විද්‍යා ව්‍යාපෘතිය | දිනමිණ

විද්‍යා ව්‍යාපෘතිය

“මං ආස නෑ බූ .. ඔයා ඔය ඔක්කොම ග්‍රහලෝක එක සයිස් එකකට හදන්න ඕන. නැත්නම් සයිස් දෙකකින් හදල මාරුවෙන් මාරුවට ලොකු එකයි –පොඩි එකයි ගාණෙ තියන්න ඕන.. ”ටීනු කිව්වා. එයා ඒ වෙලාවේ හිටියේ, එයාගේ කකුලේ හයවෙනි ඇඟිල්ලේ නියපොත්ත පාට කරමින්.

“නැත්නම් කිසි පිළිවෙලක් නෑ වගේ..”

ඒ වෙද්දි මම ක්ලේ බෝල අටක් ජග්ගුවේ රඳවලා ඉවරයි. නව වෙනි ක්ලේ බෝලේ තව ටිකක් රවුම් කරමින් මම ක්ලේ පෙට්ටිය ඇරල බැලුවා. ක්ලේ ඉවරයි. නව වෙනි එක සම්පුර්ණ ග්‍රහලෝකයක් කරන්න ක්ලේ මදි.

“දැන් ඕව කර කර ඉන්න වෙලාවක් නෑ.. ”මම කිව්වා. “මේක හෙට වෙන්න කලින් ඉවර කරන්න ඕන.. ”

“ඒත් ඒක නිසා මහ අපිළිවෙල ගතියක් ඇවිල්ල තියෙනව. ඒක හරි අප්‍රසන්න අපිළිවෙලක්. අනික ඔය ඉර. ඒකෙ සැර ගතිය ගන්න ඔයා ගාල තියෙන මොකක්ද එක විනාකිරි ගඳයි.. ”

එයා නිය ආලේපන බෝතලේ වහල පැත්තකින් තිබ්බ. ඊට පස්සේ මේසේ ළඟට ඇවිල්ල මේසෙට නිකට තියා ගත්තා.

“ඔයාට ඇහුණද..? ඔය ඉර, ඒක විනාකිරි ගඳයි .. “

එයා ඔය හැමදේම කියන්නේ, එයාට ඔය හැම දෙයක් ගැනම මොනව හරි දෙයක් කියන්න ඕන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි කියල දන්න නිසා මම සද්ද නැතුව නව වෙනි ක්ලේ බෝලේ තව ටිකක් රවුම් කළා.

“ඇයි ඒක අනික්වට වඩා කැත ..? ”එයා ඇහුවෙ මගෙ අතේ තියෙන ක්ලේ ගුලිය දිහා බලාගෙන.

“ක්ලේ ඉවරයි..”මම කිව්ව.

“එහෙනම් ඒක අයින් කරන්න. ඒක කැතම කැතයි. මහ මන්ද බුද්ධික පාටයි..”

මම සද්ද නැතුව ක්ලේ ගුලිය ජග්ගුවෙ රැඳෙව්වා. ඒකෙ ඇත්තටම පොඩි මන්දබුද්ධික පාටක් නම් තිබ්බ තමයි. ඒත් මම ඒ වගේ දේවල් ඒ තරම් සැලකිල්ලට ගන්න කෙනෙක් නෙමෙයි.

ඒත් ටීනු මට වඩා වෙනස්. එයාට ඕන හැමදේම පිළිවෙලට, ලස්සනට තියෙන්නයි. හැමදේම පිළිවෙලට, ලස්සනට තියන විදිහ ගැන නිතරම උපදෙස් දෙන්නයි.

“බූ… ”එයා මැසිවිලි කියන්න ගත්තා. ” ඔයා නිකමටවත් මගෙ අදහස් සැලකිල්ලට ගන්නේ නෑ..”

මට ඇත්තටම දුක හිතුණා. “මේ මෙහෙ එන්න… ”

මම එයාව ළඟට ගත්තා.

