබවමින් ජනාධිපතිවරයා පොළොන්නරුව මහ රෝහල සංවර්ධනය කිරීමට පියවර ගනු ලැබුවා. තව ද චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්තවේද රෝහල ඉදිකිරීමේ සිහිනය ද සැබෑ වී තිබෙනවා. මේ වකුගඩු රෝහලෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝගීන් පමණක් නොව අවට දිස්ත්‍රික්කයේ රෝගීන්ට ද ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. කොළඹට පමණක් සිමා වී තිබූ හෘද කිරීටක ප්‍රතිකාර ඒකකයක් ද පොළොන්නරුව රෝහලේ ස්ථාපිත කර තිබෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකයක් ද නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.ජාත්‍යන්තර හෙද දිනය සනිටුහන් කරමින් ජාත්‍යන්තර හෙද කවුන්සලය වාර්ෂිකව සුවිශේෂි සේවාවන් සිදු කරනු ලබනවා. වෙදකමත් හෙදකමත් නිරන්තරයෙන් එකිනෙක බද්ධ වූ සේවාවන් දෙකකි. එම සේවාවන් දෙක අතුරින් ශ්‍රී ලාංකීය හෙද සේවාව ජාත්‍යන්තරයට විවර කරවීම රජයේ අරමුණයි. එහිදී මතුවන අභියෝගවලට සෑම උපකාරයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටිනවා.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු වෛද්‍යවරුන්,ප්‍රධාන විශේෂ හෙද නිලධාරී හමන්ගොඩ ජයසිංහ මහතා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...