මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ, සීතාවක ගං කොමළිය බියකරු ගති පාමින් ගලා බසී. ඇය සිය සීතල ජල ධාරා නංවමින් කණාමැදිරියන්වළ පසු කරමින් යන්නේ, අතීතයේ බිය මුසු මතක සමුදායක් පිළිබඳ තතු ද සිත් තුළ ජනිත කරවමිනි.
මායාදුන්නේ පුත් ටිකිරි බණ්ඩාර, එසේත් නැත්නම් සීතාවක රාජසිංහ ලෙස විරුදාවලි ලද පළමු වැනි රාජසිංහ රජ, සීතාවක රාජධානියේ සිටි ජනප්‍රියම රජු යැයි කීවොත් නිවැරැදි ය. ජනප්රවාදයට අනුව, ඔහු , සිය පියා ඝාතනය කිරීමෙන් අනතුරුව කළකිරුණු සිතින් ගොස්, මහ සඟ රුවනේ පිහිට පැතූව ද,උන් වහන්සේලා පවසා ඇත්තේ පීතෘ ඝාතනය ආනන්තරීය පාප කර්මයක් වන බැවින්, කිසි දිනෙක ඉන් මිදීමට නොහැකි බව ය. අනතුරුව ඔහු ශිව ආගම වැළඳ ගනිමින්, එම ආගමේ පිහිට පැතූ බව ඉතිහාසගත තතු අනාවරණය කරයි. ඒ , මානසික වශයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ය.
පසු කලෙක රජුගේ මහාමාත්යා බවට පත්වූ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්, මේ ප්රශ්නකාරී තත්ත්වයෙන් මිදීමට, රජුට , ශිව ආගමෙන් පිහිට ලද හැකි බව පවසමින්, ඔහු ශිව ආගමිකයකු බවට පත් කරගෙන ඇත. පීතෘ ඝාතන පවින් මිදීම සඳහා භික්ෂූන් වහන්සේලා 120 නමක් දියේ ගිල්වා ඝාතනය කළ යුතු බවත්, සීතාවක ගං දෑල අසල ශිව දෙවියන් උදෙසා කෝවිලක් තනා පූජා කිරීමෙන් පීතෘ ඝාතක පාපයෙන් මිදිය හැකි බවත් ඔහු පවසා ඇත. ඒ අනුව, සීතාවක ගඟේ 'කණාමැදිරියන්වළ' නමැති ස්ථානයේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බවත්, සීතාවක ගං ඉවුරේ බැරැන්ඩි කෝවිල තැනීමට කටයුතු කළ බවත් ඉතිහාසගත තතු අනාවරණය කරයි.
බැරැන්ඩි කෝවිල තැනීම ආරම්භ කර ඇත්තේ, ක්‍රි.ව. 1582 දී ය. බැරැන්ඩි, එසේත් නැත්නම් බයිරැන්ඩි යනු ශිව දෙවියන් සඳහා යෙදෙන පර්යාය වදනකි. ඒ අනුව ශිව දෙවියන් උදෙසා ඉතාමත් ම අලංකාර අයුරින්, මහල් හතකින් යුතුව ඉදි කිරීම් ඇරැඹූ බැරැන්ඩි කෝවිල, රජු මිය යනතුරු ද තනා නිම කිරීමට නොහැකිව තිබේ. මිනිසුන් 20,000ක් යොදා ගනිමින්, වසර 20ක් පුරා තැනූ මේ දෙවොල, කවදාකවත් සකසා නිම කළ නොහැකි වන පරිදි සැකසීමට අරිට්ඨකී පෙරුමාල් කටයුතු කර ඇති බව සඳහන් වේ. 'රාජා හෝ මාහෝ ගංගා හෝ 'යන ප්‍රකට කියමන මඟින් කියැවෙන්නේ ද , රජු මියගිය පසු හෝ තමන් මියගිය පසු හෝ ගඟ පිටාර ගලා ගොඩනැංවීම අතැර දැමීම සිදුවිය යුතු බව ය.
අද ද, අවිස්සාවේල්ල - යටියන්තොට මාර්ගයේ යනවිට මුණගැසෙන පාළම පසුකර, මීටර් සියයක් පමණ ගියවිට, බැරැන්ඩි කෝවිල වෙත යා හැකි ය. ඒ සදහා, ප්‍රධාන මාර්ගයෙන් හැරී, මීටර් දෙසීයක පමණ දුරකත් යා යුතු ය. අදටත්, නටබුන්ව ගොස් ඉතිරි වූ ශේෂ දැකිය හැකි මේ කෝවිලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මඟින්,ද්‍රවිඩ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබිඹු වේ. මේ කෝවිල තැනීම සඳහා කැටයම් කළ කළු ගල් පමණක් භාවිත කර තිබීම ද, මෙහි ඇති සුවිශේෂ ලක්ෂණයක් ලෙස සැලකේ. සංදේශ කවීන්ගේ පවා නිබඳ වර්ණනාවට ලක් වූ මේ ස්ථානය, එවකට සුන්දර සිතුවමින් නිර්මාණය කර තිබූ බවට සාක්ෂි සපයයි. සැවුල් සංදේශයේ සැවුල් අස්නේ 94 වැනි කවිය මඟින් පැවසෙන පරිදි,එහි ස්වරූපය මෙසේ ය.
