ඩමි මහත්මයා | දිනමිණ

ඩමි මහත්මයා

'අනේ දෙයියනේ, මගේ උගුර වැඩ කරන්නෙත් නෑ මෙන්න හොරු, අල්ලපියෝ කියලා කෑ ගහලම. අනික අනිත් හැමෝමවම බේරගනියෝ කියලා කෑ ගහලා මට ඇතිවෙලා. එදා දැක්කනෙ වැඩේ. අර අසමජ්ජාති ෆෝන් එක නොදන්න එකෙක්ගෙ සාක්කුවේ බැහැගෙන ගිය ලස්සන.

ම්හ්!! ඒවා වැඩක් නෑ එක අතකින්. පරණ කුණු!!'

'ස්...ස්...මේහ්...ටීටී...'

මම කතා කළේ මගේ එහා පැත්තෙ ෆුල් සූට් එකක් ඇඳලා බිම බලාගෙන ඉන්න ඩමි මහත්මයට. එයාගෙ සංවරකම මම ස්....ස්...කියනකන් විතරයි. ඊට පස්සෙ ඉතිං බලන්න බැරියෑ සෙල්ලමේ තරම. එයා හරිම හැන්ඩ්සම්. ඒ වුණාට ඕපදූප හොයනවා. නෑ, මම කියන්නෙ මමත් ඕපදූප හොයනවා තමයි. ඒ වුණාට එයා ඕපදූප කියනවා දැක්කම මට පොඩි කළකිරීමක් ඇති වෙනවා.

'ඇයි? අලුත් මොනව හරි තියෙනවද?'

එයා හරි උද්‍යෝගයෙන් ඇස් පුංචි කරලා ඇහුවා.

'ළඟට එන්නකෝ'

කියන පරක්කුවට එයා මගේ ළඟ. මගේ හිත පොඩ්ඩක් ගැස්සුණා වගෙත් වුණා. ටීටී මගේ ඇස් ඇතුළ බලාගෙන හිනාවෙවී උන්නා.

'කුච්නා කහෝ...

කුච් බී නා කහෝ'

ස්ටෝරුව ඇතුළෙ හිටිය අතක් කැඩුණ ඩමි මහතෙක් ගැඹුරු කටහඬින් ඒ සිංදුව කිව්වේ මොකටද මන්දා.

ඔයාට මතකද මේ ළඟක ඉඳන් අපේ සාප්පුවට එන උස, සුදු මිනිහා. අර ඉබන් ද මොකක්ද අමුතු නමක් තියෙන කෙනා?'

එයාට කල්පනා කරන්නවත් ඕන වුණේ නෑ.

'හහ්...මට මතකයි. මහ වල් මිනිහෙක්. ඔයාට අන්දලා තිබුණ ලස්සන කපු ගවුම ගැලෙව්වෙ එයානෙ. ගවුම ගලවන වෙලේ මම දැක්ක ඔයාගෙ බෙල්ලත් අත ගානවා.'

කියන්න ගිය කතාව තව පොඩ්ඩෙන් අමතක වෙන තරම් ඒ සිද්දිය. මම ඔළුව ගස්සලා ඒක අමතක කරන්න උත්සාහ කළා.

'ඉතිං?'

එයා ආයෙත් මගේ ඇස් දෙකේ කිමිදෙනවා.

'ඒ මිනිහයි, බියංකයි යාළුයි. දැන් මාස ගාණක ඉදන් කුලියට ගෙයක් හොයනවා. බියංකා හිතන් ඉන්නෙ දික්කසාද වෙලා ඉබන්ව බඳින්න. එයා පත්තරවල ඇඩ් බල, බල කෝල් කරනවා මට ඇහුණා.

බියංකා ඉබන් එක්ක ගිය සතියෙ දවසක මීමුරේ ගියා. ඔයාට මතක නැද්ද? අර දවස් දෙකක් අපේ සාප්පුවත් වහලා තිබ්බේ.'

ටීටී හ්ම්....හ්ම්...ගාමින් කල්පනාවකට වැටුණා.

'එතකොට ඉබන් එක්ක ආපු ලස්සන ගෑනු ළමයා කවුද? එයාගෙ කොණ්ඩෙ ලස්සන ඔයා දැක්කද? අනික එයාගෙ ඇස්!! හරියට ගැඹුරු මුහුදක් වගෙයි. මට කොච්චර බලා හිටියත් එපා වෙන්නෑ.'

ආයෙ මාව ගැස්සුණා. මම අංශක 20 ක් හැරිලා එයාගෙ මූණ දිහා හොඳට බැලුවා. ටීටී හිටියෙ වෙන ලෝකෙක අතරමං වෙලා. එයාගෙ මූණෙ තිබ්බෙ අමුතුම කාන්තියක්.

එදා ඇවකාඩෝ කියපු විදිහට එයා තමයි ඉබන්ගෙ කෙල්ල. නම අමොර්. ඇවකාඩෝ කිව්වෙ ඒ දෙන්නා තමයි බඳින්නෙ කියලා.

