සහන කටයුතු සොයා බැලීමට ජනපති හලාවත සංචාරයක | දිනමිණ

සහන කටයුතු සොයා බැලීමට ජනපති හලාවත සංචාරයක

අධික වැසි තත්ත්වයත් සමඟ ඇති වූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සලසා ඇති සහන කටයුතු පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26) පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. එම නිරික්ෂණ චාරිකාවේදී ජනාධිපතිවරයා ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් ජනතාවගේ සුවදුක් විමසූ අයුරු. ඡායාරූපය ප්‍රසාද් පුර්ණමාල්

 

අධික වැසි තත්ත්වයත් සමඟ සිදු වූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26) පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ අතර මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් හමු වූ ජනාධිපතිවරයා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීය.

අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ද ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව විධිමත්ව ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන්නේය.

අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාවට නංවා තිබෙන අතර, ආපදා අවස්ථාවේ දී ලබාදිය යුතු සහන පිළිබඳ මෙන්ම ආපදා අවස්ථාව පහව යාමෙන් අනතුරුව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ ද රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන්ම ආපදාවට ලක් වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සහ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවකයන් වෙනුවෙන් විශේෂ සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සියලු සහන කටයුතු ක්‍රියාවට නැංවීමේ දී කිසිවිටෙකත් චක්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙසත්, ජනතා අවශ්‍යතා අනුව එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට සිදු වූ හානි පිළිබඳ ද මෙහි දී ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර, තම ජීවනෝපාය මාර්ග නැවත ගොඩනඟා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙළක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට සහාය වෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මේ ආපදා අවස්ථාවල දී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් ප්‍රමුඛ ආරක්ෂක සාමාජිකයන් ඉටු කරන මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිවරයා, ගංවතුරට කොටු වූ පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිය දී අතුරුදන් වූ පොලිස් නිලධාරියා වෙනුවෙන් ද සිය කනගාටුව පළ කළ අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ගතයුතු පියවර කඩිනමින් සොයා බලන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක් වූ මැදගොඩ පාලම ද ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

එහි දී ද ප්‍රදේශයේ ජනතාව හමු වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූ අතර, එම පාලම කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව රඳවා සිටින නාත්තණ්ඩිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිවරයා එම ජනතාවගේ අඩු පාඩු පිළිබඳ සොයා බැලීය.

ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 40ක පුද්ගලයන් 250 දෙනකු පමණ මෙහි තාවකාලිකව රඳවා තිබෙන අතර, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් කෙටි කතා බහක ද නිරත විය.

පුත්තලම දිසා සමූහ ප්‍රසාද් පූර්ණමාල්
ඡායාරූප සඳරුවන් අමරසිංහ
ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න