පාරිභෝගික භාණ්ඩ අඩු මුදලට ලබාදීමේ නව වැඩපිළිවෙළක් | දිනමිණ

පාරිභෝගික භාණ්ඩ අඩු මුදලට ලබාදීමේ නව වැඩපිළිවෙළක්

රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

රේගු බදු නොවන ආනයන බදු ඉදිරි වසර දෙක තුළදී හැකිතාක් අහෝසි කර පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අඩු මුදලට ලබාදීමේ නව වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (25) ප්‍රකාශ කළේය.

රේගු බදු නොවන ආනයන බදු 7000ක් පමණ පවතින අතර, ඉන් 1200ක් පසුගිය වසර තුන තුළදී අහෝසි කළ බවත් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථික සංවර්ධන කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

විසර්ජන පනත යටතේ මුදල් නියම කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවැති විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පසුගිය දා (25) පෙරවරු 10.30ට ආරම්භ විය. නිවේදන, ලිපිලේඛන, අමාත්‍යාංශ නි‍වේදන, වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදය ආරම්භ කෙරිණි.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා-

පසුගිය වසරේ දී ඇති වූ දේශගුණික විපර්යාස නිසා රජයේ නිලධාරීන්ට පොලී රහිත ආපදා ණය දුන් නිසා දැනට තිබෙන සීමාව සංශෝධනය කළ යුතු වෙනවා. 2017 මැයි මස අනපේක්ෂිත ජල ගැලීම් සිදු වුණා. ජල ගැලීම්වල දී විශේෂ අත්තිකාරම් ණය මුදල් ලබාදීම සිදු කළා. ගබඩා, වාණිජ අත්තිකාරම් මුදල්වල ඇස්තමේන්තු වෙනස් කළ යුතු වෙනවා. අත්තිකාරම් මුදල් රුපියල් බිලියන 26ක් ලබා දී තිබෙනවා. අවම ලැබීම රුපියල් බිලියන 21යි. එහි දී අය-වැය පරතරය රුපියල් බිලියන 5ක් වෙනවා. සාමාන්‍ය ආපදා ණයට අමතරව විශේෂ ණයක් ලබා දුන්නා. ආපදා නිසා මරණ 13ක් පමණ සිදු වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන 251ක් පිහිටුවා තිබෙනවා. එහි පවුල් 14000ක පුද්ගලයන් 55000ක් පමණ සිටිනවා. පවුල් 32000කට අධික සංඛ්‍යාවක් ආපදාවට මුහුණ දී සිටිනවා. එහි පුද්ගලයන් 126,000ක් පමණ සිටිනවා. ආපදාවට ලක් වන ජනතාවට සහන සැලසීමට හමුදා භටයන් 7000කට වඩා සූදානම්ව සිටිනවා. දැනට 700ක පමණ පිරිසක් ඒ සඳහා යොදවා සිටිනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

වික්‍රමරත්න මහතා-

ස්වාභාවික ව්‍යසනයට මුහුණ දෙන සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සපයාදීමට මුදල් ලබාදීම සිදු කරන බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අලුත් බදු පනතක් මාස හයකට පෙර ඉදිරිපත් කර තිබෙනවා. රේගු බදු නොවන ආනයන බදු 7000ක් පමණ තිබෙනවා. ඉන් 1200ක් පසුගිය වසරේ දී අහෝසි කළා. ලබන වසර දෙකේදී රේගු බදු නොවන ආනයන බදු හැකි තරම් අහෝසි කිරීමට අපි කටයුතු කරනවා. පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවම මුදලට ලබාදීම සිදු කරනවා. නිවාස ටයිල් කර ගන්න හැමෝම කැමතියි. බදු අයින් කළොත් රුපියල් 500 ටයිල් එක 150ට පමණ ලබාදිය හැකියි. ටයිල් හදන දේශීය කර්මාන්ත අපි ආරක්ෂා කරනවා. එවැනි කර්මාන්ත 3ක් පමණ රට තුළ සිටිනවා. 10000ක් පමණ ඒවායේ සේවය කරනවා. නිවසට ටයිල් එකක් දාන්න කැමැති අය ලක්ෂ ගණන් රට තුළ සිටිනවා.

