ගාල්ල තණතීරුවේ තරග පාවාදීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි | දිනමිණ

ගාල්ල තණතීරුවේ තරග පාවාදීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි

ෆවුස් මොහොමඩ්

අයි.සී.සී.යෙන් පරීක්ෂණයක්: ශ්‍රී ලංකාව සහයපළ කරයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලබන නොවැම්බර් මස 14 වැනිදා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ ප්‍රතිළුලය වෙනස් කිරිම සඳහා තණතීරුව පළුදු කිරිමට ක්‍රීඩාංගණ නිලධාරියකු කැමැත්ත පළ කිරිම සම්බන්ධව නැගී ඇති චෝදනාව ගැන පරික්ෂණයක් පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) කියයි.

අල් ජසීරා රූපවාහිනි සේවයේ වාර්තාමය වැඩසටහනකින් හෙළිදරවු වූ මේ සිදුවීම බැරෑරැම් එකක් ලෙස සළකමින් පරික්ෂණ කටයුතු සඳහා එහි සම්පුර්ණ වාර්තා සහ සාක්ෂි අල් ජසීරා රූපවාහිනි සේවයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු හා හිටපු ඉන්දීය ක්‍රීඩකයකු මේ ටෙස්ට් තරගයේ වාසිය අත්කර ගන්නා ආකාරය ගැන සාකච්ඡාවක් පැවැත්වූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද ඉදිරියේදී විකාශය වීමට නියමිත බව එම වැඩසටහනේදී සඳහන් වී තිබේ.

‘අපට ලැබී ඇති සීමිත තොරතුරු මත පදනම්ව සාමාජික රටවල දූෂණ විරෝධී නියෝජිතයන් සමග එක්ව දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.’ නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය කියා සිටි.

මේ ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමා නොවීමටත්. තරගය දින හතරක් ඇතුළත අවසන් වීමටත් හැකිවන ආකාරයෙන් තණතීරුව සකස් කිරීම පිළිබඳ ඉහත කී පුද්ගලයන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

මීට අමතරව මේ ක්‍රීඩාංගණයේදීම මීට පෙර සිදුවූ එවැනි සිදුවීම් සම්බන්ධව අල් ජසීරා රූපවාහිනියේ වාර්තා වැඩසටහනින් තොරතුරු අනාවරණය වි තිබේ. පසුගිය ජූලි මාසයේ ඉන්දීය පිල සමග පැවැති ටෙස්ට් තරගයේදී තණතීරුව පිතිකරුවන්ට වාසිදායක අයුරින් සකස් කර තිබූ බවට චෝදනා එල්ලවී ඇත. එමෙන්ම වසර 2016 දී ඔස්ට්‍රේලියාව සමග පැවැති ටෙස්ට් තරගයේදී තණතීරුව දඟපන්දු යවන්නන්ට වාසිදායක ලෙස සකස් කර තිබූ බවට ද මේ වාර්තාමය වැඩසටහනින් චෝදනා එල්ලවිය.

මේ අතර සිදුවීම සම්බන්ධව අයි.සී.සී.යේ පරික්ෂණයට සම්පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ක්‍රීඩාවෙන් දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, එවැනි සිදුවිමකට වරදකරුවන් වන ඕනැම පුද්ගලයකුට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. අයි.සී.සී.ය සමග තවදුරටත් සම්බන්ධ වෙමින් ඉදිරියේදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී දූෂණ විරෝධී මෙහෙයුම් සිදුකළ යුතු ආකාරය ගැන සඳහන් වන උපදෙස් අනුගමනය කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි. 


නව අදහස දක්වන්න

Or log in with...