නළුවෝ කවුද? | දිනමිණ

නළුවෝ කවුද?

අමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වසරකට වැය කරන මුදල ඉතා අධික ය. එහෙත් මේ පර්යේෂණ හා අත්හදාලීම් නවත්වා එම මුදලින් අමෙරිකානුවන්ට ආහාර ලබා දිය යුතු යැයි එරට ජනතාව නො කියති. ජපානය ස්වාභාවික විපත්වලින් පුරවැසියා ආරක්ෂා කරගැනීම සඳහා නොකඩවාම පෙර පුහුණු වැඩසටහන් පවත්වයි. ඒ සඳහා සැලැකිය යුතු මුදලක් ද යොදවයි. මේවා බොරු වැඩ යැයි ජපන් ජාතිකයෝ නොකියති. නූතන ලෝකය අභියෝග ජයගන්නේ අලුත් උපායමාර්ග ඔස්සේ ය. පෙර පුහුණුව, අත්හදාබැලීම්, පර්යේෂණ ආදිය එම උපායමාර්ගවලට අයත් ය.

පසුගිය විසිපස්වන දා ගලේවෙල ප්‍රදේශයේ දී මෙබඳු පෙරහුරුවක් පැවැත්විණි. එහි අරමුණ වූයේ අනතුරකදී රෝහල් සේවකයන්, නිලධාරීන්, කාර්මිකයන්, රියැදුරන් හා ජනතාව ක්‍රියා කළ යුතු නිවැරැදි ආකාරය හඳුනාගැනීම ය. විශේෂයෙන් අනතුරකට මුහුණදුන් තැනැත්තකු ආරක්ෂාකාරී ලෙස ප්‍රවාහනය කරන්නේ කෙසේ ද යන සාධකය ද මෙහි දී සොයා බැලිණි. ඒ අනුව සජීවී අනතුරක් මවමින් පුහුණුව සිදු විය. එහෙත් කිසියම් හේතුවක් නිසා මේ වටිනා කටයුත්ත අතරමඟ නවතා දමන්නට සිදුවිය. එම හේතුව ජනතාව හොඳහැටි දන්නා බැවින් අපි ඒ ගැන කතා නොකරමු. එහෙත් මේ පුහුණුවේ වැදගත්කම කාටත් පැහැදිලි කර දිය යුතු ය.

දඹුල්ල - කුරුණෑගල මාර්ගය අනතුරු බහුල මාර්ගයකි. පසුගිය මාස තුන ඇතුළත දී ගලේවෙලට ආසන්න මාර්ගයෙහි සිදු වූ රිය අනතුරුවලින් නම දෙනෙක් මිය ගොස් සිටිති. තුවාල ලැබූ පිරිස ද විශාල ය. අනතුරක් සිදු වූ විට ක්‍රියා කළ යුතු ආකාරය නොදන්නා බැවින්ද, රෝගීන් රෝහලක් වෙත ගෙන යා යුතු නිවැරැදි ආකාරය නොදන්නා බැවින් ද ඇතැම් මරණ සිදු වී ඇත. ඇතැම් රෝහල් සේවකයෝ පවා මෙබඳු අවස්ථාවල දී කලබලයට පත්වෙති. පුහුණුව ඒ අයට වුව වැදගත් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගලේවෙල රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලිසිය එක්ව මේ පුහුණුව සැලැසුම් කර තිබුණේ මීට මාසයකට පමණ පෙර ය.

සජීවී ලෙස සිද්ධිය රඟදැක්වීම සඳහා යොදාගෙන තිබූ කාලය විනාඩි පහළොවක් බව කියති. එයින් පෙනීයන්නේ රෝහලේ කටයුතුවලට හෝ මහා මාර්ගයේ රථවාහන ධාවනයට හෝ විශාල පාඩුවක් සිදු නොවන බව ය. විනාඩි පහළොව පාඩුවක් ලෙස දකින්නා පුහුණුවේ වැදගත්කම හා එහි ප්‍රතිඵල නො දන්නා කෙනකු විය යුතු ය. ඊළඟ ප්‍රශ්නය වන්නේ ගංවතුර හා නායයෑම් නිසා රට ආපදාවකට ලක් වූ අවස්ථාවක මෙබඳු පුහුණුවීම් සුදුසුද යන්න ය. මීට මාසයකට පමණ පෙර පුහුණුව සඳහා දිනය යොදාගත් බැවින් එය ක්‍රියාත්මක කිරීමේ වරදක් අපට නම් නො පෙනෙයි.

රජයේ උසස් නිලධාරියකු හෝ කිසියම් දේශපාලකයකු හෝ මෙබඳු වැඩසටහන් හා අභ්‍යාස ගර්හාවට ලක් කරන්නේ නම්; ඒවාට බාධා කරන්නේ නම්; එය කනගාටුවට කාරණයෙකි. ලෝකය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කෙනකු එබඳු බාධාවක් නොකරන බව අපගේ වැටහීම ය. රිය අනතුරු සම්බන්ධයෙන් පමණක් නො ව; ස්වාභාවික විපත් සේ සලකන ගංවතුර, නාය යෑම්. සුනාමි ආදිය ගැන ද ඉහත ආකාරයේ පෙර පුහුණු වැඩසටහන් පැවැත්විය යුතුය. ඒවා නාට්‍යය ලෙස ද, ඒවායෙහි නිරත පුද්ගලයන් නළුවන් ලෙසද සලකා බැහැර කිරීම නූතන දැනුමට කරන අපහාසයකි. ඇතැම්විට මෙබඳු වැඩටසහන් මැදට පැන ඒවා අවුල් කරන කෙනකුට ද රඟපෑමක් කළ හැකිය. එවිට ඔහු ද නළුවකු වන්නේ ය.