රටට වැරැදි මත ඉදිරිපත් කරනවා. එසේ කරලා සියලු කර්මාන්ත ආරක්ෂා කරන්න ඕන කියලා කියනවා. රටවල් 40ක ජාත්‍යන්තර ගනුදෙනු ගැන අපි පර්යේෂණයක් සිදු කළා. මේ රටවල් 40 ජාත්‍යන්තර ගනුදෙනු නැති කළොත් රටේ අඩු ආදායම් ලබන අයගේ මූල්‍ය හැකියාව සියයට 63 කින් අඩු වෙනවා. ඉහළ ආදායම් අයට සියයට 28 කින් විතරයි නැති වන්නේ. ජාත්‍යන්තර ගනුදෙනු ඒ නිසා අවශ්‍යයි. අපේ රට ජාත්‍යන්තර ගනුදෙනු සිදු කළේ මීට වසර දහස් ගණනකට පෙර බව සෙල්ලිපිවල පවා තිබෙනවා. ඒ නිසා රජයට තීරණය කරන්න වෙනවා, කුමන දේශීය නිෂ්පාදන ද ආරක්ෂා කළ යුත්තේ. සෙස්, වරාය හා ගුවන්තොටුපොළ බදු ඉවත් කළා. සෘජු බදු අඩු කරලා වක්‍ර බදු වැඩි කරන්න ඕන කියලා අපි තීරණය කළා. අලුත් ආදායම් බදු පනත හරහා කටයුතු කරන විට පොඩි පොඩි ශබ්ද එනවා. ඒවාටත් අපි කන් දෙනවා. කළ හැකි දෙයක් තිබේ නම් කරනවා. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ තිබෙන වියදම්වලදී අපිට වැඩිපුර ගෙවන්න වෙනවා. උද්ධමනය පහළට ඇවිත් තිබෙනවා. රජය භාණ්ඩ ආනයනය කළත් දේශීය කර්මාන්ත හා දේශීය වෙළෙඳ පොළ ආරක්ෂා කරන්න තීරණය කර තිබෙනවා. ආරක්ෂිත පියවර පනත ගෙනාවේ ඒ නිසයි. ධීවර, කෘෂිකර්මාන්තය යනාදියට ණය ක්‍රම 100ක් පමණ තිබෙනවා. ඒ අයට මේ ණය ලබා දෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස)

ගෝලීය ආර්ථිකයට විවෘත වීම සඳහා නව විනිමය පාලන පනතක් ස්ථාපිත කළා. මේ හරහා කළු සල්ලි රට තුළට ගෙන එන්න හැකියි. විදේශිකයන් ශ්‍රී ලංකාවේ දේපළ මිල දී ගන්නා විට සියයට සියයක බද්දක් ඒ කාලයේ අපි ගැහුවා. දැන් ඒක අයින් කරලා. විදේශිකයන්ට මේ රටේ දේපළ මිල දී ගන්නට තිබෙන බාධා ඉවත් කිරීම් මේ රජයෙන් සිදු කරනවා. සක්‍රීය බැරකම් පනත කියලා පනතක් ගෙනාවා. බැඳුම්කර හොරකම එමඟින් ආයතනගත කර තිබෙනවා. වැට් බදු වංචා කළොත් හිරේ යන්න වෙනවා. පාන් පිටි සමාගම්වලට සහන ලබාදුන්නත් පාන්, බනිස්වල මිල අඩු වුණේ නැහැ. බදු සහනවලින් රටේ ජනතාවට ලැබුණු සහනය මොකද්ද? සිංගප්පූරුව සමඟ ගිවිසුමක් අත්සන් කළා. ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ තිප්පොළක් බවට පත් කළාට පසුව ඉන් පසුව ඇති වන ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද කියා සිතිය යුතුයි. නව ලිබරල්වාදයේ න්‍යාය පත්‍රය වනුයේ කෘෂිකර්මාන්තය බිඳ වැට්ටවීමයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස)-

ඩොලරය ඉහළ යන විට භාණ්ඩවල මිලත් ඉහළ යනවා. මැතිවරණවල දී ව්‍යාපාරික ප්‍රජාව අපිට උදවු කරනවා. බැඳුම්කර සිද්ධිය ගැන මම වැඩිපුර කතා කළා. මට ලබාදුන් චෙක්පතක් ගැන පුවත්පත්වල විස්තර ගියා. අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. මඩ ගැසීමේ ව්‍යාපාරයක් අද ආරම්භ කර තිබෙනවා. අගමැතිවරයාට විරුද්ධව ඡන්දය මම භාවිත කළ නිසා අපට පහරදීම කරනවා. ඕනෑම අභියෝගයකට අපි මුහුණ දෙන්න සූදානම්. නිවැරැදි චරිතය අපි ආරක්ෂා කර ගන්නවා. අපි සොරකම් කර නැහැ. මැතිවරණවල දී ඔවුන් අපට උදවු කර තිබෙනවා. ඒ චෙක්පත මුදල් එකක්. එහි මුදල් මම ගත්තා තමයි. නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් චෙක් එකක් කියලා මම අදටත් දන්නේ නැහැ. මම විතරක් නොවේ මැතිවරණවලට ඉදිරිපත් වන හැමකෙනාටම ව්‍යාපාරික ප්‍රජාව ලබාදෙන මුදල් ලබා ගන්නවා. අපේ චරිතය ඝාතනය කරන්න උත්සාහ කරන අයට වැඩි කල් නොගොස් රටේ ජනතාව පිළිතුරු දෙයි කියලා අපි හිතනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජවිපෙ)-