“මං හිතන් ඉන්නේ මේ ඔක්කොම ලෝකවලට සත්තු දාන්න. ඉස්සෙල්ලම වැඩ ඉවර කරන්න ඕන කොයි එකද කියල ඔයා තෝරන්න…”

එයා ඇස් වහගෙන කල්පනා කරන්න පටන් ගත්තා. පොඩි දුඹුරු තිත් වැටිච්ච කම්බුල්, උඩට හැරුණු බොත්තමක් වාගේ නහය, උල් නිකට මේ ඔක්කොමත් එක පාරට කල්පනාවට වැටුණ වගේ වුණා. එයා ඇස් වහන් ඉන්නකොටයි, එයාගේ මූණේ අනිත් හැමදේම පේන්න ගන්නේ. නැත්නම් ඒ මුහුදු නිල් පාට ඇස් මුහුණේ අනික් හැමදේකටම එන්න ඕන අවධානය හොරකම් කරනවා. ඉස්සරහ ඉන්න ඔයා පරිස්සම් නොවුණොත්, ලෝකේ හැමදේම අමතක කරවන්න ඒ ඇස්වලට පුළුවන්.

“ම්…....”

විනාඩියයි තත්පර දහයයි මයික්‍රෝ තත්පර තුනකට පස්සේ එයා ඇස් ඇරියා.

“ම්…..ඉස්සෙල්ලම අපි තුන්වෙනි ලෝකෙන් පටන්ගමු. තුන මගෙ ලකී නම්බර් එක…”

“හරි.. මං කිව්ව. තුනෙන් පටන් ගමු.

එයත් ඇවිල්ල පාට ගාණ වැඩේට හවුල් වෙයි කියල මම හිතුවත්, එයා සිගරට් එකක් පත්තු කරගෙන හෙඩ් ෆෝන් දා ගත්ත. ඊට පස්සේ හාන්සි පුටුවේ දිගා වුණා. මේ දැන් පාට ගාපු නියපොතු තියෙන පුංචි කකුල් මේසේ උඩින් තියාගත්ත. කකුල් ඇඟිලි තුඩු තාලෙට නලියන්න පටන් ගත්තා.

කාමරේ පුරා වයලට් සංගීතයයි, මෙන්තෝල් සුවඳයි පාවෙන්න ගන්නකොට මම තුන්වෙනි ග්‍රහලෝකෙ පාට කරන්න ගත්තා. ඒක ග්‍රහලෝක අටෙන් ප්‍රමාණෙන් පහේ විතර තියන්න පුළුවන් එකක්. මං එකේ ගෑවේ කොළ පාට. අර නගර අලංකාර කමිටුවෙන් තාප්පවල ගාන සාමාන්‍ය තද කොළ පාට.

ඊට පස්සෙ ඒ ළඟම තිබ්බ ඊට හැම අතින්ම සමාන එකේ මම කහ පාට ගෑවා.

තව එකක් දීප්තිමත් නිලක්. ඊළඟ එක සුදු. සුදු පාට පාට කරද්දී පින්සලේ හරියට හේදිලා නොතිබ්බ නිසා ඒ ක්ලේ බෝලෙ නැවතුණේ ලා නිල් පාටක් වෙලා.

“බූ !!”එක පාරට එයා කෑ ගැහුවා. මම උඩ විසික් වෙච්ච පාරට පින්සල ජග්ගුවේ අඩියේ වැදිලා කැරකිලා ගියේ ස්පයිරලාකාර තීන්න පැල්ලමක් හදමින්. “මොකක්ද ඔය කරල තියෙන්නේ?”

“ඇයි ඔය ඔක්කොම තනි පාටින් පාට කරන්නේ? ඊයා.. අනික මොකක්ද ඔය කැත කොළ පාට ?”

එයා මේසෙ ළඟට ආව. ඊට පස්සේ එයා නිල් පාට තීන්ත එක අතට අරන්, කොළ පාට උඩින් පාට කරන්න ගත්ත.

