පැරිස් සිනමාවට | දිනමිණ

පැරිස් සිනමාවට

ෆවුස් මොහොමඩ්

මත්පැන් පානය කරමින්ද, දුම්වැටි උරමින් ද වීදි පුරා රස්තියාදු ගසමින් සිටි මයිකල් ජැක්සන්ගේ එකම දියණිය පැරිස් ජැක්සන් දැන් සිනමාවට එක්වී සිටින්නීය. පොප් සංගීතයේ ඔටුනු පළන් රජු ලෙස විරුදාවලිය ලබා සිටි මයිකල් ජැක්සන්ගේ එකම දියණිය වන මේ හිතුවක්කාරී දැන් තම ජීවිතයට වටිනාකමක් එක් කරමින් සිනමාව ජයගැනීමේ අරමුණින් පසුවන්නීය.

ජැක්සන්ගේ දියණියට සිනමාවට පිවිසීමට අතදුන්නේ අමෙරිකානු සිනමා අධ්‍යක්ෂවරයකු වන නෑෂ් එජර්ටන්ය. ග්‍රින්ගෝ චිත්‍රපටයේ සැළකිය යුතු චරිතයක් ලබාදෙමින් පැරිස්ට සිනමාවේ හෝඩිපොත කියා දුන්නේ ඔහුය.

මයිකල් ජැක්සන්ගේ දියණිය නිසාම තම චිත්‍රපටයට පැරිස් එකතු කරගැනීමට තමා මුලදි අදහස් කළත් චිත්‍රපටය රූගත කිරීමේදී ඇගේ හැකියාවන් පිළිබඳ වැඩි පැහැදීමක් ඇතිකරගත් බව පසුව ඔහු කීවේය. සිනමාවටම සරිලන රූසපුවකින් යුතු පැරිස් තවමත් පසුවන්නේ 20 හැවිරිදි වියේය. පියාගේ අභාවය නිසා දැඩි කම්පනයට පත්ව අයාලේ යන ජීවන රටාවකට හිමිකම් කියමින් සිටි මේ යුවතිය ඉදිරියේදී චරිතාංග නිලියක ලෙස නැගී සිටිනු ඇතැයි දැන් කවුරුත් කියති.

කිසිදු වග විභාගයක් නැතිව එක පෙළට ළමා වියේ සිට නොයෙකුත් පීඩාවන්ට ගොදුරුවූ පැරිස්ට සිය පියා අහිමිවෙද්දී ඇය 11 හැවිරිදි වියෙහි පසුවූවාය.

මයිකල් ජැක්සන් ජීවිතයට වටිනාකමක් ගෙන දෙන ආකාරයේ නොයෙකුත් ගීත ගැයූවත් ඔහුගේ දියණියගේ ජිවිතය ආලෝකමත් වන්නට ඒවා ප්‍රමාණවත් නොවීම කනගාටුවට කරුණකි. වසර 13 වෙද්දී තුන්වතාවක්ම සිය දිවි හානි කරගැනීමට උත්සාහ දරා තිබූ පැරිස් ළමා වියේ වැඩි කාලයක් ගෙවා දැමුවේ දැඩි මානසික පීඩනයකින් යුතුවය.

කුඩා වියේදීම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා සමාජයේ කාගෙත් අවමානයට ලක්වී සිටි ඇය පසුව පුනරුත්තාපන මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබුවේ ඇගේ මිත්තණිය විසිනි. කුඩා වියේදී ඇය හදා වඩා ගත්තේ ඇගේ මිත්තණියයි. එහෙත් කල් යද්දී සිය මිත්තණියගේ උපදෙස් කණකට නොගෙන රස්තියාදුකාර ජීවිතයට හුරුපුරුදු වූ පැරිස් ජීවිතය ගැනත්, අනාගතය ගැනත් අලුතින් සිතන්නට පටන් ගත්තේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ජැක්සන් පවුලේ විශාල වතුයායක පදිංචියට යාමෙන් පසුවය. අනතුරුව මෝස්තර නිරූපනයට එක්වි ජීවිතය අලුතින්ම පටන් ගැනීමට ඇය කල්පනා කළේ සිය පියාගේ නාමයේ ගරුත්වය රැකගැනිම තම වගකීමක් ලෙස අවබෝධ කරගනිමිනි.

එහෙත් එය ටික කාලයකට පමණි. ඕ නැවතත් රාත්‍රී සමාජශාලාවල නිතර නිතර දක්නට ලැබෙන චරිතයක් බවට පත් වූවාය. උපදෙස් දෙන්නට කිසිවකු හෝ නොමැතිව පෙම්වතුන් දුසිම් ගණන් ඇසුරු කරමින් නන්නත්තාර ජීවිතයක් ගත කරන්නට වූ පැරිස් කලක් ලොව වසඟ කළ මයිකල් ජැක්සන්ගේ දියණියක කියන්නටත් නොහැකි තරමට ‘නරක්‘වී සිටියාය.