සාමාන්‍ය ජනතාවගේ ජීවිත දෙස බැලුවොත් ආර්ථික ප්‍රතිපත්තියේ අසාර්ථක බව අද හොඳට පෙනෙනවා. අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. අපේ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරන විදියට කටයුතු කළ යුතුයි. ලෝකයත් සමඟ තරග වඳින්න කියලා අපේ කර්මාන්තකරුවන්ට කියනවා. නමුත් එහෙම කරන්න ඔවුන්ට රජය ලබා දී තිබෙන සහන මොනවාද? කර්මාන්ත වර්ධනය කරන්නේ නැතිව ලෝකයේ සම තරගකරුවන් ලෙස ඉදිරිපත් වන්නේ කොහොමද? වංචා දූෂණවලට එරෙහිව කතා කරන අයත් වංචනිකයන්. කල්පිටිය දූපත් 14ක් තිබුණා. පසුගිය කාලයේ මේවා විකුණන්න කටයුතු කළා. එතකොට මේ කෑමොර දෙන අය හිටියේ ඒ ආණ්ඩුව තුළ. කුරහන් පාට ලිබරල්වාදය වැළඳගෙන කොළ පාට ලිබරල්වාදයට එරෙහි වන අය වංචා දූෂණ ගැන කතා කරනවා. ව්‍යාපෘති හරහා සුළුතරයක් දෙනා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. රට පමණක් නොව සියලු ජනතාව ණයකරුවන්. ග්‍රාමීය ආර්ථිකය මුළුමණින්ම විනාශ වී තිබෙනවා. මූල්‍ය සමාගම් කිහිපයක් ජනතාවගේ ජන ජීවිතය අරගෙන තිබෙනවා. ලෝකයේ හැම රටක්ම ජනාකීර්ණ වුණා. ගමේ සිටින කෙනා ගමේ තියන්න සිදු කරන ආර්ථික ක්‍රමවේදයක් හැදිය යුතුයි. කොළඹ කේන්ද්‍ර කරගෙන ආර්ථික සැලැසුම් හදනවා මිස ගමට වැදගත් වන ආර්ථික ප්‍රසාරණය කරන ආර්ථික සැලසුම් හැදිය යුතුයි.

ඉරාන් වික්‍රමරත්න මහතා-

අනුර කුමාර දිසානායක මහතා කළ කතාවේ කරුණු කිහිපයක් නිවැරැදි කරන්න කැමැතියි. අල්ලස් දූෂණ ගැන කතා කළා. ඒ අය ගැන නම් කළොත් හොඳයි. අපේ ආණ්ඩුවේ සිටින හැම අයකුම කප්පම් ගන්නා අය නොවේ කියලා කියන්න මම කැමැතියි.

අනුර කුමාර

අඳ ඉඩම්, පරම්පරා ඉඩම් ලෙස ඉඩම් තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් නොකර ඉඩම් විකුණුම් ලිහිල් කිරීම තුළ ගැටලුවක් තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාස)-

උතුරු පළාතේ පවතින තල් සම්පත තමයි එහි ප්‍රධාන. දහස් ගණනක් ජනතාව එය ජීවනෝපාය කරගෙන තිබෙනවා. අපේ ප්‍රදේශවල විවිධ කර්මාන්ත ව්‍යාප්තව තිබුණා. යුද්ධය නිසා ඒවා නැවතුණා. ජනතාව තමන්ගේ ජීවනෝපාය වෙනුවෙන් කුමක්ද කරන්නේ කියලා හිතා ගත නොහැකි ලෙස අසරණ වෙලා සිටිනවා. යුද්ධය නිසා අපේ තල් ගස් ගොඩක් විනාශ වුණා. තල් රා ගැන ප්‍රකාශයට පත් වූ ගැසට් පත්‍රය කනගාටුවට කරුණක්. කිතුල් ගස් හැර අනෙකුත් ගස් වර්ගවල රා මැදීම තහනම් කියලා ගැසට් එකෙන් කියනවා. මෙමඟින් අපේ ජනතාවට පහරක් එල්ල වෙනවා. තල් හා පොල් ගස්වල තමයි වැඩි ප්‍රමාණයක් රා මදින්නේ. කිතුල් හා හකුරු නිෂ්පාදනය වැඩි කරන්න මා කටයුතු කළා ප්‍රාථමික කර්මාන්ත ඇමැතිවරයා විදියට සිටින විට.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස)-