ගිරිතලේ ප්‍රදේශයෙන් වාර්තා වන මිනිසා හා වලසා පිළිබඳ කතාන්දරය ද මේ මොහොතේඅප සිහියට නැ‍ඟේ. ඒ කතාව මෙසේ ය. වනජීවී රෝහලක සිටි වලසෙක් කූඩුව කඩාගෙන එළියට පැන ගම් වදී. වලසා සොයමින් වනජීවී නිලධාරීහු ගම් පීරති. මේ අතර හදිසියේම ගැමියකු වෙත කඩා පනින වලසා ඔහුට මාරාන්තික තුවාල සිදු කරයි. මෙය දකින වනජීවී නිලධාරියෙක් මිනිසා බේරාගැනීම සඳහා වලසාට වෙඩි තබයි. අවාසනාවක ට වලසා මිය යයි. නිලධාරියා වලසාට වෙඩි තබන්නේ මිනිස් ජීවිතයක් බේරාගැනීම සඳහා ය. මිනිස් ජීවිතය බේරුණත් එම ජීවිතය බේරාගත් නිලධාරියා ඇතුළු කණ්ඩායමක් වැඩ තහනමකට ලක්ව සිටිති.

සිද්ධිය එතැනින් නිමාවකට පත්වන්නේ නැත. වලසාගෙන් මිනිසා බේරාගත් නිලධාරියා අපහසුවට පත්වන ආකාරයෙන් ඇතැම් බලධාරීන් ක්‍රියා කර ඇත. ඇතැමුන් ඔහුට බැණ වැදී ඇත. සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට වනජීවී නිලධාරීන් බැඳී සිටින බව සත්‍යයෙකි. එහෙත් ඉහත සිද්ධියේ දී මිනිසාද, වලසා ද යන තීරණය වනජීවී නිලධාරියා විසින් ගත යුතුව තිබේ. ඔහු ගත් තීරණය නිවැරැදි බව අපගේ පිළිගැනීම ය. මේ සිද්ධියෙන් පසු වනජීවී නිලධාරීන් අනතුරුදායක සිදුවීම් මඟහැර යෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට තීන්දු කර තිබේ. එය රටේ ජනතාවට විශාල පාඩුවකි. බලධාරීන් මේ ගැටලුව විසැඳීමට පියවර ගත යුතු ය.

රාජ්‍ය නිලධාරීන්ට හා සේවකයන්ට ගෞරවණීය ලෙස තම රාජකාරිය කරගෙන යෑමේ අවස්ථාවක් තිබිය යුතු ය. කිසිවකු ඊට බාධා කරන්නේ නම්; ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම රජයක වගකීම වෙයි. බොහෝ දේශපාලකයන් රාජ්‍ය සේවයේ වටිනාකම දන්නේ නැත. බලයෙන් හිස උදුම්මා ගත් අය ගිය ආණ්ඩුවේ සිටියහ. මේ ආණ්ඩුවේ ද සිටිති. මේ අය කුමක් හෝ විකාරයක් සිදු කොට තමන්ගේ නම කතාබහට ලක්වීමට සලස්වති. සමහරු මේ සඳහා රාජ්‍ය ආයතනවලට කඩා වදිති. මෙබඳු එක් පුද්ගලයෙක් වරක් රූපවාහිනියට කඩා වැදී තීන්ත නාගෙන ගෙදර ගියේ ය. වත්මන් දේශපාලකයන් මේවා පාඩමකට ගැනීම වැදගත් ය.

අප ජීවත්වන්නේ වගවීමකින් කටයුතු කළ යුතු අවදියක බව අවධාරණය කළ යුතු ය. රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝග ඊට සාක්ෂි දරනු ඇත. එක අතෙකින් රටට බලපාන ස්වාභාවික විපත් ඉහළ ගොස් තිබේ. ස්වාභාවික විපත් අතින් ලෝකයේ හතර වන ස්ථානය අපට හිමි වී ඇති බව අලුත්ම වාර්තාවකින් පෙන්වා දෙයි. තව අතෙකින් රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. දිනපතාම මාරක රිය අනතුරු හත - අටක් සිදු වේ. තවත් අතෙකින් මත් උවදුර වැනි දේවල් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. මේවා පරාජය කළ හැක්කේ බුද්ධිමත් හා ප්‍රායෝගික වැඩසටහන්වලින් මිස ජනප්‍රිය සටන්පාඨවලින් නොවේ.

අවසන් ලෙස මෙසේ ලියා තබන්නට පුළුවන. ඔබට නළුවකු වීමට අවශ්‍ය නම්; හැකිතාක් රඟපාන්න. එහෙත් ඔබට සමාජ සේවකයකු වීමට අවශ්‍ය නම්; රංගනය අතහැර සත්‍යයට මුහුණ දෙන්න!

 

නව අදහස දක්වන්න