“නිල්…? දැනටමත් නිල් දෙකක් තියෙනවා ..” මම කිව්වේ කනස්සල්ලෙන්.

“පොඩ්ඩක් ඉන්නකො… ” එයා කොළ පාට උඩින් වතුර ටිකක් වැඩිපුර දාපු නිල් තවරන්න ගත්තෙ කොළ පාට එහෙන් මෙහෙන් ඉතුරු වෙන විදිහටයි. හැමදේම පිළිවලට කරන්න මහන්සි වෙන එයා මේ වෙලාවෙ නම් කළේ නිකං උඩින් පල්ලෙන් පාට ගාපු එක. හැබැයි එකේ පොඩි ලකයක් තියෙනව කියල තේරෙද්දී මාත් ජග්ගුව උඩින් එබුණා. එතකොටම එයාගේ සිගරට් එකෙන් දුඹුරු පාට අළු චුට්ටක් තෙත තීන්ත උඩට වැටිල විසිරුණා.

“අයියෝ ! ”මම කිව්ව.

“ෂ්..”එයා තොලට පින්සල තියල මහ අනුරාගී විදිහට මගෙ දිහා බැලුවා. ඒ තමයි ඔය එයා අතින් වැරද්දක් වුණු වෙලාවට වැරැද්දක් වුණේ නෑ වගේ හැසිරෙන විදිහ.

“බූ…..ඒක මං හිතලමයි කළේ .. පොඩි ආට් එකක් විදිහට…”

ඊට පස්සේ එයා ජග්ගුවට එබුණා. කොළ පාට අල්ලි වැටිච්ච නිල් පාට ලෝකෙට දුම් උගුරක් පිම්බා. දුම් වලාවක් වගේ ඇවිත් ගෝලය වටේ එතුණ.

“ඒක නිකං වායුගෝලයක් වගේ නැද්ද දැන් ? ” එයා ඇහුව. මම ඔළුව වැනුවා.

වෙලාවකට ටිකක් විකාරයි වගේ වුණත්, ටීනු කරන ගොඩක් දේවල්වල පොඩි අමුතු ගතියක් තියෙනවා. ඒ නිසා සිලිකන් නිම්නයෙ ගොඩක් ගෑනු ළමයි ටීනුව අනුකරණය කළා. සමහර වෙලාවට එයා අත් වැරැදීමෙන් කරන පොඩි පොඩි දේවල් පවා (එයාට අත් වැරැදීම් වෙන බව ටීනු පිළි නොගන්නා එක ඉතා සුළු, නොතැකිය යුතු කාරණාවක් වුණත්) අනුකරණය කරන්න ගොඩක් අය බලන් හිටියා. ඒ නිසාම පිරිමි ළමයි පවා ටීනුට විශේෂ සැලකිල්ලක් දක්වන බව මම දැනගෙන හිටියා.

අන්න ඒකයි මම එයා කියන ගොඩක් දේවල් එක්ක එකඟ නොවුණත්, ඉවසගෙන ඉන්නෙ. ටීනුව සීරියස් ගන්න ගොඩක් අය බලාගෙන ඉන්නව. අඩි පහයි සෙන්ටිමීටර් කාලට වඩා උස, ඒ තරම් තරබාරු නොවන, පෙනුම තියෙන අය.

මම පරිපථයට විදුලිය දීල බැලුව. පොඩි “හෂ් ”සද්දයක් එක්ක ක්ලේ බෝල කැරකෙමින් ජග්ගුව ඇතුළේ ඉලිප්සීය ගමනක යෙදෙන්න පටන් ගත්තා. මේ ක්ලේ බෝල කැරකෙන වේගය එකිනෙකට වෙනස්. ඒක මම හිතා මතා කළ ඉතාමත් නුවණක්කාර වැඩක්.

“වූ… ! බූ… !! ඒකෙ ලස්සන !!!”