එසේ වුවත් ඇය නිරන්තරයෙන්ම සිය පියා ගැන සිතන්නට වූවාය. ඔහු තරම් තම ජීවිතයට සමීප කිසිදු පුද්ගලයකු අනාගතයේදී නැවත නොලැබෙනු ඇතැයි ඇයට සිතිණි.

14 හැවිරිදි වියේදී එක්තරා පුද්ගලයකු අතින් දූෂණය වීමෙන් දැඩි මානසික ආතතියකට මුහුණ පෑ මේ යුවතිය පසුකලෙක මත්ද්‍රව්‍යවලට හුරුපුරුදුවූයේ ඒ ආතතියෙන් මිදීමට නොහැකිවීම නිසා බැව් ඇගේ සමීපතම මිතුරියක පැවැසීය.

ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින්ම තරුණවීමටය. ඕ තනිකම හා පාළුව දුරුකරගැනීමටත්, රාත්‍රි කාලයේ සිතට දැනෙන කාංසිය මඟ හරවාගැනීමටත් විසඳුම බවට පත් කරගත්තේ මත්ද්‍රව්‍යයයි. මත්පැන් හා දුම්වැටියත් ළඟට ගත්තාය. නිදි වර්ජිතව රැය පහන් කරන්නට වෙද්දී ඇය කළේ රාත්‍රි සමාජශාලාවල රස්තියාදු ගැසීමය.

වියදම් කරන්නට ඇති තරම් මුදල් තිබූ නිසා ඇයට අගහිඟකම් තිබුණේ ද නැත. මයිකල් ජැක්සන් ජිවිතයෙන් සමුගෙන යද්දී ඉතිරි කර ගිය අමෙරිකානු ඩොලර් බිලියන ගණනාවක බූදලය බෙදී ගියේ ඔහුගේ දරුවන් තිදෙනා වන වැඩිමල් පුතු ප්‍රින්ස්, බාල පුතු බ්ලැන්කට් සහ පැරිස් අතරේය. එබැවින් මුදල් සෙවීමට ඇයට රැකියාවක් කරන්නට අවශ්‍යතාවක් තිබුණේම නැත.

තනිකම, පාළුව මකාදැමීමට ඇය වියදම් කළේ ඒ මුදල්ය. දින ගණනාවක් තිස්සේ නිවසට නොපැමිණෙන මේ හිතුවක්කාර මිනිපිරිය කාලයක් යද්දී මිත්තණියටත් හිසරදයක් බවට පත්විය. ඇය ගැන සෙවීම අතහැර දැමීමට මිත්තණිය තීරණය කළේ ඉන් පසුවය.

පෙම්වතුන්ගෙන් කිසිදු අඩුවක් නොතිබුණු පැරිස් සිය ජීවිතය ගැන තීරණය කිරීම දෛවයට බාර කළාය. සිතෙන සිතෙන අයුරින් මුදල් වියදම් කරන්නට වූ තම සිරුර එහෙම පිටින්ම පච්චාවලින් සරසා ගත්තාය. ඒවා ගණනින් බැලූවිට 50කටත් වැඩිය. ඇගේ සිරුරේ පෙනෙන තැන්වලත්, නොපෙනෙන තැන්වලත් පච්චා ඇති තරම්ය. ඉන් 8ක්ම ඇය වෙන් කළේ සිය පියා වෙනුවෙනි. හිටපු ගායක ජෝන් ලෙනන්ගේ නමත් කොටා ගත්තේ ඇය ලෙනන්ගේ ගිතවලටත් දැඩි කැමැත්තකින් පසුවූ නිසාය. එමෙන්ම තමා කුඩා වියේදී රැක බලාගත් මිත්තණියගේ නමත් සිරුරේ කොටා ගැනිමට ඇය අමතක කළේ නැත.

පැරිස්ට සිනමාවට පිවිසීමේ මග විවර වුයේ මේ අතරේය. මයිකල් ජැක්සන්ගේ දියණිය ලෙස මෙතෙක් කලක් නොලැබූ ගෞරවය සිනමා නිලියක ලෙස අත්පත් කරගැනීම දැන් ඇගේ බලාපොරොත්තුව වී තිබේ. එය කොතෙක් දුරට සාර්ථක වේදැයි තවමත් කිව නොහැකිය. එසේ වුවත් වයසින් මුහුකුරා යද්දී පැරිස්ට ජිවිතය ගැන වටිනාකමක් දැනෙනු ඇතැයි ඇගේ සමීපතම මිතුරියෝ කියති.

 

 

අදහස් 1ක් ඇත

pathala namayan thulin mewani ahnisakayoo,, bera ganna sinama karuwanata nohakiya , owunma satthya thora , gatha yuthuya, eheth ,,, prasna rasiyaki!!!!!!

නව අදහස දක්වන්න