වතුර නැති කරන වන්දනාකාරයෝ | දිනමිණ

වතුර නැති කරන වන්දනාකාරයෝ

බෞද්ධ උත්සව කාලවලදී අනුරාධපුර පූජා නගරය ඇතුළු අවට ප්‍රදේශවල පානීය ජලය සපයා දෙන වාරි ජලාශ ආශ්‍රිතව සිදුවෙමින් පවත්නා ජල දූෂණය පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ. ජල දූෂණය පිළිබඳව මෑතකදී ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් සිදුකළ අධ්‍යයනයකදී කරුණු හෙළිදරව් වී ඇත. මෙම ගවේෂණාත්මක පර්යේෂණය මණ්ඩලයේ ජල සුරක්ෂිත හා සැලසුම් අංශය මඟින් මෙහෙයවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අනුරාධපුර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළමනාකරු (ක්‍රියාත්මක හා නඩත්තු ඉංජිනේරු) සී.එස්. ‍ලොකුබරණ මහතා ප්‍රකාශ තළේ මිනිස් ප්‍රජාව, සත්ත්ව හා මත්ස්‍ය ගහණය සඳහා අත්‍යවශ්‍ය ජල සම්පාදනය සඳහා අතීතයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කය 3000කට වැඩි වැව් සංඛ්‍යාවක් පිහිටා ඇති බවයි.

ඒ ඒ ප්‍රදේශවල ගංවතුර තර්ජනය හීලෑ කිරීම, භූගත ජල සම්පත් සුරැකීම හා ජලය ආශ්‍රිත විනෝදාත්මක හා සංස්කෘතිමය ක්‍රියාකාරකම් සඳහා පිටුවහලක් ලෙස මෙම වැව් පද්ධතිය යොදාගැනේ. ජලසම්පාදන මණ්ඩලය මෙරට ජනතාවට පිරිසුදු, ආරක්ෂිත පානීය ජලය සපයා දීමේ වගකීම පැවරී ඇති එකම රාජ්‍ය ආයතනයයි. අනුරාධපුර සහ තදාසන්න ප්‍රදේශයේ නුවරවැව, තිසාවැව, තුරුවිල, රාජාංගණය සහ නාච්චාදූව වැව් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය සපයා දෙන ප්‍රධාන ජලමූලාශ්‍ර වේ. විශේෂයෙන් නුවරවැව, තිසාවැව සහ තුරුවිල ජලාශ මඟින් දිනකට ජල ඝ.මී. 40,000ක පමණ ජල පරිමාවක් පිරිපහදු කොට අනුරාධපුර ජනතාව වෙත බෙදා දෙනු ලබයි.

ජල සුරක්ෂිත හා සැලසුම් අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ජලාශ කීපයක් ජලයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳව දත්ත විශ්ලේෂණය කර ඇති අතර, වසරෙන් වසර වැව් ජලයේ පවිත්‍රතාවය ඇතුළු ගුණාත්මක ස්වභාවය අඩුවෙමින් පවත්නා බවට නිශ්චිත නිගමනයකට එළඹීමට හැකිවී තිබේ. ජල සම්පාදන මණ්ඩලයේ වැඩි අවධානය යොමුකර ඇත්තේ එම ජලාශවල ජලයේ ගුණාත්මකභාවය මේ අයුරින් විනාශ වීම සඳහා මිනිස් ක්‍රියාකාරකම්වලින් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව සොයාබැලීම වන අතර, සපුරාගැනීමට අපේක්ෂිත ඉලක්ක වනුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශවල ක්ෂුද්‍රජීව විද්‍යාත්මක දූෂණය ගණනය කිරීම හා විශේෂයෙන් පානීය ජලය සපයාදෙන තිසාවැව, නුවරවැව, තුරුවිල හා රාජාංගණ ජලාශවල ජල දූෂණ ප්‍රතිශතය හඳුනාගැනීම හා සසඳාබලා ඉදිරි පියවර ගැනීමය.

මෙම අධ්‍යයන වැඩසටහන් 2013 සිට ඉදිරියට මෙම වැව් ආශ්‍රිතව මාසිකව ලබාගත් දත්ත අනුසාරයෙන් සිදුකර ඇති අතර, ජලාශයන්හි ස්වාභාවික ජල ධාරිතාවය තුළ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක වර්ධනය එනම්, මිනිස් සහ සත්ත්ව මළමූත්‍රා නිසා හටගන්නා එස්චෙරිචියා කොලී නොහොත් ඊ-කොලී බැක්ටීරියාව වර්ධන රටාව නිරීක්ෂණයට ලක්කර ඇත. මෙම වැව්වලින් ලබාගත් ජල සාම්පල් මාසිකව අනුරාධපුර දිසා ජලසම්පාදන රසායනාගාරයේ දී මෙම්බ්රේන් පිරිපහදු පර්යේෂණ මාලාව මඟින් විද්‍යාත්මක විශ්ලේෂණයට බඳුන් කරනු ලැබ ඇත.

මෙම පර්යේෂණ හා විශ්ලේෂණයන් හිදී දිස්ත්‍රික්කයේ සෙසු ජලාශ වලට වඩා පූජා නගරයේ පිහිටි තිසාවැව ජලාශයේ ජල ධාරිතාවයේ ඊ - කොලී බැක්ටීරියා ගහණය බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව මෙහිදී ඉතා පැහැදිලිව අනාවරණය වී තිබේ. මෙහිදී සුවිශේෂි කරුණක් වනුයේ තිසාවැවේ ජලය තුළ මෙම ඊ - කොලී බැක්ටීරියාවේ වර්ධනය සෑම වසරකම ජූනි මාසය ආශ්‍රිත වර්ෂය මැද භාගයේදී ඉතා ඉහළ අගයකට වර්ධනය වන බවය.

2013 සිට ආරම්භ වූ කාලය තුළ ඊ - කොලී බැක්ටීරියාව ඇතුළු විෂ සහිත බැක්ටීරියා වර්ධනය නිසා ජලයේ සිදුවන ජල දූෂණ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. වසර මැද භාගය සුවිශේෂ වී ඇත්තේ මේ වකවානුව තුළ අනුරාධපුරයේ ජාතික පොසොන් උත්සවය පැවැත්වීම සහ දිවයිනේ සෑම දිසාවකින්ම මිලියනයක් හෝ ඊට වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් වන්දනාමාන කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණීම සාම්ප්‍රදායිකව සිදුවන්නක් වීමයි. කෙසේ වෙතත් පසුගිය දා අනුරාධපුර දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2018 අනුරාධපුර ජාතික පොසොන් උත්සවය මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙවර පොසොන් උත්සව සමය තුළ අනුරාධපුර තිසා වැවෙන් සහ නුවර වැවෙන් දියනෑම සම්පූර්ණයෙන් තහනම් කළයුතු බවට තීරණය කරනු ලැබීය.

 

නිමල් විජේසිංහ
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ 

 


නව අදහස දක්වන්න

Or log in with...