'හහ්...බඳියි. බඳියි'

ටීටී මහ නොරිස්සුමෙන් වගේ උත්තර දුන්නා. අමොර් ඉබන්ව බඳිනවා කිව්වම එයා මොකටද කලබල වෙන්නෙ? අනික ඉබන් බියංකාවත් බඳිනවා කියලනේ කියන්නෙ. ඒකට කවුරුත් කලබල වෙන්නෙ නෑනෙ. මේ ඩමියටත් තමන්ගෙ තරමට ඉදිමිලා ඉන්න බෑ. යනවා මනුස්සයෝ එක්ක පෑහෙන්න. හිතේ ඇති එයත් අමොර්ව බඳින්න. එයා මේ නිකංම නිකං ඩමියක් කියලා මතකත් නෑ. කළු ගලේ ඔළුව ගහගන්නයි හදන්නෙ.

'මේහ්...ටීටී...ඔයාට අමොර් ගැන මොන බලාපොරොත්තු තිබ්බත් වැඩක් නෑ. එයා ඔයාව ගණන් ගන්නෙවත් නෑ. අනික ඔයා මිනිහෙක්යැ? ඔයා ඩමියක්නෙ.'

ඒ පාර ගැස්සුණේ ටීටී. ඒත් ඇයි මට කේන්ති යන්නෙ? ටීටී කාට ආස වුණාම මගේ මොකෝ. අනික මේ ඕපදූප හොයන ඩමියක්. එයා හැන්ඩ්සම් එක වෙනම කතාවක්.

'මම එහෙම දෙයක් හිතලා කිව්වෙ නෑ එම්. ඔයා කේන්ති ගන්නෙපා.'

'හ්ම්...නෑ.'

'ඉතිං..'

'මම දවසක් අහගෙන හිටියා අපේ සාප්පුවේ ගෑනු ළමයි දෙන්නෙක් කතා වෙනවා. එයාලා කිව්ව විදිහට ඉබන් බියංකා ඒක්ක මීමුරේ ගිහින් බියංකගෙ හස්බන්ඩ්ට අහු වෙලා. ඒ මනුස්සයා ඉබන්ට නිල් වෙන්න ගහලා. හොඳ වැඩේ නේද අනේ? අතක්, පයක් කඩලා දාන්නයි තිබ්බේ.'

ඒ වෙනකොට ටීටී ගෙ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා මට හිතුණා. එයාට උනන්දුවක් තිබ්බෙ නෑ මම කියන දේවල් අහන්න. එයා මගේ මූණ දිහා බලාගෙන ගැඹුරු මුහුදක කිමිදෙමින් හිටියා වගෙයි මට දැනුණේ. ඒත් මට බය හිතුණා. මේ ඩමි මිනිහව ගැඹුරු මුහුදෙ ගිලුණොත් කාරිය!! එයාට පීනන්න පුළුවන්ද දන්ෙනත් නෑ.

'ටීටී.. ඔයාට පීනන්න පුළුවන්ද?'

ටීටී පුදුමය අඟවන්න ඇහිබැම උඩට කළා. ඊට පස්සේ අත් දෙකත් දෙපැත්තට වීසි කරලා 'නෑ' කියලා කිව්වා.

හරි. ඉතිං මේ ඩමිය ගිලිලා මැරෙනවා ෂුවර්. මට ලොකු දුකක් ඇති වුණා.

'ටීටී....ඔයා මුහුදෙ ගිලිලා මැරෙන්නෙපා.'

ටීටී ආයෙත් පුදුම වෙලා අත් දෙක දෙපැත්තට වීසි කළා. ඊට පස්සෙ මගේ ළඟටම ආවා.

'ඔයාට මොනවා වෙළාද එම්? මම කොහොමද මුහුදෙ ගිලෙන්නෙ?

'ඒක අමතක කරන්න ටීටී. මගේ මොලේ අවුල් වෙලා තියෙන්නේ. සමහර දේවල් මටම තේරුම් ගන්න බැහැ. අපි බියංකායි-ඉබනුයි ගැන කතා කරන එක නවත්තමු.'

'ඒත් එම් ඇයි ඔයා මාව මුහුදෙ ගිලෙනවා කියලා හිතුවේ? අපි කවදාවත් මුහුද දැකලවත් නෑනේ. අපිට කවදාවත් මුහුද දකින්න වෙන්නෙත් නෑ එම්.'

එයා මහා දුක්බර මූණකින් මගේ දිහා බලන් හිටියා. හරියට මම කවදාවත් එයාව තේරුම් ගන්න උත්සාහ කළේ නෑ වගේ හැඟීමකින්. ඒත් ඇයි මම එයාව තේරුම් ගන්න උත්සාහ කරන්නෙ කියලා ආයෙම ප්‍රශ්නයක් හිතට ආවා.

එයා ඔළුව නවාගෙනම කලින් හිටපු තැනට ඇවිදගෙන ගියා. යන අතරේ එක පාරක් නැවතිලා මගේ දිහා බැලුවා. බලලා දුක්බර හිනාවක් පෑවා. මම යමක් කියන්න උත්සාහ කළත් ඒ කියන්න හදපු දේ මගේ කටින් පිටවුණේ නෑ. මගේ පපුව හිරවෙනවා වගේ දැනුණා. ඇස්වල මීදුමක් බැඳිලා වගේ තේරුණා. එතකොටම ටීටී එයා ඉන්න තැන ඉදන් පාවෙන හාදුවක් හුළඟේ පා කරලා එව්වා. ආයෙමත් සිංදුව පටන් ගත්තා.

'මුජ්කෝ පතා හේ

තුම්කෝ පතා හේ

සාමයි කා යේ පල්තම් සා ගයා හේ'

මාව ‍ෆ්‍රීස් වුණා.

කාංචනා අමිලානි
@moogater


නව අදහස දක්වන්න

Or log in with...