සබඳ දිය රම් රවුළු යුද මහාබාරත් යුද
මනමේ කඳ කුමරු පෙර කල දිත් යුද
නිමි කොටැ ඇඳ ඇති නොම සිතිගම් රූ
නෙතු සතොස පිරි ලෙන් දැක ගොස්
යන්නෙන් කියැවෙන්නේ, රාම රාවණා යුද්ධය, මහාභාරත කතා පුවත, අසුර යුද්ධය, කඳ කුමරුගේ සිතුවම එහි තිබූ බව ය. එහෙත්, වර්තමානය වනවිට එහි එවැනි නිර්මාණ තිබූ බවට කිසිදු සලකුණක් ඉතිරිව නැත.
මේ ගොඩනැගීම තුළ, පොළොවෙන් උඩට ඉදි කළ අඩිතාලම හා අඩි කිහිපයක් පමණක් උඩට මතුව ඇති කැටයම් සහිත ගල් කණු, මේ බිම තුළ අද දක්වා ඉතිරිව ඇති නටබුන් ය.
එදවස, කෝවිල හා රජ මාලිගය අතර සීතාවක ගඟ හරහා වැටුණු ගල් පාලමක් සහ ඊට යටින් දිය අගලක් ද තිබී ඇත. මේ දිය අගල, ප්රාකාරයකට සම්බන්ධව තිබී ඇති බව පැවසේ. ගංගාවේ සිට ඉහළට නැගීමට , පඩි පෙළක් තිබී ඇත. එහි නෂ්ටාවශේෂ අදටත් විද්‍යමානව පවතී. එම පියගැටපෙළ සමීපයේ, අඩක් පස්වලින් යටව පවතින කොරවක් ගල්, වර්තමානය වනවිට ද දැකීමට පුළුවන. අලංකාර කැටයමින් ගහණ බොරදම් කුලුනු, නෙළුම් පෙහොට්ටුවක හැඩය ගත් දිය පිහිල්ල, මෙහි ඇති විශේෂිත ලක්ෂණ ලෙස හැඳින්විය හැකි ය. මේවා තනි ගලෙන් තනා තිබේ. ශිව ලිංගය කිරිවලින් නාවා , ඉන් බේරෙන කිරි ගලා යාමට දිය පීල්ල සකසන්නට ඇතැයි සිතිය හැකි ය. නටබුන්වලින් ගහණ ශෛලමය වේදිකාව අඩි සියයක් පමණ වේ. එහි මධ්‍යයට වන්නට අඩි 15 සහ අඩි 20 දිගින් යුතු දෙවොල් ගෙයක ලක්ෂණ දැකීමට පුළුවන. නටබුන් අතර පුන්කලස් තුනක් තිබේ. කෝවිල වටා පිහිටි බැම්මේ බොරදම් කැටයම් ඇත. මේ ස්ථානය මේ ආකාරයට විනාශමුඛයට යාමට ප්‍රධානතම හේතුව, 1849 වසරේදී පෘතුගීසි ආණ්ඩුකාර කොරොඤ්ඤෝ සහ පසු කලෙක අසවේදු විසින් මේ ස්ථානය කොල්ලකෑම නිසා බව පැවසේ. කෝවිලේ පාදම දක්වාම එය සුනු විසිනු කිරීමට, පෘතුගීසි හමුදාව කටයුතු කර තිබී ඇත. ඒ , එහි නිධන් ඇතැයි සිතූ නිසාවෙනි.1819 වසරේදී ඉංග්‍රීසි ජාතික ඩේව් එහි යනවිට, තැන තැන විසිරුණු නටබුන් රැසක් පමණක් එහි තිබුණු බව, සිය දින සටහන්වල දක්වා ඇත. කෑගලු වාර්තාව අනුව, 1897 වසර වනවිට මෙරට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ එච්.සී.පී.බෙල් මහතා විසින් ප්‍රතිසංස්කරණය කර ගොඩනැගූ ආකෘතිය අදටත් මෙහි පවතී.
සීතාවක යුගයේ දැනට ශේෂව පවතින ඓතිහාසික ස්ථාන අතරින් වැදගත් ම ස්ථානයක් බවට පත්ව ඇති බැරැන්ඩි කෝවිල, දසවැනි ශතවර්ෂයේ පැවැති ප්‍රබල රාජ්‍යයක පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබිඹු කිරීමට සමත් වේ. එසේ ම, එවකට මෙරට පැවැති හින්දු ආගමික ඇදහිලි පිළිබඳ දැන ගැනීමට කදිම ස්ථානයක් ලෙස ද මෙය සඳහන් කළ හැකිය.
ඉරෝෂිණී දීපිකා
නව අදහස දක්වන්න