උදාගම උපන් - යාපහුවට එක් වූ නව ගම්පියස ‘සුබසෙන්පුර’ | දිනමිණ

උදාගම උපන් - යාපහුවට එක් වූ නව ගම්පියස ‘සුබසෙන්පුර’

යාපහුව ප්‍රදේශයේ බඩල්ගම නම් වූ නොදියුණු ගම්පියසක ජීවත් වූ දුගී දුප්පත් දරු පවුල් රැසකට ස්ථිර නිවහනක අයිතිය ලබාදෙමින් එදා උදාගම් ව්‍යාපාරය ආරම්භ විය. මේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ එදා අද ගමන් මඟට දශක හතරකට ආසන්න කාලපරිච්ඡේදයක් ගතවී ඇත. රාජ්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වූ නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළේ මූලික නිවාස ව්‍යාපෘතියක් වූ උදාගම, පසුකලක පවුල් දසලක්ෂයක් සඳහා නිවාස පහසුකම් සැපයූ නිවාස දසලක්ෂයේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළට අවශ්‍ය අත්දැකීම් සමුදාය සපුරාලනු ලැබීය. ඉන් අනතුරුව එහි ක්‍රියාකාරීත්වය යොමු වූයේ, පවුල් ලක්ෂ 15ක් සඳහා වූ ජාතික නිවාස වැඩපිළිවෙළටයි. පසුව විවිධ රාජ්‍ය සමයන්හිදී දිවයිනේ සියලු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන ක්‍රියාවලිය සමාජගතවනුයේ මේ ජන සහභාගීත්ව සංවර්ධන වැඩපිළිවෙළ ලෙසිනි. මෙලෙස එදා උදාගම් ව්‍යාපාරය වත්මන් සමාජයට සරිලන අයුරින් ප්‍රතිනිර්මාණයවී, අද සැමට සෙවණ, ජාතික නිවාස වැඩපිළිවෙළ දක්වා පැමිණ තිබේ.

උදාගම් සංකල්පය අතීතයේ සියලු ක්‍රියාකාරකම්හි මූලික මැදිහත්වීමක් නිරන්තරයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පෙන්නුම් කරයි. යාපහුවේ ඉදි වූ ප්‍රථම උදාගම මෙන්ම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළේ සෑම, සියක් ලකුණම සනිටුහන්වී ඇත්තේ යාපහුව රාජධානිය තුළය. යාපහුවේ උදාගමින් ඇරැඹි මේ ජනාවාස වෘත්තාන්තයේ සියවැනි ගම්මානයේ සිට 600 වැනි ගම්මානය දක්වා සෑම සියක් ගම්මානයම ඉදිවී ඇත්තේ යාපහුව උදාගම්මානය ඇසුරේය. මේ සියලු කරුණු දෙස ආපසු හැරී බැලීමේ දී පෙනීයන විශේෂත්වයක් වී ඇත්තේ දිස්ත්‍රික්කයක් ලෙසින් කුරුණෑගල දිස්ත්‍රික්කය නිවාස ලක්ෂය හා නිවාස දසලක්ෂය වැඩපිළිවෙළ තුළ වාර්තාගත ආදර්ශ ගම්මාන ප්‍රමාණයක ඉදිකිරීම් කාර්යයට හිමිකාරීත්වය ගනු ලබන බවයි. 1979 වසරේ සිට 2014 වසර දක්වා ගත වූ 35 වසරක කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ වූ නිවාස ව්‍යාපෘතීන් 252ක් ඉදිකිරීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නිවාස සංවර්ධන ක්‍රියාදාමයේ සුවිශේෂීත්වය පෙන්නුම් කරයි. මේ ගම්මාන තුළ පමණක් ඉදි වූ නිවාස ප්‍රමාණය 65,000කට අධික වේ.

මෙයට අමතරව උදාගම් සංකල්පය හා බද්ධ වූ වෙනත් සුවිශේෂී සංවර්ධන කාර්යයන් රැසක සමාරම්භය යාපහුව තුළින් සිදුවී තිබේ. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය උදාගම් ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා ඇරැඹි උදාගම් ජංගම මෙහෙවර ආරම්භ කරනු ලැබුවේද යාපහුව උදාගම තුළිනි. එමෙන්ම සමාජයේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා එදා ප්‍රේමදාස මහතා විසින් දිවයින පුරා ආරම්භ කරන ලද ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතියේ ප්‍රථම ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේද යාපහුව උදාගම ආශ්‍රිතවයි. මේ සියලු ක්‍රියාකාරකම්හි අත්දැකීම් සමඟින් වර්තමානයට ප්‍රවිෂ්ට වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීමෙන් අද වඩාත් සැලසුම්ගත ව්‍යාප්තගත වූ වේගවත් සංවර්ධන මඟකට ප්‍රවේශව සිටී.

