ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ලෝකයේ සිදුවන දේ වැඩක් නැත. මෙයට හේතුව අපේ දූපත්වාසී මානසිකත්වය යැයි තර්ක කරන්නෝ ද වෙති. එහෙත්, තාක්ෂණික දියුණුව නිසා ලෝකය වඩාත් කුඩාවීම තුළ, මුහුදින් එතෙර සිදුවන දේ ගැන අපේ ඇස් වඩාත් යොමුවිය යුතු යුගයකට අපි සැපැමිණ සිටිමු. කෙසේ වෙතත්,ශ්‍රී ලංකාවේ මාධ්‍ය කෙතරම් දුරට අප රටෙන් එපිට ලෝකයේ සිදුවන හැලහැප්පීම් හා දේශපාලන විපර්යාස කෙරෙහි පාඨකයන් ගේ දෑස් යොමු කරනවාද යන්න ගැන මට ඇත්තේ සැකයකි. එයට හේතු බොහෝ ය.
පසුගිය දිනක මාගේ හිතවත් පත්තර මල්ලී කෙනෙක් ගෙන් දුරකථන ඇමතීමක් ලැබිණි. ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ඔහු යුරෝපය ගැන ද විපරම් කෙළේය.
”ඔය පැත්තේ දේශපාලන තත්ත්වය කොහොමද?” එය තරමක විවෘත ප්රශ්නයකි. පිළිතුරක් දීමට තරමක් සිතිය යුතු වූයේ ඔහු ගේ පැනයේ ඉලක්කය තේරුම් ගැනීමට අපහසුවීම ය.
”සරණාගත ප්රශ්නය උග්‍ර වෙලා. එය තදින්ම දේශපාලන ලෝකයට බලපානවා.” මම පිළිතුරු දුන්නෙමි.
”ඇත්තද? එතකොට මිනිස්සු කෑ ගහන්නේ නැද්ද ඕවා ගැන?”
”මිනිස්සුන් ගේ අදහස් එළියට එන්නේ දේශපාලන ව්‍යාපාර, ඡුන්ද ඇතුළු විවිධ වේදිකා හරහායි. උද්ඝෝෂණ හරහා නෙමෙයි. දැන් කොරියානු අර්බුදයත් සංවේද ප්‍රශ්නයක් .” මම සඳහන් කෙළෙමි. මෙවර ඔහු ඉතා උනන්දුවෙන් කතා කරන බවක් මට හැඟිණි.
”කොරියාවේ ලොක්කා නියම බඩුව නේද? ඇමරිකන්කාරයා තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. කොල්ලා වුණාට නියමෙට වැඩේ දෙනවා. අපිටත් ඕනේ ඒ වාගේ නායකයෝ.”
”ඒ වුණාට කොරියන් අර්බූදය බොහෝ ම සංකීර්ණ එකක්. ඒක මතුපිටින් බලලා පමණක් තේරුම් ගන්න බැහැ.”
”හ්ම්. එහෙනම් අයියේ මම ආයේ කතා කරන්නම්.” මම තරමක් කල්පනාකාරී වූයේ, ලෝකයේ සිදුවීම් සම්බන්ධයෙන් අපගේ සංවේදී මට්ටම තේරුම් ගන්නට නොහැකි වීම නිසා ය.
ඉන් සතියකට පමණ පසු මා දන්නා ජපන් ජාතික විද්වතකු හමු විය. ඔහු ගේ වයස්ගත මෑණියෝ ද නිවෙසේ වූ අතර, ඕ ඉතා උනන්දුවෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු ගැන විමසා සිටියා ය. ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති යුද තත්ත්වය හා දකුණු ආසියාවේ දේශපාලන සංදර්භය තුළ ශ්‍රී ලංකාවට ඇති විවිධ අභියෝග ගැන ඇය බොහෝ තර්කානුකූලව විග්රහ කිරීම මගේ විස්මයට හේතු විය. අසූ වියැති අගේ ජාත්‍යන්තර කටයුතු ගැන ඇති දැනුම, මා විමතියට පත් කරන්නට සමත් විය. කථාබහ අතරතුර අප නැවතුණේ කොරියානු අර්බූදය අසල ය. මම ඇගෙන් ප්‍රශ්න කීපයක් විමසීමි.
”අමෙරිකාවට කොරියන් අර්බූදය විසඳන්න මැදිහත් වීම සාර්ථ වෙයිද?” ඒ මගේ පැනයයි.
”අමෙරිකාවට අවශ්‍ය වන්නේ කොරියානු අර්බූදයේ අමෙරිකානු ප්රශ්නය විසඳා ගන්න. නැතිව අපේ කළාපයේ ඇති ඒ හා සම්බන්ධ සියලූ ප්‍රශ්න විසැඳීම ම නෙමෙයි.”
”ඒ වුණාට ජපානය හා අමෙරිකාව අතර සම්බන්ධය නිසා, ජපානයට යහපතක් සිදුවෙයි නේද?” ඇගේ මුවඟට සිනහවක් නැගිණි.
”අමෙරිකාවට ජපානය ඕනේ, ඔවුන් ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා අපි බලන්න ඕනේ අපේ පැත්තෙන් අපට අහිතකර තත්ත්වය සමනය කර ගන්න. අපේ මූලික ඉල්ලකය විය යුත්තේ එයයි.” පත්තර මල්ලී ගේ කතාව මතක් වී මම උතුරු කොරියානු නායකත්වය ගැන ඇගේ මතය විමසා සිටියෙමි.
”ඔහු සාර්ථක නායකයකුට වඩා සාර්ථක ඒකාධිපතියෙක්. ඒකයි මේ අවුල් වීමට හේතුව.” මිත්තණිය මා දෙස තියුණු බැල්මක් හෙළා පවසා සිටියා ය.
මම නැවතත් පත්තර මල්ලී ගේ ප්‍රකාශය ගැන කල්පනා කෙළෙමි. මගේ මිතුරා ගේ මෑණියෝ ද පුවත්පත් කලාවේදිනියක් ලෙස කටයුතු කර තිබෙන බව දැන ගත්තෙමි. එසේ ම ඇය තවමත් ජාත්‍යන්තර කටයුතු ගැන උනන්දුවක් දක්වන බව ද තේරුම් ගත්තෙමි.
නව අදහස දක්වන්න