එයා කට ඇරගෙන ජග්ගුවෙ කැරකෙන ක්ලේ ගුලි දිහා බලන් ඉන්න ගත්ත. ” ඒත් මේ හරිය ටිකක් පාළුයි වගේ…”

“මේ පොඩ්ඩක් ඉන්න… ඉස්සෙල්ල මම මේකෙ වැඩ ඉවර කරන්න ඕන. පස්සෙ ඔයා ඔය ලස්සන කිරිලි කරන්න.. ” මම කිව්ව.

කාමරේ කෙළවරේ රාක්කෙ උඩ තිබ්බ වීදුරු බෝතලේක මයිටාවෝ ටිකක් හිටිය. මේ වැඩේට ඕන නිසාම විශේෂයෙන් සැලකිලි දීල හදපු, තරමක් තරබාරු මයිටාවො. මං ඉතා පරිස්සමෙන් උන් එකින් එකා අරන් තුන්වෙනි ග්‍රහලෝකේ උඩින් තිබ්බා. තෙත තීන්ත සහ සිගරට් අළු ගෑවිලා, නිල්, කොළ වගේම දුඹුරු පාටත් වෙමින්, මයිටාවෝ ටික ග්‍රහලෝකෙ උඩ ඇවිදින්න ගත්ත. මට හිතෙන්නෙ උන් සිගරට් දුමට මත්වෙලා.

“ඔන්න එකක වැඩ ඉවරයි..තව අටක් තියෙනව.. ”මම හුස්මක් ගත්ත.

“බූ…අද හවස ටෝගෙ ඉත්තෑවට තෑග්ගක් ගන්න යන්න ඕන..”

“ඔයා යන්න..”මම කිව්ව. ටෝ කියන්නෙ සිලිකන් වැලි එකේ ඉන්න අඩි හයකටත් වඩා උස, ඌරු මී පෙනුමක් තියෙන කොල්ලෙක්. ටීනු පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වෙලා ඉන්නව වගේ ටෝ හිතන් ඉන්නෙ එයා ගැහැනු ළමයින්ගේ සිහින කුමාරය කියලයි. අර මොකක්ද සෝඩ ඇඩ් එකක තිබ්බ පොපියන චමත්කාර සංගීතෙ තාලෙට මිනිහ ඇවිදිද්දි ගෑනු ළමයි නිකං මත්වෙලා වාගෙ ඒක දිහා බලන් ඉන්නව. මිනිහට ඉන්නව ඉත්තෑවෙක්. හෝඩියේ අකුරු තිස් තුනෙන්, විකාරම අකුරු දහ හතාමාර, අප්සට් විදිහටම අමුණල දාපු නමක් ඒ ඉත්තෑවට තියෙන්නෙ. හෙට ඒ ඉත්තෑවගෙ උපන්දිනේ කියල ඌරු මීය පාටියක් දානව.

ඌරු මීය ටීනු ගැන මාර උනන්දුයි. ඔක්කොටම වඩා එයා ටීනුගෙ පංතියෙ. ඒ නිසා මට වඩා වැඩියෙන් බෝනස් වෙලාවක් ටීනු එක්ක කොමළ කරන්න එයාට අවස්ථාව ලැබෙනව.

“මට වැඩ තියෙනව. ඌරු මීයෙක්ගෙ ඉත්තෑවට තෑග්ගක් තෝරන්න යනවට වඩා…”

“බූ !!! ඔයාට තියෙන්නේ මාර ඉරිසියාවක්!!! ” ඒ ගමන එයා කෑගහන්න ගත්ත. ”ටෝට ගෑනු ළමයි ආස එක එයාගෙ වැරද්දක් නෙමෙයි… “

ඊට පස්සෙ එයා අත් බෑග් එකත් අරන් කාමරෙන් එළියට ගියෙ පුළුවන් උපරිම වේගෙන් දොර වහගෙන.

කාමරේ දෙදරුම් කෑව. ඌ ගැන මහ පුදුම අමාරුවක් අම්මප මේ ගෑනුන්ට තියෙන්නෙ.

මතු සම්බන්ධයි.

සඳිනි තෙන්නකෝන් 


නව අදහස දක්වන්න