කවර හෝ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ දී ඒ පිළිබඳ පැහැදිලි දත්ත හා තොරතුරු තිබිය යුතුය. එවන් දත්ත එකතුවක් නොතිබීම තුළ ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙළට මුහුණපෑමට සිදු වූ ගැටලුවට විසඳුමක් සොයමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙසින් 2015 වසරේ දී දීපව්‍යාප්ත නිවාස සමීක්ෂණයක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් සිදුකළ අතර, වත්මන් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාවට නංවනු ලබන්නේ එකී සමීක්ෂණය පදනම් කරගෙනය. අදාළ සමීක්ෂණයට අනුකූලව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාව පිළිබඳ නිවැරැදි තොරතුරු හඳුනාගෙන තිබේ. එම දිස්ත්‍රික්කය තුළ තාවකාලික නිවාස 13,455ක් පවත්නා අතර, පොල්අතු පැල 5, 174 කි. තහඩු සෙවිලි කළ නිවාස 17, 084 කි. අඩක් ඉදිකළ නිවාස 23, 356 කි. කපලාරු කළ යුතු නිවාස 85, 304 කි. නිවසක් ඉදිකිරීමට බිම් කොටසක් හෝ නිවසක හිමිකමක් නොමැති පවුල් ප්‍රමාණය 8, 759 කි. මේ සියලු තොරතුරු පදනම්කොට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවත්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල ආවරණය වන ආකාරයෙන් වත්මන් ජාතික නිවාස වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

ගත වූ තෙවසරක කාලය තුළ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ විවිධ ක්‍රියාකාරකම් තුළින් පවුල් 12,000කට ආසන්න ප්‍රමාණයකට නිවාස පහසුකම් සැපයීමට හැකියාව ලැබී තිබේ. 2015 - 2018 කාලපරිච්ඡේදය තුළ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නව ආදර්ශ ගම්මාන 30කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් කාර්යයන් ආරම්භකර ඇති අතර, එයින් රැසක් නිවාසලාභීන්ගේ අයිතියට පත්කර ඇත. නව නිවාස ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු ඉදිරි කාලය තුළ දී ආරම්භ කෙරේ.

ප්‍රදේශයේ සියලු දේශපාලන නායකත්වයේ සහාය හා සහභාගීත්වයෙන් නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතා, දිස්ත්‍රික්කයේ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළට නිසි නායකත්වය හා මඟ පෙන්වීම ලබාදෙන අතර, එකී ක්‍රියාවලිය තුළින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඩුවාව ඉදි වූ සුබසෙන්පුර තමන්ගේම නිවහනක් නොමැති පවුල් 24 කට නිවාස පහසුකම් සපුරාලමින් නිර්මාණය වූ ආදර්ශ ගම්මානයකි. වසරක් වැනි කෙටි කාලයක් තුළ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ලබාදුන් මූල්‍ය දායකත්වයට තම ඉතිරි කිරීම් හා ශ්‍රමය එක්කරමින් මේ දිරිමත් දරුපවුල් රැසකට තමන්ගේම කිවහැකි ස්ථිර නිවහනක් නිර්මාණයකර තිබේ. නිවහනක ජීවත්වන්නා වූ පවුලේ සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය වූ විවිධ උපාංග රැසක් ගම්මානයේ සංවර්ධන කාර්යයට සමගාමීව සිදුකර තිබේ.

ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ මඟ පෙන්වීම හා කුරුණෑගල දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරී සහායෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ප්‍රතිලාභීන්ගේ උපරිම සහභාගීත්වයෙන් නිර්මාණය වූ මහව, මාකඩුවාව, සුබසෙන්පුර, ආදර්ශ ගම්මානය නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතාගේ සහභාගීත්වයෙන් නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (28) ගම්වැසි නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීම සිදුකෙරේ.

 

ලක්විජය සාගර පලන්සූරිය 

නව අදහස දක්වන්න