මුහුණු පොතේ බොරු පාලනයට නව නීති ගේනවා | දිනමිණ

මුහුණු පොතේ බොරු පාලනයට නව නීති ගේනවා

මුහුණු පොත හරහා එන අනවශ්‍ය දේවල් පාලනය කිරීමට නීති රීති ගෙන ඒම රජයක් ලෙස අපේ වගකීමක් බවත් පසුගිය කාලයේ මහනුවර විනාශය සම්පූර්ණයෙන්ම ඇති කළේ මුහුණු පොත හරහා යැයිද ඇතැමුන් ආගම්වාදය ජාතිවාදය පතුරුවන අය මුහුණු පොතේ ශ්‍රී පාදයේ හෝටලයක් හදනවා කියලා බොරු දානවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ජාතික තරුණසේවා සභාවේ සබරගමුව පළාත තුළ ඇති පුහුණු මධ්‍යස්ථානවල NVQ පුහුණුව ලැබූ අභ්‍යාසලාභීන්ගේ සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා පැල්මඩුල්ල පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරිය මෙසේ කීවාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

ලැබූ පුහුණුව හා දැනුමෙන් ඔබේ ඉදිරි ගමන සලසා ගත යුතුයි. ඔබට විශාල කාර්ය භාරයක් ඔබ ලැබූ පුහුණුවෙන් කරන්න පුළුවන්. තිරසාර සංවර්ධනය කරා යන අපි අපේ වගකීම හරිහැටි ඉටුකළ යුතුයි. අද අලුත්ම දේ තමයි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති මවා පානවා. අද කියන්න ඕන මාධ්‍ය හරහා විශාල වශයෙන් බොරු ප්‍රචාර ගෙන හා අසත්‍ය ප්‍රවෘත්ති ගෙන යනවා. සමහර හද කම්පා කරවන සිද්ධි ඇයි මුහුණු පොත හරහා ප්‍රචාරය කරන්නේ. මිනිස්සුන්ගේ මනස ආකල්ප විකෘති කරන්න හදනවා. මුහුණු පොත හරහා එන අනවශ්‍ය දේවල් පාලනයට අවශ්‍ය නීති රීති ගෙන ඒම රජයක් ලෙස අපේ වගකීමක් බැවින් මේවා කතා කළ යුතු බව ද අමාත්‍යවරිය පැවසුවාය.

පසුගිය කාලයේ මහනුවර ගිනි තිබ්බේ මහසොහොන් බලකායයි. ඒවා සම්පූර්ණයෙන්ම කළේ මුහුණු පොත හරහායි. ඒක හොයා ගන්න පුළුවන් වුණේ අපේ දිස්ත්‍රික්කයේ වුණ සිද්ධියෙන් ආගම්වාදය ජාතිවාදය පතුරුවන අය දානවා ශ්‍රී පාදයේ හෝටලයක් හදනවා කියලා. මුහුණු පොත හරහා මේ රට පිළිබඳව අසත්‍ය දේ පතුරුවා හරිනවා. විදේශ රටවල ඉන්න අපේ අය හිතනවා මේවා ඇත්ත කියලා. එක දවසක්වත් පන්සල් ගිහිං නැති අයත් හිතනවා. අපේ රටේ ජාතිය ආගම විනාශයි බේර ගන්න ඕන කියලා. එහේ ඉඳලා මුහුණු පොතට සල්ලි එවනවා.

මහනුවර සිද්ධියෙන් වුණු ලොකුම හානිය තමයි. චීනයට විකුණා තිබුණ ජනාධිපතිතුමායි අගමැතිතුමායි නැවත බේරා ගත්ත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදි වන වරාය නගරයේ පළමුවරට ඉදිරිපත් වී ආයෝජකයන් 17 දෙනෙක් විසින් ඒකෙ හෝටල් සාප්පු සංකීර්ණ ඉදිකරන්න හිටිය එක නතර කරලා දැම්මා. රටක් ලෙස අපි ඉදිරියට යා යුතුයි. මෙතන ඉන්න ඔබ සියලු දෙනාම ආසයි ඉදිරියට යන්න. තමන්ගේ කියලා වාහනයක යන්න. තමන්ගේ කියලා ගෙයක් හදා ගන්න. ඒ නිසා අද මේ පුහුණුව ලැබූ ඔබ ඔබේ දියුණුව සඳහා මෙන්ම රටේ දියුණුව සඳහා ද කැපවී කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් රජයත් කැප වෙලා ඉන්නේ ඔබේ අනාගතය යහපත් කරන්න බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. 

නව අදහස දක්වන්න