ඛනිජ තෙල්, ආහාර, මුදල් අර්බුදයක් නැති රටක් තමයි මේ ආණ්ඩුවට ලැබුණේ. ආර්ථිකය එක තැන තිබෙන රටක් තිබුණා. එවැනි තැනක තිබූ රටක් මුළු රටම වැඩ බිමක් බවට පසුගිය ආණ්ඩුව කාලයේ පත් කළා. වැඩ බිමක් බවට පත්ව තිබූ රටක් තමයි මේ ආණ්ඩුව බාර ගත්තේ. මේ වන විට රටේ ආර්ථිකය වැටිලා. රාජ්‍ය අරමුදල් භාවිත කරමින් දේශපාලනය කරන්න වර්තමාන මුදල් ඇමැතිවරයා කටයුතු කරන්න පටන් අරගෙන. රාජ්‍ය මුදල් අවභාවිත කර රටේම ජනතාව නොමඟ යැවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනවා. සිංගප්පූරු ගිවිසුමේ තිබෙන්නේ අංක වගයක්. රජයට ආර්ථිකය කළමනාකරණය කර ගන්න බැරිව රට තුළ මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා-

එදා හලාවත වැල්ලේ ධීවර ජනතාව තෙල් මිල වැඩි වුණාට පසුව අඩු කරන්න කියලා ඉල්ලා සිටිද්දී ඔළුවට වෙඩි තියන්න පසුගිය ආණ්ඩුව කටයුතු කළා. ඒවා අද ඔවුන්ට අමතකයි. තෙල් මිලේ යථාර්ථය රටේ ජනතාව දන්නවා. රාජපක්ෂවරුන් රටේ ණය බර කොතරම් වැඩි කර තිබෙනවාද? අද වියත් මඟ කියලා එනවා. ඒ මඟ දිගේ එන්නේ තුවක්කුකරුවෙක්. 2015 දී ඒකාධිපතියෙක් බිහි වීම අපි වැළැක්කුවා. නැවත ඒකාධිපතියෙක් බිහි කරන්න රාජපක්ෂලා කටයුතු කරනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මිය මුලසුනට පැමිණියාය.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (දෙජාස)-

හැටන් නැෂනල් බැංකුව වහාම තහනම් කළ යුතුයි. සිංහල ජාතිවාදය පතුරුවන මේ බැංකුව වසා දමන්න. එහි සිදු වූ සිද්ධිය මා හෙළා දකිනවා. එහි සහාය කළමනාකරුටත්, අනෙක් සේවකයාටත් නැවත සේවය ලබාදෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා (එජාප)-

නැවත මෙරට ජාතිවාදයක් අවුස්සන්නට අපි ඉඩ තබන්නේ නැහැ. සියලු ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පෙනී සිටිනවා. වෙන කිසිදු ආණ්ඩුවක් ලබා නොදුන් ආකාරයේ සුබසාධන කටයුතු අපේ ආණ්ඩුවෙන් ඉටු කළා. හතළිස් පන්ලක්ෂයකට සුරක්ෂා රක්ෂණ යනාදිය ලබාදෙන විට ඒ සුබසාධනයන්ට අවශ්‍ය මුදල් උපයා ගන්නේ කොහෙන්ද? කාගෙවත් බූදල්වලින් මේ මුදල් දෙන්නේ නැහැ. ඒවා ලබාගන්නේ බදුවලින්. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ සංවර්ධනය සිදු වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්න ඇඟලුම් කර්මාන්ත පිහිටෙවුවා. රාජපක්ෂ පාලනය ඇවිත් ඒවා නැති කළා. 2017 වසර වන තෙක් රාජපක්ෂ පාලනය ගෙන ගියේ නැත්තේ ඇයි? ලෝකය තුළින් ආර්ථික සම්බාධක පැමිණෙනවා කියලා දැනගෙන තමයි මැතිවරණයට ගියේ. එදා අය-වැය පරතරය සියයට 7 යි. අද සියයට 4.5 යි. යුරෝපා තහනම අපි ඉවත් කළා. ශක්තිමත් ආර්ථිකයක් අපි රට තුළ ස්ථාපිත කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා (එජනිස)-

