අසූ ගණන්වල හයිබ්‍රිඩ් සත්තු | දිනමිණ

අසූ ගණන්වල හයිබ්‍රිඩ් සත්තු

එකදාස් නමසිය අසූ ගණන්වල ඉපදුණු අපි වාගෙ උදවිය දශක දෙකකට පස්සෙ එක්තරා හයිබ්‍රිඩ් සත්තු ටිකක් වෙලා. අපිට ඉන්න වුණේ අතීතය සහ අනාගතය කියන පාන්පෙති දෙකක් මැද්දෙ තෙරපුණු සැමන්-අර්තාපල් තලපයක් වගේ.‍ රාත්තල් දහයක් පහළොවක් බර බ්ලොක් ගල් වගේ ඩෙස්ක්ටොප් කම්පියුටරේ ඉදන් ඇක්සයිස් පොතක් විතර ටැබ්ලට් එකක් වෙනකම් තාක්ෂණය දියුණු වුණේ අපි වයසට ගිය වේගෙන්මයි.

තාක්ෂණය විතරක් නෙමෙයි, අර කියාපු අර්තාපල්-සැමන් තලපේ ඇතුළෙ තිබුණු සංකල්ප පවා අද වෙනකොට වෙනස් වෙලා. එහෙම සංකල්පයක් තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර.

ඉස්සර අපේ පොඩි කාලෙ කෑම පෙට්ටිය පිරෙන්න බිත්තරයක් හාමු කරපු, සොසේජ් පෙති ටිකකින් සරසපු ක්ෂණික නූඩ්ල්ස් පැකට් එක දැක්කම පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නෙ ටීවී එකේ අර ඇඩ්වටීස්මන්ට් එකේ ළමයා වගේ සුරු සුරු ගාලා ඒක උඩට ඇද ඇද කන්න පුළුවන් හින්දයි.

එහෙම නැත්නම් සුදු පාන් පෙති දෙකක් මැදට යහමින් බටර් හරි මාජරින් තලියක් ගාලා සුදු සීනි ඇට ඉහලා පෙති හතරක් පහක් අඩුක් කරපු කෑම පෙට්ටියක් මේසෙ උඩ ඉන්නෙ බොහොම ආඩම්බරේට.

තාත්තගෙන් කන්නලව් කරලා ඉල්ලගෙන එන රුපියල් පහෙන් ඉස්කෝලෙ කැන්ටිමේ තියන මාළු නැති අල බනිස්, රෝල්ස්, සීනි සම්බෝල බනිස් ඇතුළු ශෝට්-ඊට්ස්, කන්න අපිට ඒ කාලෙ තහනමක් තිබ්බෙ නෑ. උදේ හිට රෑ වෙනකම් දුවන ටී.වී වැඩසටහන්වල වුණත් පේස්ට්‍රි හදන හැටි කියා දුන්නා මිසක් ඒවා කන්න එපා කිව්වෙ එහෙමත් කෙනෙක් විතරයි. පේස්ට්‍රි හදන්නෙ කොහොමද, පැස්ටා හදන්නෙ කොහොමද, තට්ටු කේක් හදන්නෙ කොහොමද කිය කිය එක එක ටීවී නැන්දිලා මාමිලා අපිව මේ වගේ කෑම කන්න උනන්දු කලා මතකයි. ඔය විදියට ටීවී එකෙන් බලාගෙන චීස් එහෙම දාලා හදලා දෙන පෝසත් කෑම පෙට්ටි එකොළහ වෙද්දි මේස උඩ දිලිසි දිලිසි ඉන්නෙ හරිම ආඩම්බරෙන්.

ඒ කාලෙ පොල්තෙල් වෙනුවට රටේ ලෝකෙ අහලා නැති අර තෙල් මේ තෙල් කන්න කියපු දොස්තර මාමලාත් හිටියා මතකයි. ඒ විතරක්ද ඒ කාලෙ කොස්,දෙල්,මුං ඇට,කවුපි,කඩල හරිම දුප්පත් කෑම. රතු හාල්, රතු සීනි දුප්පත්කමේ සංකේත. කුරක්කන් ගැන කතා කළෙත් නැති තරම්. පරළු පාන් කාටවත් පේන්න කන්නෙත් නෑ.

ඒ කාලෙ පොශ් ඇන්ටිලා ළමයින්ගෙ කෑම පෙට්ටිවලට දැම්මෙ කුකුල් මස් නෙමෙයි චිකන්. පියාඹන්න බැරි වුණාට ඒ කාලෙ චිකන් හරිම ඉහළ කෑමක්. ඒ කාලෙ ඔය බොයිලර් චිකන්, දවස් ගාණෙන් මරණ හෝමෝන් චිකන් කියලා කතා තිබ්බෙ නෑ. මාළුන්ට ෆෝමලින් ගහලා කියලා කවුරුත් කිව්වෙත් නෑ. ගෝවා ගෙඩියෙ ඇතුළෙ කෘමිනාශක තියෙන බවක් අපි දැනගෙන හිටියෙත් නෑ. පැපොල් ගෙඩියට, අන්නාසි ගෙඩියට කාබයිට් පොවන බව ප්‍රසිද්ධ වුණෙත් නෑ.

ඒ වගේ කාලෙක අපි සත පනහට රුපියලට බුල්ටො, චුයින්ගම්, අයිස් චොක්ස්, අයිස් පැකට් වගේ කඩචෝරු සේරම කාලා දැම්මෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව.

අද වෙනකොට එහෙව් අපට කාබනික පොහොර, ඓන්ද්‍රීය ආහාර (Organic Food),සෞඛ්‍යය සම්පන්න ආහාර සහ ජීවන රටාව (Healthy Food and Healthy Life Style) කියලා එක එක අලුත් සංකල්ප ඇවිත් තියනවා. ඒ විතරක්ද ඉස්සර කාලෙ කවුරු හරි ව්‍යායාමෙට පාරෙ දිව්වොත් පිස්සෙක් දිහා බලනවා වාගෙ බලාපු කට්ටිය අද වෙද්දි ඒක සාමාන්‍ය දෙයක් විදියට දකින්න පුරුදු වෙලා. මේ වගේ වෙනස් වෙනස් රැලි ගොඩකට අහුවෙලා පාවි පාවි ඉන්න අසූ ගණන්වල හයිබ්‍රිඩ් සත්ත්ව කොට්ඨාශයට ඉදිරියේදිත් මේ වගේ අපූරු හැලහැප්පීම්වලට මුහුණ දෙන්න පුළුවන් වේවි කියලා නම් හොඳටම විශ්වාසයි.

අමාලි මල්ලවආරච්චි
@mllwrchch


නව අදහස දක්වන්න

Or log in with...