නැවක පාවෙන න්‍යෂ්ටික බලාගාරය | දිනමිණ

නැවක පාවෙන න්‍යෂ්ටික බලාගාරය

මංජුලා විජයරත්න

නැවක ඉදි කෙරුණු ලොව පළමු න්‍යෂ්ටික බලාගාරය රුසියාවට අයත් ඉතා දුෂ්කර පෙදෙසක් වෙත රැගෙන යෑම ඇරඹේ. ගමනේ පළමු අදියර ආරම්භ කරමින් පාවන න්‍යෂ්ටික බලාගාරය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිට මර්මන්ස්ක් වෙත රැගෙන එන ලදී. එහිදී බලාගාරයට අවශ්‍යය න්‍යෂ්ටික ඉන්ධන ලබා දීමට නියමිතය. එම කාර්යය සම්පූර්ණ කර ගැනීමෙන් පසු පාවන බලාගාරය රුසියාවේ පෙවෙක් වෙත රැගෙන යනු ලැබේ. එම අදියර ලබන වසරේදී ඇරඹෙන්නට නියමිතය.

“පාවන චර්නෝබිල්” සහ “න්‍යෂ්ටික ටයිටනික්” ආදී නම්වලින් හැඳින්වෙන මේ බලාගාරය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් සමන්විත ය. බලාගාරයේ බර ටොන් 21,500ක් බැව් සඳහන් වේ. එමෙන්ම එය මීටර 144ක් දිගති ය; මීටර 30ක් පළලැති ය; මීටර 10ක් උසැති ය. බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 70ක් පමණ බව බලධාරීහු පවසති. බලාගාරය පවත්වාගෙන යන්නට 69 පමණ කාර්යය මණ්ඩලයක් අවශ්‍යය වේ. පාවන චර්නෝබිල් බලාගාරය ඉදි කිරීමට ඇමෙරිකා ඩොලර් මිලියන 94කට අධික මුදලක් වැය කර ඇත. එය ස්ථාපනය කිරීමෙන් පසු ලක්ෂයකට අධික පිරිසකට වසර පහක් පුරා අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ හැකියාව පවතී. බලාගාරයට න්‍යෂ්ටික ඉන්ධන ලබා දිය යුතු වන්නේ නැවත වසර පහකට පමණ පසුවය.

පාෙවන න්‍යෂ්ටික බලාගාරය ක්‍රියාත්මක කිරීමට රුසියා බලධාරීන් පියවර ගන්නේ 2019හි ගිම්හාන සමයේදී බැව් වාර්තාවල සඳහන් වේ. එවිට දැනට එහි භාවිත වන ගල් අඟුරු බලාගාරයක් සහ පැරැණි න්‍යෂ්ටික බලාගාරයක් භාවිතයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇත. පෙවෙක්හි දැනට ක්‍රියාත්මක වන න්‍යෂ්ටික බලාගාරයෙන් විදුලි බල පහසුකම් සැපයෙන්නේ 50,000කට ආසන්න පිරිසකට පමණි. ඉතිරි අවශ්‍යතා සම්පුර්ණ කර ගැනෙන්නේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයෙනි. එම ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ පරිහරණය සඳහා වරකට ඩිසල් ටොන් 45,000ක් පමණ අවශ්‍ය වේ. ගල් අඟුරු සහ ඩීසල් දහනයෙන් පරිසරයට මුදා හැරෙන අපවායූන් අවම කරගන්නට පාවන නව න්‍යෂ්ටික බලාගාරය හොඳ විසඳුමක් බව විද්‍යාඥයෝ පවසති.

“පාවන චර්නෝබිල්” බලාගාරය ඉදි කිරීම් කටයුතු සිදුකර තිබෙන්නේ රුසියා රජයට අයත් සමාගමක් වන රොස්ඇටම් සමාගමයි. සමාගම අපේක්ෂා කරන ආකාරයට බලාගාරය සාර්ථකව පවත්වාගෙන යෑමට හැකි වුවහොත් කුඩා පරිමාණයේ පාවන න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඉදි කෙරෙනු ඇත. එම කුඩා ප්‍රමාණයේ පාවන න්‍යෂ්ටික බලාගාර, රුසියාවේ දුෂ්කර ප්‍රදේශවල බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යෙදවීමට නියමිතය.