මහින්ද රාජපක්ෂ සමයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් කළා. ණය අරගෙන මහාමාර්ග, ගුවන්තොටුපොළ, වරාය, පාසල් හැදුවා. ණය අරගෙන අපි කළේ ඒවා. මේ ආණ්ඩුව ණය අරගෙන මොනවාද කළේ. මේ ආණ්ඩුව ආයෝජකයන් ගෙන්වනවා කීවාට ආපු ආයෝජකයෙක් නැහැ. අපේ කාලයේ දැවැන්ත යුද්ධයකුත් තබාගෙන සංවර්ධන කටයුතුත් කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජවිපෙ)-

තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක් අපි. ලබන වසර වන විට යුද්ධය අවසන් කර වසර 10ක් ගත වෙනවා. යුද්ධය කියන්නේ තුවාලයක්. විටින් විට මේ තුවාලය පෑරීම සිදුවෙනවා. ඕනෑම අයකුට තමන්ගේ ඥාතීන් සමරන්න අයිතියක් තිබෙනවා. ජාතිවාදය වපුරන සිදුවීම්වලට ඉඩ තබන්න බැහැ. තෙල් මිල වැඩි කිරීමේ තිත්ත ඇත්ත දැන ගත යුතුයි. ජනතාව මත බද්දක් පැටවීමේ අරමුණෙන් තෙල් මිල වැඩි කළා ද කියලා බැලිය යුතුයි. කොයි ආණ්ඩුව ආවත් ජනතාවට පිළිතුරු දිය යුතුයි. රුපියල් බිලියන 10000ක් ණය අරගෙන තිබෙනවා. ඒ මුදලට සරිලන විදියේ ව්‍යාපෘති කර තිබෙනවාද?

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එජනිස)-

සාම්ප්‍රදායික අපනයනය හැරෙන්නට අලුත් දේවල් ඉදිරියට ඇවිල්ලා තිබෙනවාද? අපනයන විවිධාංගීකරණයක් වෙලා නැහැ. බලශක්තිය පහසු මිලකට ලබා ගත හැකි නම් ජනතාවට පහසුවෙන් සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකියි. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දී සියයට 26.7ක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා. නරක දේට නරක කිව යුතුයි. හොඳ දේට හොඳ කිව යුතුයි. තේවල මිල අද ඉහළ ගොස් තිබෙනවා. එය හොඳයි.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එන්. ශ්‍රීනේෂන් මහතා (දෙජාස)-

යුරෝපයේ මත්පැන් පානය වාර්ෂිකව පුද්ගලයකු ලීටර් 0.5 යි. නමුත් අපේ රටේ අයෙක් වාර්ෂිකව ලීටර් 3.5ක් භාවිත කරනවා. අපේ රට හා යුරෝපයේ පුද්ගලයකු සමඟ සංසන්දනය කිරීමේ දී එය හත් ගුණයක්. මත්වතුර නිසා අනාගතයේ දී හොඳ නායකයන් ලබා ගත නොහැකියි. බදු හෝ වෙනත් ආදායම් ගැන පමණක් කතා නොකර මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් කතා කළ යුතුයි. කෙසේ හෝ මත්ද්‍රව්‍ය භාවිතය පහළ මට්ටමකට ගෙන ඒමට අපි කටයුතු කළ යුතුයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස)-

මත්ද්‍රව්‍ය ගැනීම සඳහා ජනතාව පෙළඹවීමට ආණ්ඩුව කටයුතු කරනවා. නව ලිබරල්වාදී ආර්ථිකයක් රටට හඳුන්වා දෙන විට රටට යන කලදසාව ගැන සිතිය යුතුයි. වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත්වීමේ දී කොයි වගේ ඒවාට ද අත්සන් කරන්නේ කියලා අවධානය යොමු කළ යුතුයි. රටට ගැළපෙන ආර්ථික මොඩලයක් ගෙනා යුතුයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා (එජනිස)-

රටේ ආර්ථිකයක් තිබෙනවාද කියලා ජනතාවට හිතෙන්නේ නැහැ. රටේ දියුණුවක් පේන්න නැහැ. ජනතාව සූරගෙන කෑමක් තමයි රජය කරන්නේ. ආර්ථික ලෙස රට පාලනය නොකළහොත් රට ගොඩ ගැනීමට නොහැකියි. බදු බර වැඩි වෙලා තිබෙනවා. තවත් ලක්ෂ පහකට සමෘද්ධි සහනය ලබාදෙන ලෙස මම සභාවෙන් ඉල්ලා සිටිනවා.

 

පාර්ලිමේන්තුව ජූනි මස 05 වැනිදා සවස 1.00 ට නැවත රැස්වේ.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න 

 


නව අදහස දක්වන්න

Or log in with...