කෙසේ වුවත් පාවන චර්නෝබිල් බලාගාරය මඟින් පරිසරයට කෙරෙන බලපෑම පරිසර ආරක්ෂණ කණ්ඩායම්වල විශේෂ අවධානයට යොමුව ඇත. ඔවුන් රොස්ඇටම් සමාගමේ ප්‍රධානී ඇලෙක්සි ලිඛචිනොෆ් වෙත විශේෂ ලිපියක් යවමින් ඒ බැව් සඳහන් කර තිබේ. පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානකින් කටයුතු කරන මෙන්ද සමාගම් ප්‍රධානියාගෙන් එම සංවිධාන ඉල්ලීමක් ද කර ඇත .

ලෝකයේ මේ වන විට පැන නැඟී ඇති බලශක්ති අර්බුදයට විකල්ප සෙවීමට විද්‍යාඥයන්ට සිදුව තිබේ. එයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ ගල් අඟුරු සහ ඉන්ධන දහනයෙන් බලශක්තිය ලබා ගැනීම ඉතා ඉක්මනින් අවසන් කරන්නට සිදුව තිබීමයි. එක් පැත්තකින් එම සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂයව යයි. එවැනි ප්‍රභවවලින් බලශක්තිය ජනනය කිරීම පරිසරයට අපවායූන් එකතු වන්නට හේතුවක් ද වී තිබේ. මේ නිසා සුනිත්‍යය බලශක්ති ප්‍රභව මඟින් බලශක්තිය ජනනය කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත. එහිලා සූර්යය ශක්තිය, සුළඟ, භූතාපය, උදම්, න්‍යෂ්ටික ශක්තිය යනාදී මූලාශ්‍ර කෙරෙහි වැඩි විශ්වාසයක් තබා තිබේ.

පා‍ෙවන න්‍යෂ්ටික බලාගාර සංකල්පය හඳුන්වා දෙන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහාය. රුසියාව ඉදිරියේදී තවත් මෙවැනි පා‍ෙවන බලාගාර හතක්වත් ඉදි කරනු ඇති බවට අනාවැකි පළ වේ. 2020 වන විට චීනයත් පා‍ෙවන බලාගාර ඉදි කිරීම ආරම්භ කරනු ඇත. ඇල්ජීරියාව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ආර්ජන්ටිනාව වැනි රටවල්ද පා‍ෙවන න්‍යෂ්ටික බලාගාර සිය රටවල භාවිතයට ගැනීමට සැලසුම් කර තිබේ. එනිසා පාවන න්‍යෂ්ටික බලාගාරවලට එම රටවලින් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බැව් සඳහන් වේ.

කවර ආකාරයේ හෝ න්‍යෂ්ටික බලගාරයකින් කාන්දුවීමක් ඇති වුවහොත් විශාල පාරිසරික විනාශයක් ඇතිවිය හැකි බව න්‍යෂ්ටික බලය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විද්වත්හු පවසති.පා‍ෙවන න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව එවැනි කාන්දුවක් ඇති වුවහොත් එයින් ඇති වන පරිසර විනාශය ඉතාමත් දරුණු බව විද්‍යාඥයන්ගේ මතයයි.

පා‍ෙවන බලාගාරයක මෙවැන්නක් සිදු වන්නේ ප්‍රතික්‍රියාකාරකයක නලයක් කැඩී යෑම වැනි තත්ත්වයක් හේතුවෙනි. එබැවින් එවැනි න්‍යෂ්ටික බලාගාරයක් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බව බලධාරීහු පෙන්වා දෙති. ත්‍රස්ත ප්‍රහාරවලින් බේරාගෙන ඒවා පවත්වාගෙන යෑම විශාල අභියෝගයක් වනු ඇති බවට මත පළ වේ.

mail online ඇසුරෙනි

නව අදහස දක්වන්න